ගලෙන් ගසා හිලෙන් පැන්න බදුල්ලේ කමිස හොරු | සිළුමිණ

ගලෙන් ගසා හිලෙන් පැන්න බදුල්ලේ කමිස හොරු

බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ව්‍යපාරිකයෙකුට අයත් බදුල්ල හුණුකොටුව ප්‍රදේශයේ දෙමහල් නි‍ෙවසක පිහිටි නිමි ඇඳුම් තොග ගබඩාවකින් කාලයක් පුරා ඉතා සූක්ෂ්ම අයුරින් සොරකමක් සිදු වී තිබිණි. පසුගියදා එම නිමි ඇඳුම් තොග ගබඩාවෙන් රුපියල් ලක්ෂ 28ක් පමණ වටිනා කමිස තොගයක් සොරාගෙන ගොස් විකිණීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් එකොළොස් දෙනෙකු පසුගියදා පොලිසියට කොටු විය. එම සොරුන් 11 දෙනා සොරකම් කරන ලද කමිස ඌව පළාතේ ප්‍රධාන නගරවල අලෙවි කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගැනුණේ බදුල්ල මූලස්ථාන පොලිසියේ විමර්ශන කණ්ඩායමක් විසිනි.

මේ මහා පරිමාණ සොරකම මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටි වයස අවුරුදු 20-30 අතරේ පසුවන බදුල්ල අමුනුවැල්පිටිය, සුමනතිස්සගම, දෙයියන්නේවෙල, පුවක්ගොඩමුල්ල යන නගරවල පදිංචි තරුණයන් පිරිසකි. ඔවුන් කාලයක් තිස්සේ මෙම සොරකම කරගෙන ගොස් තිබුණත් පිරිස අත්අඩංගුවට ගැනීම ලෙහෙසි පහසු නොවීය. කිසිම බියක් චකිතයක්, සැකයක් නොමැතිව මොවුන් දිවා රාත්‍රී දෙකෙහිම මෙම නිමි ඇඳුම් තිබූ දෙමහල් නි‍ෙවසේ ගබඩා කාමරයට ඇතුළු වී එහි කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා තිබූ කමිස සොරාගෙන ගොස් ඇත්තේ කිසිවෙකුට සැකයක් ඇති නොවන අයුරිනි.

මේ පිරිස බණ්ඩාරවෙල, වැලිමඩ, හාලිඇළ, බඩල්කුඹුර, වැල්ලවාය, පස්සර වැනි නගරවල පදික වේදිකාවේ මෙන්ම සති පොළවල මේ කමිස අලෙවි කිරීමට ගෙන ගොස් ඇත්තේ ත්‍රිරෝද රථ දෙකක පටවාගෙනය. රුපියල් 1300ක් පමණ වටිනා මෙම කමිස රුපියල් 300, 400 වැනි ඉතා අඩු මිලට විකුණා ඇති බවත්, එම නගරවල රෙදි කඩවලටද මොවුන් මෙම කමිස විකුණා ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි වූයේ සිදු කරන ලද විමර්ශනයේදීය.

බදුල්ල නගරයේ ප්‍රසිද්ධ මෙම නිමි ඇඳුම් ව්‍යාපාරිකයා හුණුකොටුව මාර්ගයේ ජනාකීර්ණ ස්ථානයක පැරණි දෙමහල් නි‍ෙවසක සිය නිමි ඇඳුම් තොග ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ කලෙක සිටය. ව්‍යාපාරිකයා සිය වෙළෙඳ සැලේ ඇඳුම් විකිණී අවසන් වන අවස්ථාවලදී මේ තොග ගබඩාවට සේවකයන් සමඟ පැමිණ එහි තිබූ නිමි ඇඳුම් වෙළෙඳසැලට අවශ්‍ය ප්‍රමාණයට රැගෙන ගොස් තිබුණි. නමුත් සුපුරුදු පරිදි වෙළෙඳසැලට අවශ්‍ය නිමි ඇඳුම් රැගෙන යාමට තොග ගබඩාව පිහිටි නි‍ෙවසට පැමිණි ව්‍යාපාරිකයාට දෙමහල් නි‍ෙවසේ උඩ තට්ටුවේ එක් ජනේලයක වීදුරුවක් කැඩී තිබෙනු දැක කිසියම් සැකයක් හටගෙන ගබඩාවේ තිබූ නිමි ඇඳුම් පරීක්ෂාවට ලක්කර තිබුණි.

එහිදී අදාළ ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 28ක පමණ වටිනා කමිස තොගයක් අඩුවී ඇති බවට අනාවරණය වීමත් සමඟ එම ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් බදුල්ල පොලිසියට පැමිණිලි කළේය.

බදුල්ල කොට්ඨාස භාර ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 1 බුද්ධික ගුණසේකරගේ අධීක්ෂණයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. එම්. අබේපාල යන නිලධාරීන්ට වගකීම පැවැරීය. ඒ අනුව බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් දිවා රෑ නොබලා පරීක්ෂණ කටයුතු සිදු කළේ කමිස සොරුන් අල්ලා ගැනීමට අවශ්‍ය තොරතුරු සොයා බැලීම සඳහාය. බණ්ඩාරවෙල නගරයේ සති පොළේ අඩු මිලට කමිස විකුණන බවට තොරතුරක් මෙම පොලිස් කණ්ඩායමට ලැබෙන්නේ මේ විමර්ශන සිදු කැරෙන අතරතුරදීය.

ඒ අනුව වෙස්වළා ගත් පොලිස් නිලධාරීන් පිරිසක් බණ්ඩාරවෙල නගරයට ගොස් සති පොළ සහ අවට ප්‍රදේශයේ ගැවසෙමින් පරීක්ෂණ කටයුතු සිදු කළේ ලැබුණු තොරතුරු නිවරැදිදැයි සොයා බැලීම සඳහාය. බණ්ඩාරවෙල සති පොළේ කමිස විකුණන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් දිගින් දිගටම පරීක්ෂණ සිදු කළේ බදුල්ලේ කමිස සොරුන් නිශ්චිතවම සොයා ගැනීම සඳහාය. බණ්ඩාරවෙල සති පොළේ කමිස විකුණමින් සිටි පුද්ගලයන් දෙදෙනකු විකිණීමට තිබූ කමිස තොගයක් සමඟ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම නිමි ඇඳුම් සොරකම සම්බන්ධයෙන් සියලුම තොරතුරු හෙළි විය. ඒ අනුව කමිස සොරකම සම්බන්ධයෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු බදුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. සොරා ගත් කමිස ප්‍රවාහනය කිරීමට යොදා ගත් ත්‍රිරෝද රථ දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

බණ්ඩාරවෙල, බදුල්ල, හාලිඇළ, බඩල්කුඹුර නගරවල ඇතැම් වෙළෙඳසල්වලට විකුණා තිබූ කමිස සැකකරුවන්ගේ තොරතුරු මත සොයා ගැනීමටද පොලිස් නිලධාරීන්ට හැකි විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූවන් බවත්, මොවුන්ට මත්ද්‍රව්‍ය සහ සොරකම් සම්බන්ධයෙන් පෙර වැරදි රැසක් තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් තිදෙනකු වන බදුල්ල දෙයියන්නේවෙල පදිංචි 32 හැවිරිදි ගාමිණි නොහොත් අක්කුන්, අමුනුවැල්පිටිය 22 හැවිරිදි කුරල් අරසම් රොෂාන්, සුමනතිස්සගම පදිංචි 28 හැවිරිදි නිමේෂ් රුක්මල් යන තිදෙනා බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් එම්. නුජිත්ද සිල්වා නියෝග කළේය. සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද නියම කැරිණි. සෙසු සැකකරුවන් අට දෙනා ඇප මත මුදා හැරිණි.

බදුල්ල කොට්ඨාස භාර ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 1 බුද්ධික ගුණසේකරගේ අධීක්ෂණයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. එම්. අබේපාල, උපපොලිස් පරීක්ෂක කුමාරරත්න, සැරයන් 6742 ප්‍රභාකරන්, 17352 වසන්ත, 54238 ගාමිණි, 53778 ජයසිංහ, 20821 රත්නායක යන නිලධරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

 

Comments