මාගාල්ලේ විහාරස්ථානයක දේව ප්‍රතිමා උස්සා විකුණා කුඩු ගැසූ මත්ලෝලියා | Page 2 | සිළුමිණ

මාගාල්ලේ විහාරස්ථානයක දේව ප්‍රතිමා උස්සා විකුණා කුඩු ගැසූ මත්ලෝලියා

සොරකම් කරන ලද සූනියම් දේව ප්‍රතිමාව, ස්කන්ධ කුමාර දේව පිළිමය සහ සරස්වතී දේව ප්‍රතිමාව

- දේව ප්‍රතිමා 3ක් සලඹ 52ක් සීනු 31ක් පිත්තල පහන් 08ක් ත්‍රිශූලයක් සොයා ගනී
- සොරකම් කළ සියලුම පෞරාණික භාණ්ඩ පාණදුරේ කපුවකුට විසිනව දහසකට විකුණලා

ගාල්ල මාගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානය දකුණු පළාතේ පිහිටි බැතිමතුන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්ථානයකි. විශේෂයෙන්ම මෙම විහාරස්ථාන භූමියේ ඉදිකොට ඇති කතරගම දේවාලය, සිද්ධ සූනියම් දේවාලය, පත්තිනි දේවාල⁣ය සහ සරස්වතී දේවාලය යන සිවු මහා දේවාල නිසා මෙම පුදබිම ජාති ආගම් ⁣⁣⁣භේදයකින් තොරව සැමට සහනය සලසන සිද්ධස්ථානයක් ලෙස ප්‍රකටය. මෙම දේවාලවලදී දෙවියන්ට කන්නලව් කළ විට බලාපොරොත්තු ඉටු කරන එමෙන්ම සොර සතුරන්ට දඬුවම් ලබා දෙන බවට ජනතාව තුළ විශාල විශ්වාසයක් පවතී. 

මේ අතර කච්චුවත්ත පුරාණ විහාරස්ථාන භූමියේ ඇති දේවාලවල සෑම සෙනසුරාදා දිනකම සිදු කරන මුරුතැන් පූජාව සඳහා දේවාලවල කටයුතු කරනු ලබන කපු මහතා පසුගිය සෙනසුරාදා මුරුතැන් පූජාවටද සූදානම් විය. කපු මහතා එදින පාන්දරම දේවාලවලට යමින් කටයුතු සොයා බලන විට කතරගම දේවාලයේ තැන්පත් කර තිබු අඩි දෙකක් පමණ උස ස්කන්ධ කුමාර දේව ප්‍රතිමාව නොමැති බව දුටුවේය.

දේවාලයේ සෑම තැනකම සොයා බැලූ නමුත් 'දේව ප්‍රතිමාව' සොයා ගත නොහැකි විය. ඒ වන විට විහාරාධිපති හිමියන් විදේශගතව සිටි නිසා එහි කටයුතු භාරව සිටින විහාරාධිකාරි හිමියන්ට කපු මහතා මේ බව දැනුම් දුන්නේය. එවිට කපු මහතා සහ විහාරාධිකාරි හිමියන් එක්ව වැඩිදුරටත් සොයා බැලීමේදී අනෙකුත් දේවාලවල තිබූ සිද්ධ සූනියම් දේව ප්‍රතිමාව, සරස්වතී දේව ප්‍රතිමාව, සලඹ 52 ක්, සීනු 31 ක්, පිත්තල පහන් අටක් සහ ත්‍රිශූලයක් යන අතිපෞරාණික පූජා භාණ්ඩද අතුරුදන්ව ඇති බව දුටහ.

එසැණින් විහාරාධිකාරි හිමියෝ ගාල්ල පොලිසියට ගොස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කළහ. එම පැමිණිල්ල ගාල්ල ‌ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක නුවන් තරංග කොස්තාපල්වරුන් වන පියබන්දු (81732) ගීතප්‍රිය (78828 ) සඳරුවන් (3229) අරුණ (73009) සහ මේනක (66183) යන පිරිස පරීක්ෂණ ආරම්භ කරන ලදි. පොලිස් කණ්ඩායම කච්චුවත්ත විහාරස්ථානයට ගොස් එහි ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කරද්දී දුටුවේ දෙසැම්බර් 16 වන දින පෙරවරුවේ එම දේවාල භූමියට පැමිණි පුද්ගලයෙකු දේව ප්‍රතිමා කීපයක් සොරකම් කර ගෙන යන අයුරුය.

සැකකරු හඳුනා ගත් පොලිසිය අක්මීමන, පීල්ලකන්ද පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකු වන 'එරන්ද' නමැත්තා අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද පූජා භාණ්ඩ ළඟ තබාගෙන සිටි කොළඹ, කොටහේනේ දේවාලයක් පවත්වා⁣⁣ගෙන යන හතළිස් නව හැවිරිදි කපු⁣වෙක්ද අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු සියලු තොරතුරු අනාවරණය කළේය.

ප්‍රධාන සැකකරු 'එරන්ද' හතර දෙනකුගෙන් යුත් පවුලේ බාලම දරුවාය. පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසුව ඔහු රැකියාවක් සොයමින් සිටියේය. එහිදී බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාවහන් කම්හලක රැකියාවක් ලැබිණි. එහෙත් ටික කලක් එම රැකියාව කළ එරන්දට රැකියාව එපා විය. අනතුරුව ඔහු ගමේ තැනින් තැන කුලී වැඩ කරමින් ජීවත් විය. ඒ වන විට නුගදූව ප්‍රදේශයේ තරුණියක් හා විවාහ වී සිටි එරන්ද දෙදරු පියෙකු ද විය. ටික කලක් ගමේ කුලී වැඩ කරමින් සිටි එරන්ද පසුව කොළඹට පැමිණ වැඩබිම්වල පෙදරේරුවන්ගේ අත්උදවුකරුවකු ලෙස සේවය කළේය. පසුව ඔහු පාණදුරට පැමිණ එහි වැඩබිමක අත්උදවුකරුවෙකු ලෙස රැකියාව කළේය.

එහිදී පූජා භාණ්ඩ වෙළඳ සැලක් 'එරන්දගේ' නෙත ගැටුණි. එම වෙළඳසැලේ හිමිකරු ඊට අමතරව කොළඹ, කොටහේනේ දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකු බවද එරන්ද දැන ගත්තේය. කපුවා හඳුනාගත් එරන්ද ඔහුගේ මිතුරෙකු විය. කපුවාගේ පූජා භාණ්ඩ අලෙවිසැලේ විවිධ දේව ප්‍රතිමා සහ වෙනත් පූජා භාණ්ඩ අලෙවිසැලේ විකිණීම සඳහා ප්‍රදර්ශනයට තබා ඇති අයුරු එරන්දට දුටුවේය.

මේ අතර එරන්ද ගමේ පැමිණි දිනක තම බිරිය සහ දරු දෙදෙනා සමඟ ගාල්ල කච්චුවත්ත දේවාලයේ පූජාවකට ගියේය. එම අවස්ථාවේ දේවාලවල තිබූ දේව ප්‍රතිමා සහ වෙනත් පූජා භාණ්ඩ දුටු ඔහුගේ සිත තුළ දුෂ්ට චේතනාවක් පහළ විය. ඒ මේ දේව පිළිම සොරකම් කර පාණදුරේ කපුවාට දී මුදල් ලබා ගැනීමයි. එහෙත් ඔහු ඒ පිළිබඳව බිරියට හෝ කිසිවකුට පැවසුවේ නැත.

පසු දින පාණදුරේ ගිය එරන්ද කපුවා හමුවිය.

"කපු මහත්තයා මගේ ළඟ පරණ දේව පිළිම කීපයක් තියනව. ඒවා බොහෝම පැරණි වටින පිළිම. කපු මහත්තයා කැමතිනම් මට ඒවා ඔයාට ගෙනත් දෙන්න පුළුවන්" යයි එරන්ද කපුවාට කීය. එරන්දගේ ඉල්ලීමට කපුවා කැමැත්ත පළ කළේය. “එහෙනම් එරන්ද එකක් දෙකක් ගේන්න බලන්න. වටිනවනම් එරන්දට හොඳට ගෙවන්නම්...“ කපුවා එරන්දට එසේ පිළිතුරු දුන්නේය.

සැණින් ගමට පැමිණි එරන්ද පසුගිය දෙසැම්බර් 16 වන දින හිමිදිරියේ තම බිරියට හෝ නොකියා පූජාවක් කරන මුවාවෙන් කච්චුවත්ත විහාරස්ථානයේ දේවාලයට ගියේය. ඒ වන විට දේවාල විවෘත කර තිබූ නමුත් පුද පූජා සඳහා කිසිවෙකු පැමිණ සිටියේ නැත. ඒ අවස්ථාවේ එහි දේවාලවල තිබූ අති පෞරාණික මිල කළ නොහැකි 'සරස්වතී දේව ප්‍රතිමාව' සහ සිද්ධ සූනියම් දේව ප්‍රතිමාවද සොරකම් කර ගත් එරන්ද වහා ගාල්ල දුම්රිය ස්ථානය වෙත පැමිණියේය. එහිදී කොළඹ බලා යන දුම්රියකින් මෙම දේව පිළිමද රැගෙන පාණදුරට ගියේ කපුවා හමුවීමටය. පිළිම පරීක්ෂා කළ කපුවා ඊට රුපියල් දස දහසක් එරන්දට දුන්නේ නොපැකිළිවය.

නැවත ගමේ පැමිණි එරන්ද දෙසැම්බර් 19 වන දින පෙරවරුවේද කච්චුවත්ත දේවාල වෙත ගොස් කිසිම බාධාවකින් තොරව දේවාලයේ තැන්පත් කර තිබූ සලඹ 51 ක් සහ සීනු 32 ක් ද සොරකම් කර ගෙන පෙර සේම පාණදුරට පූජා භාණ්ඩ කපුවාට විකුණා තවත් රුපියල් නව දහසක් ලබා ගත්තේය. දින දෙකක් කච්චුවත්ත දේවාලයට පැමිණ දේව පිළිම ඇතුළු දේවාභරණ තොගයක් මෙසේ ⁣සොරකම් කරගෙන ගිය නමුත් එය කිසිවෙකුට දැන ගැනීමට නොහැකි විය. එම නිසා එරන්ද ඊට පසු දින එනම් දෙසැම්බර් 20 වැනිදා පෙරවරුවේ තෙවන වරටද දේවාලයට පැමිණියේය. එදින කතරගම දේවාලයේ තිබූ අඩි දෙකක් උසැති පෞරාණික 'ස්කන්ධ කුමාර දේව ප්‍රතිමාව' සහ ත්‍රිශූලයද සොරකම් කරගෙන ගොස් කපුවාට විකුණා රුපියල් දසදහසක් ලබා ගත්තේය.

ඒ වන විට එරන්ද අධික ලෙස හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටියේය. එම නිසා දේව ප්‍රතිමා සහ වෙනත් දේවාභරණ විකුණා ලබා ගත් සියලු මුදල් ඔහු හෙරොයින් පානය කිරීමට වැය කළේය. එහෙත් අවසානයේ උපපොලිස් පරීක්ෂක 'නුවන් තරංග' ඇතුළු නිලධාරින් කණ්ඩායම මහත් වෙහෙසක් දරා ⁣සොරකම සිදු වී දින දෙකක් තුළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද භාණ්ඩද සොයා ගැනීමට හැකිවූ නිසා සොරකමේ සියලු තොරතුරු හෙළි විය

මේ අතර කච්චුවත්ත දේවාල⁣යේ ඇති මහනුභාව සම්පන්න හාස්කම් නිසා දින දෙක තුනක් ඇතුළත සොරකමේ සියලු තොරතුරු හෙළි වී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් සොරකම් කරන ලද දේව ප්‍රතිමා ඇතුළු භාණ්ඩ සොයා ගැනීමටත් හැකිවූ බව ප්‍රදේශවාසීහු පවසති. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Comments