පෙම්වතිය සොයා ගිය වේටර් සංජුගේ අවසන් මොහොත | Page 2 | සිළුමිණ

පෙම්වතිය සොයා ගිය වේටර් සංජුගේ අවසන් මොහොත

- ‘මට අක්කා කියන්න එපා සංජු එතකොට අපි දෙන්නා හුඟක් ඈතයි කියලා හිතෙනවා’

‘බිස්නස් මේලා‘ සල්පිල් සැණකෙළියේ අවසන් සැඳෑව උදා වෙමින් තිබුණා. නගරයේ ප්‍රධානතම මහජන ක්‍රීඩාංගණ භූමියේ දෙසතියක් මුළුල්ලේ පැවැති සැණකෙළියේ තාවකාලික කඩ හිමිකරුවන්, වෙළෙඳ සේවකයන්, සැපයුම්කරුවන් සහ සේවා සපයන්නන් ඇතුළු සියලු දෙනා එම කෙටි කාලය තුළ ඇති කරගත් ඇයිහොඳයිකම් අවසන් වශයෙන් තහවුරු කරගන්නා සංවේදී අවසන් පැය කීපය ද ඒ සමඟම උදාවී තිබුණා.

දෙසතියක් තිස්සේ සැණකෙළි බිමේ රැව් දුන් 'මැරිගෝ රවුමේ' රම්පට් නළා හඬත්, කතුරු ඔන්චිල්ලාවේ කිරි කිරි නාදයත්, මාරක ළිඳේ කැරකෙන යතුරුපැදියේ ගොරහැඬි සයිලන්සර නාදයත් මේ මොහොතේ සවනට ගෙනෙන්නේ යම් ශෝකී රිද්මයක් නොවේ දැයි විසි හතර හැවිරිදි කඩවසම් සංජු හට සිතුණා. ඔහු මෙම සල්පිල සමඟ බැඳෙන්නේ මෙම සල්පිල් සැණකෙළියේ ප්‍රධානම භෝජනාගාරය සමඟය.

නගරයේ පිහිටි එකම තානායමේ පුහුණු වන ස්ටුවඩ්වරයකු වන සංජු සිය කැමැත්තෙන්ම සල්පිල් සැණකෙළියේ පැවැත්වෙන භෝජනාගාරයේ සේවයට එක් වූයේ තානායමේ ජ්‍යේෂ්ඨ වේටර්වරුන් හිතාමතාම එම සැණකෙළි සේවය ප්‍රතික්‍ෂේප කරද්දීය.

සල්පිල් සැණකෙළියේ 'සංජු' සේවය කරනා භෝජනාගාරයට යාබදව පිහිටි 'සෙරමික් අයිටම්' කඩයේ සිටි හැඩකාර යුවතිය චානිකාට සැණකෙළිය මුල් දවස්වල සංජු ඇමතුවේ චානිකා අක්කා කියාය. ඒ ඇය ඔහුට වඩා තුන් වසරකින් වැඩිමල් නිසාය.

එහෙත් සැණකෙළියේ හතරවැනි පස්වැනි දවස් පහුවෙද්දි අක්කා නමැති වැඩිහිටි ආමන්ත්‍රණ කොටස ඉබේටම හැලී ගියේ චානිකා විසින්ම සංජුගෙන් කළ ඉල්ලීමකට අනුවය.

“බැඳලා නම් තමයි හලෝ... ඒත් ඉතින්.. කියලා වැඩක් නෑ... එයාට මේ ලෝකේ වෙන කිසිම දෙයක් ඕන්නෑ... සල්ලිමයි... සල්ලිමයි... බැංකොක් යන සිහියමයි... අපරාදෙ සංජු මම... පව් මට... අපේ තාත්තලා එයාට මාර විදියට අහු වුණා...”

හොඳින් දන්නා කියන හිතවතෙකුට මෙන් මේ ඊයෙ පෙරේදා හමු වුණු සංජු හට මීට තුන් හාර මාසෙකට කලින් චානිකා එළැඹුණු විවාහය ගැන පශ්චාත් විග්‍රහයක යෙදුණේ සංජු ඇගේ අලුත් පෙම්වතා බවට කරනා වක්‍ර ඉඟියක් ලෙසය.

සැණකෙළි බිම පාළු වී ගිය උදේ කාලයේ සෙරමික් අයිටම් කඩයේ තනිව සිටියේ චානිකා පමණය. එම විරාමයේදී සෙරමික් කඩය මෙන්ම උදෑසන පාළුවට ගොස් තිබෙනා සැණකෙළි භෝජනාගාරයට චානිකා පැමිණෙන්නේ කාන්දමට ඇදෙනා යකඩ මුදුවක් ලෙසය.

සංජු විසින්ම මිලට ගෙන චානිකාට දුන් ඩේටා කාඩ් පතේ රහස් අංකය කොණ්ඩ ස්ලයිඩ් එකේ ක්ලිප් එකෙන් සූරා අංකය මතුකර ගන්නා අතරේත් ඇය කෝල ලෙසින් මෙන්ම වේදනා බර රිද්මයෙන් ඇගේ කෙටි යුගදිවියේ රස රහස් මෙන්ම කඩතොලු සන්ධිස්ථානයන්ද සංජු හමුවේ තැබුවාය.

“කානිවල් එකත් අදින් ෆිනිෂ් නේද?...” සංජු පැවසුවේ චානිකාගේ අතින් අල්ලාගෙනය.

“බෑ... බෑ... ගෙදර ලෑන්ඩ් ලයින් නම්බර් එක දැන්ම දෙන්නෙ නෑ... ඒක පහුවෙලා දෙන්නම්... දැනට වොයිස් නම්බර් එකයි වට්ස්ඇප් එකයි දෙකම තියෙනවානේ... හැබැයි පැටියෝ වීඩියෝ කෝල් එන්න කියලා හැම තිස්සෙම වාතෙ වෙන්නනම් එපා හොඳේ... හස්බන්ඩ් කොයි වෙලේ ගෙදර ඉන්නවද දන්නෑ...”

කාලය දින සතිවලින් ගෙවී ගියේය. ගූගල් මාර්ග සිතියමට අනුව සංජුගේ තානායමේ සිට චානිකාගේ ගමට ඇත්තේ කිලෝමීටර දෙසීයයකටත් අඩු දුරකි. හදවත් දෙකක් යාවුණු තැන නවීන යතුරුපැදියකට ඒ දුර මහ කජ්ජක් නොවේ.

දඟර ගැසී ඇති ඇල්ල වැල්ලවාය ප්‍රධාන පාරේ තුරු සෙවණක් යට යතුරුපැදිය නතර කළ සංජු නැවතත් සිය ජංගම දුරකතනය අතට ගත්තේ තමා ඇය සොයා ළඟ ළඟම එන බව පවසන්නටය. එහෙත් සංඥා දෝෂයක් නිසාදෝ ඇමතුම සම්බන්ධ වන්නේ නැත.

තනි අතින් යතුරුපැදිය හසුරුවමින් දුරකතනයේ ‘රී ඩයල්‘ බොත්තම යළි යළිත් තෙරපමින් සංජු නොනැවතී ඉදිරියටම යතුරුපැදිය ධාවනය කළේය. පමා වන හැම තත්පරයකින්ම අහිමි වන්නේ තමාට චානිකා සමඟ ගත කිරීමට ඇති කාලය නොවේදැයි තිගැස්මෙන් කල්පනා වුණු සංජු එකවරම ඇක්සලේටරයට බර දැම්මේය. කඳු නැග්ම සහිත වංගුවෙන් එසැණින් අමෝරාගෙන මතුවූ කහ පැහැති දැවැන්ත වැලි ට්‍රක් රථයට ඉඩ දුන් කන්ද බහිනා සංජු නැවතත් යතුරුපැදිය පාර මුඳුනට කෙළින් කළා පමණය. කඳු නැග්ම දිගේ ඉදිරියට අමෝරාගෙන ආ රතු පැහැති බස් රථය ඉදිරියේ සංජුට වේගය පාලනය කරනු තබා හිතන්නටවත් කාලයක් නැත. යතුරුපැදියත් බස් රියත් මුහුණට මුහුණ ගැටෙනා මෙහොතේ තරුණ සංජුට අවසන් වරට කියැවුණු “අඩෝ...” යන වචනය රාවණා ඇල්ලට උතුරු දෙසින් පිහිටි කඳු වළල්ලේ හැපී දෝංකාර දෙන්නට ඇත.

මේ මිහිතලය මත වසර විසිහතරක් විසූ අවිවාහක තරුණයකු පියවි සිහියෙන් වාතලයට මුසු කළ යුතුව තිබූ අවසන් වචනය එයද?

“දඩාස්.... දඩ බඩාස්...සිලිං බිලිං...” පාර මුඳුනේ උඩුකුරුව විසි වී වැටුණු සංජු තවත් මොනවාදෝ කියන්නට තතනා එසැණින් දෑස පියා ගත්තේය.

සංජුට අනතුර සිදු කළ බස් රථ රියදුරා තමුන්ගේ නිර්දෝෂී බව පෙන්වමින් රියදුරු අසුණේ සිටම වන් වන් නයින් තෙරපුවේය.

සැණකෙළි බිමේ සෙරමික් කඩය අසලදී චානිකා ද දැක ඇති සංජුගේ රතු පැහැති මනමාල යතුරුපැදිය දුක හිතෙනා අයුරින් අස්වාමිකවී බිම වැතිරී තිබිණි.

සංජුගේ ප්‍රාණය ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් පවතිද්දී සංජු විසින් පණ ගැන්වූ යතුරුපැදියේ පසුපස රෝදය අනතුරින් බිම පෙරළි තිබියදීත් කර කැවෙමින් තිබුණි.

“මෙන්න සර්...බයික් එකේ ආපු මල්ලිගෙ ෆෝන් එක... බිම වැටිලා...” බස්රථ රියදුරු බොල් හඬින් කීවේය.

සංජුගේ දුරකතනය අතට ගත් ට්‍රැෆික් පොලිස් නිලධාරියා එහි ආසන්න ඇමතුම් අංකයට ඇමතුමක් ගත්තේය.

පොලිස් නිලධාරියා ‘හලෝ‘ කියන්නටත් පෙර තමා සොයා එන දයාබර සංජුගේ ඇමතුමට චානිකා එකවර “හායි...” කීවාය.

“කොහෙද අනේ ඔයා තාම...?” ඇය පුරුදු හඬින් තොඳොල් වූවාය.

“සමාවෙන්න මිස්... අපි මේ පොලිසියෙන්...”

“පිස්සු එපා අනේ...හොරගෙඩියා...”

“විහිළු නෙමෙයි මිස්... මේ අහන්න...” පොලිස් නිලධාරියාට කීමට හැකි වූයේ සිද්ධියේ හැඳින්වීම පමණි.

චානිකාගේ මිහිරි සිනා කට එසැණ ගොළු වී ගියේය.

“බීප්...බීප්...බීප්...”

“ක්‍රියා විරහිත කර හෝ.... ආවරණ කලාපයෙන්...” ට්‍රැෆික් පොලිස් නිලධාරියාට ෂිහ්ඃ....කියැවුණේය.

එතැනින් නතර නොවූ ඔහු සංජුගේ මුදල් පසුම්බියේ තිබී ඔහුගේ රාජකාරි හැඳුනුම්පත සොයා ගත්තේය.

“මේ... තානායම නේද?... සර් කවුද?”

මේ ........ අර රෙස්ට් හවුස් එක නේද? මෙයා එතකොට ඒ රෙස්ට් හවුස් එකේ වැඩ කරන කෙනෙක්. ට්‍රැෆික් පොලිස් නිලධරයා තමාටම එසේ කියා ගත්තේ විශේෂ රාජකාරි සඳහා ගිය මොහොතක තමාද දිනක් දෙකක් අදාළ රෙස්ට් හවුසියේ නැවතී සිටි බව සිහියට ආ නිසාය. 

ඔහුගේ ජංගම දුරකතනයේ බොත්තම් එකින් එක තද වන්නේ ඉන් අනතුරුවය.

“හලෝ ......... ඔය රෙස්ට් හවුස් එකද?“

“ඔව් ඔව්... කවුද කතා කරන්නේ...“ අනෙක් පසින් ඇසිණි.

“මම පොලිසියෙන්... පොඩි පණිවිඩයක් දෙන්න කතා කළේ. ඔයාලාගේ රෙස්ට් එකේ වැඩ කරන කෙනෙක් .... එයා ඇක්සිඩන්ට් එකක් වෙලා...“ පොලිස් නිලධරයාට කියා ගන්නට ලැබුණේ එපමණකි.

පොලිස් නිලධරයාගේ ඇමතුම ලබාගත් වේටර්ගේ ඇස් උඩ යන්නේ අදහාගත නොහැකි මේ පණිවිඩය සමඟිනි.

ඔහුගේ විලාප හඬ රෙස්ට් හවුසිය පුරා රැව් පිළිරැව් දුන්නේ ඉන් පසුවය.

“අනේ... මැනේජර් මහත්තයා 'සංජු'...“ ඔහුට කියා ගත හැකි වුයේ එපමණකි.

Comments