පන්තිය අතුගාන්න ආ ගමන් ගුරුවරියගේ දුරකතනය ඉස්සු මවක් පොලිසියට කොටු වූ හැටි | Page 2 | සිළුමිණ

පන්තිය අතුගාන්න ආ ගමන් ගුරුවරියගේ දුරකතනය ඉස්සු මවක් පොලිසියට කොටු වූ හැටි

- අකුරැස්සේ පාසලකින් ඇසුණු කතාවක්
- පාසලට ආ පොලිසිය සියලු තොරතුරු සොයා ගනී 

මෙකී කතාන්දරය ඉකුත් ලෝක ගුරු දිනයට අදාළව සිදු වූවකි. අකුරැස්ස කලාපයේ පාසලක ගුරු භවතුන් ගුරු දිනය සැමරීම පිණිස විවිධාංග රාශියක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබිණි. විදුහල්පති සහ ගුරු මණ්ඩලයේ අදහස වී තිබුණේ ලෝක ගුරු දිනය පිළිබඳව දරුවන්ව දැනුම්වත් කරමින් ගුරු දිනය සමරන්නටත් එම උත්සවය වර්ණවත් කරන්නට සැලසුම් කරන විවිධාංගයන් සම්බන්ධයෙන් ගුරුවරු ගුරුවරියන් පෙර පුහුණුවක් ලබා ගැනීම සුදුසු බවයි. ඒ අනුව විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරු මහත්මීන් පිරිසක් ලහි ලහියේ ඊට සූදානම් වූයේ දැඩි කැපවීමෙනි.

එම ගුරු මහත්මීන් පිරිස පාසල නිම වීමට මොහොතකට පෙර තම පන්ති කාමර බලා ගැනීම ජ්‍යේෂ්ඨ පන්තිවල ශිෂ්‍ය නායකයින් කීපදෙනකු වෙත පවරා ඉතා කෙටි කාලයකට නැටුම් පන්ති කාමරය බලා පිටත් වූහ.

මෙම ගුරු මහත්මීහු පිරිස විදුහලේ නැටුම් කාමරයට එකතු වී පසුදින ගුරු දිනය සැමරීමටත් ඉදිරිපත් කිරීමට යෝජිත විවිධාංගයන් පිළිබඳව කතාබහ කර ගත්හ. පාසල නිමා වන සීනුව නාද වනවාත් සමගම ප්‍රාථමික අංශයේ සිසුහු නිවෙස් බලා පිට වූහ. එසැණින් පන්ති භාර ගුරු මහත්මීන් පිරිස තම පන්ති කාමර වෙත ගියේ පසු දින තමන් විසින් කළ යුතු කාර්යයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගනිමිනි. පාසල් නිමාවත් සමඟ පාසලින් පිටවීමට පෙර එක් ගුරු මහත්මියක් තම අත් බෑගයේ තිබූ සිය ස්මාර්ට් ජංගම දුරකතනය ගැනීමට සැරසෙද්දී දුරකතනය තම බෑගයේ නැති බව දැක අත් බෑගය යළි පරීක්ෂාවට ලක් කළේ යාබද පන්ති කාමරවල සිටින ගුරු මහත්මීන්වද දැනුම්වත් කරමින් ඔවුන්ගේ නොමඳ සහාය ලබමිනි. එක් ගුරු මහත්මියක් අස්ථානගතව තිබූ එම දුරකතනයට කඩිනමින් ඇමතුමක් ලබාගත්තද දුරකතනය ක්‍රියා විරහිත කර තිබුණි. තමන් පන්තියෙන් බැහැරට යන අවස්ථාවේදීත් දුරකතනය ක්‍රියාත්මකව තිබූ බව තමන්ට සහතික බව අදාළ ගුරු මහත්මිය සඳහන් කළාය. විශේෂයෙන් ප්‍රාථමික පන්තිවල සිසුන්ගේ මවුපියන් දරුවන්ගේ ගැටලු, ගෙදර වැඩ සහ පසු දින අධ්‍යාපනික කටයුතු ගැන පන්තිය භාර ගුරුවරුන්ගෙන් විමසීම් කිරීම් කෙරෙන බැව් දන්නා අනිත් ගුරුවරුන්ට ඒ ගැන කිසිම විවාදයක් නොවීය. සෙසු ගුරු මහත්මීන්ද අන්දමන්ද වූයේ අස්ථානගත වු දුරකතනයට කුමක්වීදැයි නැඟුණු පැනයෙන් දුරකතනය අයත් ගුරු මහත්මිය වට කරගෙන ඔවුන් ඇගෙන් විස්තර විමසන්නට වූයේ දුරකතනය ගෙනාවද නැටුම් කාමරයට ගෙන ගියාද යන්න දැන ගැනීම සැකයක් කරමිනි.

පන්ති කාමර වෙත පැමිණි විදුහල්පතිවරයාද අදාළ ගුරු මහත්මිය වෙත ප්‍රශ්න ගොන්නක් ඉදිරිපත් කරමින් පන්ති කාමරයේ අස්සක් මුල්ලක් නෑර යළි පරීක්ෂාවට ලක් කළේ අනෙක් ගුරු මහත්මීන්ගේ නොමඳ සහාය ලබමිනි. එසැණින් දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බැවින් දුරකතනය යමෙකු සොරකම් කරන්නට ඇතැයි යන සැකය සහ කුතුහලය කා තුළත් ඇති වන්නට ගත වූයේ විනාඩි කිහිපයකි. නමුත් ප්‍රශ්නයක් වී තිබුණේ පිටස්තර කිසිවෙකුට පන්ති කාමරවලට ඇතුළු වීමට අවසර නොමැති වීමත් ඊට අවශ්‍යතාවක් නොමැති වීමත් නිසාය.

පොලිසියේ පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් නැති බව තේරුම්ගත් විදුහල්පතිවරයා එම ගුරු මහත්මියට උපදෙස් දුන්නේ පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන්කර දුරකතනය සොයා ගැනීමට පොලිසියේ පිහිට පතන ලෙසය. අදාළ ගුරුවරිය අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර හමු වී සිද්ධිය දැනුම් දුන්නාය. ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ගුරුවරිය අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයලත් ඉදිරියේ සියල්ල පවසමින් පැමිණිල්ලක් කළාය. පොලිසිය දුරකතනයේ ‘එමි‘ අංකය ඇතුළත් සවිස්තර වාර්තාවක් කඩිනමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත විද්‍යුත් තැපෑලෙන් (email ) යැවීමට කටයුතු කළේ යම් කිසිවෙකු එම දුරකතනයෙන් වෙනත් සිම්පතක් යොදා ඇමතුමක් ලබාගත්තද එය කොමිෂන් සභාවේ නිරීක්ෂණයට ලක් වී සටහන් වන බැවිනි.

නැතිවූ දුරකතනය අයත් ගුරුවරිය වෙනත් දුරකතනයක් ඔස්සේ එදින දහවල් පන්තිය අතුගෑමට පැමිණි මවක සමඟ කතා කරමින් තම දුරකතනය නැති වී ඇති බව දන්වන්නට පියවර ගෙන තිබුණේ ඇය සිසුවියකගේ මවක් වන බැවින් කිසිම අවිශ්වාසයක් නැති බැවිනි. මේ මවද දුරකතනය ඔස්සේ ගුරුවරිය සමඟ සම්බන්ධ වී සිය කනගාටුව ප්‍රකාශ කර තිබුණේ ගුරුවරියගේ සිත දිනාගෙන විශ්වාසය දිනා ගැනීමේ අරමුණෙනි.

“අනේ මටත් හරිම දුකයි මිස්ගෙ ෆෝන් එක නැතිවීම ගැන“ යැයි ඇය ගුරුවරිය වෙත තමන්ගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර තිබුණේ වරක් දෙවරක් නොවේ. සිද්ධිය වූ දින රාත්‍රී කාලයේදීද විටින් විට ඇය ගුරුවරියට දුරකතනයෙන් කතා කරමින් කනගාටුව ප්‍රකාශ කර තිබුණේ දැඩි ළෙන්ගතු කමිනි. ලෝක ගුරු දිනය සිහි ගැන්වෙන සිහි වටනයක් ගුරුවරියට තිළිණ කිරීමට පියවර ගන්නා බවය.

අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයලත් සහ සැරයන් නයනජිත් සිද්ධිය සිදු වූ දිනට පසු දින විමර්ශන කටයුතු ආරම්භ කළහ.

පන්ති කාමරය අතුගෑමට අදාළ ගුරුවරියගේ පන්තියට පැමිණ තිබූ මව වෙනදාට වඩා කඩිනමින් පන්තිය අතුගා පන්ති කාමරයෙන් මෙන්ම විදුහලෙන්ද නික්ම ගිය බවට තොරතුරුද පොලිසිය වෙත ලැබිණි. ඒ අනුව පොලිස් උකුසු ඇස ඇය වෙත යොමු කරන්නට පොලිස් නිලධාරීහු යුහුසුලු වූහ.

ඇගේ නිවෙස සොයා ගිය පොලිස් නිලධාරීන් විසින් ඇගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සොරකමේ සියලු තොරතුරු අනාවරණය විය. 

පන්ති කාමරය අතුගාන අතරතුර ගුරුතුමියගේ අත් බෑගය පුටුව මත තිබූ බවත් බෑගයේ තිබූ දුරකතනය තමන් රැගෙන ගිය බව ඇය පොලිසියට පවසා තිබුණි. දුරකතනය කඹුරුපිටියේ කොමියුනිකේෂන් එකකටදී එහි මුර පද වෙනස්කර සියලු දත්තයන් මකා දැමුවේ දුරකතනය විකිණීමේ අරමුණ ඇතිව බව පිළිගත් ඇය එම අගුළු ඉවත් කිරීම වෙනුවෙන් රුපියල් 1200/= ක මුදලක් එම කොමියුනිකේෂන් එකට ගෙවූ බව පිළිගෙන තිබුණි.‍ ඇය විසින් සොරකම් කරන ලද ගුරුවරියගේ ‘ස්මාට්‘ ජංගම දුරකතනය නිවසේ මේසයක් මත තිබියදී පොලිස් භාරයට ගැනිණි.

පන්ති කාමරයේ තිබූ ගුරුවරිය සතු දුරකතනය සොරකම් කළ අයුරු පොලිස් නිලධාරීන් හමුවේ පාපෝච්චාරණය කළ ඇයව සැකපිට පොලිස් අත්අඩංගුවට ගැනිණි.

පොලිස් නිලධාරින්ගේ දැනුම් දීම අනුව පොලිසිය වෙත පැමිණි ගුරුවරිය පොලිස් භාරයට ගෙන තිබූ ස්මාට් ජංගම දුරකතනය තමාගේ බවට හඳුනා ගත්තාය. දුරකතනය මිලදී ගත් ආයතනයේ ඉන්වොයිසියේ සඳහන් එමි අංකය (IMEI NUMBER) එලෙසම නිවැරැදිව දුරකතනයේ දිස් වූයෙන් ජංගම දුරකතනයේ අයිතිය තහවුරු කරගත් පොලිසිය සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. සැකකාරිය වරද පිළිගත්තාය.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීරගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයලත්, සැරයන් 39734 නයනජිත්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන 2272 මධුශානි, 8668 ප්‍රියදර්ශනී යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.

Comments