පුතුට රට යන්න පොලියට ගත් සල්ලි බේරන්න අම්මා ගහපු ගැටේ | Page 2 | සිළුමිණ

පුතුට රට යන්න පොලියට ගත් සල්ලි බේරන්න අම්මා ගහපු ගැටේ

පොලිසිය කාන්තාවගෙන් ප්‍රශ්න කරමින්

- සන්නද්ධ කල්ලියක් තමන් පැහැර ගත් බව කියා බිරිය සැමියාගෙන් ලක්ෂ 35ක් ඉල්ලලා

සිය සැමියා සහ දරුවන් නොමඟ යවමින් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් ආනමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ ඉකුත් පහළොස් වැනි දිනය. ඇගේ ගම පුත්තලම දිසාවේ ආනමඩුවයි. වයස අවුරුදු 50කි. සැමියා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. පවුලේ දරුවන් තිදෙනෙකි. වැඩිමල් පුතා සහ දියණිය විවාහකය. ඔවුන් වෙනම ජීවත් වෙති. බාල පුතා ද ඔවුන් සමඟය. 

වැඩිමල් දියණියගෙන් සහ පුතාගෙන් නිදහස්ව සිටියද මේ දෙපළ නිතරම උත්සාහ කළේ බාල පුතාට රැකියාවක් සොයා ගැනීමටය. ඊට නිරන්තරයෙන් උත්සාහ කළද රැකියාවක් සොයා ගැනීමට ඇති බාධාව හේතුවෙන් පුතු විදෙස් රැකියාවකට යොමු කිරීමට ඔවුහු අදහස් කළෝය. බාල පුතා ද ඊට එක හෙළාම කැමැත්ත පළ කළේය. ඒ සඳහා විදෙස් රැකියා ආයතනයකට රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් ලබාදීමට මේ දෙපළ කටයුතු කළෝය. ඊට අවශ්‍ය මුදල සොයා ගනු ලැබුවේ පොලී පදනම මත ලොකු පුතාගේ බිරිය මැදිහත්වී ඇය දන්නා කියන අයකුගෙනි. ඒ මවගේ බලවත් ඉල්ලීම මතය.

කාලය ගත වීමත් සමඟ මේ දෙපළ වරින්වර විදේශ රැකියා ආයතනයෙන් පුතුට විදෙස් ගත වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ කවදාදැයි නිරන්තරයෙන් විමසූහ. එහෙත් එය බාලගිරි දෝෂයක් බවට පත්විය. ගත් මුදල්වලට ගෙවිය යුතු පොලිය ඉහළ ගියේය. මේ තත්ත්වය මත පොලී පදනම මත මුදල් දුන් අය මේ දෙපළට නිරන්තරයෙන් කරදර කළේය. එම මුදලේ පොලිය පවා අඹුසැමියන්ට ගෙවා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්වූහ. මේ අතර මවට සහ පියාට තමාව රට යැවීමට නොහැකි වීම ගැන බාල පුතා කෑකෝ ගැසීම නිසා පිය පුතු උරණ වූ අවස්ථා ද එමටය. පිය පුතු අතර ද නිරතුරුව ආරවුල් ඇතිවිය.

පැවති මානසික පීඩනය මඟ හරවා ගැනීමට මේ දෙපළ තීරණයකට එළඹුණේය. ඒ සැමියාට අයත් කොට්ටුකච්චිය ප්‍රදේශයේ පිහිටි ඉඩම විකිණීමටය. එහෙත් එසේ එය සැලසුම් කළ ද එම ඉඩම අඩු මුදලකට ඉල්ලීම හේතුවෙන් එම උත්සාහය ද අසාර්ථක විය.

ලොකු පුතාගේ ලේලියගෙන් තමන් මැදිහත් වී මුදල් ලබා ගැනීම සම්බන්ධව බිරිය දැඩි කනස්සල්ලෙන් පසු වූවාය. ඒ මුදල් දුන් පාර්ශ්වය මුදල් කෙසේ වෙතත් අය විය යුතු පොලියවත් ලබා දෙන මෙන් කරදර කිරීම නිසාය. බිරිය නිතර කල්පනා කළේ මේ මුදල් පියවා ගන්නේ කෙසේද යන්නය. විවිධ ක්‍රියා සිතට නැඟුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තියක් ඇයට නොවීය. අවසානයේ ඈ තීරණයකට එළඹුණාය. ඒ මෙම මුදල් කෙසේ හෝ තම සැමියාගෙන් ලබා ගන්නා බවටය. ඊට සැලසුමක් ද ඇය ක්‍රියාත්මක කළාය.

මොන ප්‍රශ්න මොන ගැටලු ආවත් තමන් කෙසේ හෝ මේ මුදල් නි‍ෙවසින්ම ලබා ගන්න අරමුණ ඇතිව ඇය පසගිය 15 දින උදෑසන ආනමඩුව පිහිටි නි‍ෙවසින් පිටත් වූයේ සිය දියණිය පදිංචි වාරියපොළ, හංගමුණ නවගත්තම ප්‍රදේශයටය. දියණියගේ නි‍ෙවසට ගොස් මඳ වේලාවක් රැඳී සිටි ඇය සවස් වන විට නිවසට යාමට අවශ්‍ය බව පවසා දියණියගේ නිවසින් පිටත් වූවාය.

පසුව මේ සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීමට දියණියගේ නි‍ෙවස සුදුසු නොවන බව වටහා ගත් ඇය කටුපොත සිටින ඇගේ සොහොයුරාගේ ‍නිෙවසට ගියාය. ඇගේ සොහොයුරා මියගොස් ඇති අතර සොහොයුරාගේ බිරිය පමණක් එම නි‍ෙවසේ ජීවත්ව සිටී. කෙසේ වෙතත් ඇය දැඩි පීඩනයකින් සිටින බවත් තමන් මුහුණ පා ඇති තත්ත්වය ද නෑනාට පැහැදිලි කර දින දෙකක් තුනක් එම නිවෙසේ රැඳී සිටීමට අවශ්‍ය බව ඇය පැවසුවාය. එම නිවෙසේ සිට කිසිවෙකුටත් නොකියා ඇය මුදල් ලබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළාය.

"රෑ වෙන්න කලින් මම එනවා. මේ මඟ එන ගමන්. මාව ගන්න ආනමඩුව ටවුන් එකට එන්න." මෙහෙයුම ආරම්භ කරමින් ඇය සිය සැමියාට දුරකතන ඇමතුමක් ලබා දුන්නාය.

"මට ටිකක් සනීප මදි පුතාව ටවුන් එකට එවන්නම්." සැමියා කීවේය.

ඔහු එසේ කියා බිරිය ගැනීමට යතුරුපැදියෙන් පුතාව පිටත් කිරීමට කටයුතු කළේය. ඒ වන විට සවස හයහමාර පමණ විය.

බස් නැවතුම්පොළට ගොස් පැයකට වැඩි කාලයක් ගත කළ බාල පුතා විසින් මවට දුරකතන ඇමතුම් කිහිපයක් ලබා දුන්නද ඇගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබීම නිසා ඔහු ආපසු නිවෙසට පැමිණියේය.

කෙසේ නමුත් බිරිය සොයා ගැනීමට නොහැකි වීමත් බිරියගේ දුරකතනය ක්‍රියා නොකිරීමත් නිසා සැමියා ආනමඩුව පොලිසියට 15 දින රාත්‍රී බිරියගේ අතුරුදන් වීම ගැන පැමිණිලි කළේය.

15 දින බිරිය පිළිබඳව කිසිම හෝඩුවාවක් නොමැති වීම නිසා සැමියා සිටියේ කනස්සල්ලෙනි. ස්ථානාධිපති එච්.ආර්. හේමන්ත නන්ද කුමාර මේ පිළිබඳව අදාළ උපදෙස් ලබා ගැනීමෙන් පසු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එස්. ජයරත්න ඇතුළු පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කළේය.

ඒ අතරතුර 16 දින බිරිය තම ජංගම දුරකතනයෙන් සැමියාට කතා කර සිවු දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තමන් ආනමඩුව නගරයේ දී 15 දින සවස පැහැර ගත් බවත් මුදා හැරීමට ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා සිටිමින් තමන් මරා දමන බවට තර්ජනය කළ බව පැවසුවාය.

ඒ අනුව බිරිය අවස්ථා ගණනාවකදී සැමියාට දුරකතන ඇමතුම් ලබා දෙමින් ඉක්මණින් අදාළ කප්පම් මුදල ලබා දී තමන් බේරාගන්නා ලෙස ඇඬූ කඳුළින් කීවාය. සැමියා මේ බව පොලිසියට දැනුම් දීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් ඒ වන විටත් ආනමඩුව පොලිසියේ නිලධාරීන් මෙම කාන්තාව ගමන් කළ ස්ථාන සහ අදාළ මාර්ගවල ආවේක්ෂණ කැමරා පරීක්ෂා කරමින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

එහිදී පොලිසියට කිසිම ස්ථානයකදී මෙම කාන්තාව පැහැර ගැනීමක් පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. 

පසුව මෙම කාන්තාවගේ දුරකතනයෙන් 17 දින සැමියාගේ දුරකතනයට ඇමතුමක් ලබා ගත් තැනැත්තෙකු පැවසුවේ බිරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට අවශ්‍ය නම් ලක්ෂ 50ක් නොව ලක්ෂ 35ක් ලබා දෙන ලෙසය.

පසුව මෙම බිරිය සැමියා අමතමින් පැවසුවේ අදාළ මුදල් හැකි ඉක්මණින් තම බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන ලෙසත් එම බැංකු ගිණුම් තමන් සන්තකයේ තිබෙන නිසා මුදල් ලැබුණ පසු පැහැර ගත් පුද්ගලයන්ට ඒවා ලබා දීමට කටයුතු කිරීමට හැකි බවයි.

මේ සියල්ල ආනමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළුව නිලධාරින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර මෙම කාන්තාවගෙ ජංගම දුරකතන වාර්තාවක් ලබා ගනිමින් ඇය රැඳී සිටින ස්ථාන පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන ලදි.

ඒ අනුව මෙම කාන්තාව රැඳී සිටි කටුපොත ප්‍රදේශයේ සිදුකරන ලද විමර්ශනයකින් පසුව රැඳී සිටි නිවෙසේදී 18 දින මේ කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

අත්අඩංගුවට ගත් කාන්තාව පොලිසියට පාපොච්චාරණය කළේ තම බාල පුතා විදේශගත වීමකට රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් පොලියට ලබාගත් බවත් එසේ ලබා ගත් මුදල් විදේශ රැකියා ආයතනයකට ලබා දුන්නද පුතාට රැකියාව ලබා නොදීම හේතුවෙන් ලබා ගත් මුදල පොලිය සමඟ එකතු වී මේ වන විට විශාල මුදලක් බවට පත්වීම නිසා එය ගෙවා දැමීමට මෙසේ සිදුකළ බවයි.

වයඹ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ උපදෙස් මත පුත්තලම ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජීත් හේසිරිගේ මෙහෙයවීමෙන් ආනමඩුව සහකාර පොලිස් අධිකාරි එච්.එම්.සී.පී.හේරත්ගේ මැදිහත් වීමෙන් ආනමඩුව පොලිස් ස්ථානාධිපති එච්.ආර්.හේමන්ත නන්ද බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එස්. ජයන්ත, සැරයන්වරුන් වන 34208 කුමාර, 17005 විරසේකර, 39027 විජීත, කොස්තාපල් 76743 වර්ණසුරිය යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කළහ.

Comments