හමුදා සෙබළාගේ දරු පවුලම නැති කළ සාහසික අපරාධය | Page 2 | සිළුමිණ

හමුදා සෙබළාගේ දරු පවුලම නැති කළ සාහසික අපරාධය

 

යුද හමුදා සෙබළකු වූ සිරිසෝම එක් දරු පියෙකි. සිරිසෝම යුද හමුදාවේ සේවය කළද ඔහුටම කියා ඉන්න හිටින්නට තැනක් තිබුණේ නැත. ඔහු සහ පවුලේ අය පදිංචිව සිටියේ හේන් ගොවිතැන් කරන අති දුෂ්කර වූ ගම්මානයකය. ටික කලක් මහ ගෙදර පදිංචිව සිටි සිරිසෝම හවුල් අයිතිය තිබු ඉඩමක කටුමැටිවලින් කුඩා පැල්පතක් ඉදි කරගෙන එහි පදිංචියට ගියේය. පැල්පතේ වහලයට පොල් අතු සෙවිලිකොට තිබුණි. පැල්පත වටා තිබුණේ කුඹුරු යායකි. මෙම හවුල් ඉඩමේ සෙසු අයිතිකරුවන් සිරිසෝම මෙකී ඉඩමේ නිවසක් ඉදිකර ගන්නවාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

“මේක හවුල් ඉඩමක් නේ... ඔයා කොහොමද මේ ඉඩමේ ගෙවල් හදන්නේ“ යැයි හවුල් අයිතිකරුවෝ කීහ. එහෙත් සිරිසෝම ඒ කිසිවක් ගණන් ගත්තේ නැත. මේ නිසා මේ අය අතර බහින්බස් වීමක්ද සිදු විය. එහෙත් ඒ ගැටුම දුරදිග ගියේ නැත.

පස් හැවිරිදි තම දරුවා හා බිරිය සමඟ සිරිසෝම මෙම නිවසේ පදිංචිව සිටියේය. එකල උතුරු නැඟෙනහිර යුද්ධය දරුණු ලෙස පැවති කාලයකි. සිරිසෝම කෙටි නිවාඩුවකට ගමට පැමිණ සිටියේය. සිරිසෝමගේ නිවාඩුද අවසන් වී තිබුණි. පසුදින රැකියාවට යාම සදහා අලුයම අවදි වන අටියෙන් සිරිසෝම බිරිය සහ පස් හැවිරිදි සිඟිති පුතු සමඟ නින්දට ගියේය. එහෙත් සිරිසෝමට පමණක් නොව පවුලේ කිසිවෙකුට පසුදින අවදි වීමට හැකි වූයේ නැත.

“සිරිසෝමලා හිටපු පැල්පත ගිනි අරගෙන තුන් දෙනාම පිච්චිලා මැරිලා“ මේ පුවත ළැව්ගින්නක් සේ පැතිර ගියේ විදුලි වේගයෙනි. ඒ වන විට පොලිසියටද මේ ආරංචිය ලැබී තිබුණි. සිරිසෝමගේ නිවස ගිනි ගත්තාද? කිසියම් පිරිසක් විසින් සිරිසෝමගේ නිවසට ගිනි තැබුවාද යන්න පොලිසියටද මහත් ප්‍රහේළිකාවක් විය. මේ නිසා පොලිසිය ‘සොකෝ‘ නිලධාරින් ගෙන්වා සිද්ධිය වූ ස්ථානයේ අවශ්‍ය ඡයාරූප ගැනීමට සහ විද්‍යාත්මක විමර්ශනයක් සිදුකරන ලදී. සිරිසෝම බිරිය සහ පුතුගේ සිරුරු අඟුරු වන තරමටම පිලිස්සී තිබුණි.

පොලිසියට මෙම ගිනි ගැනීම ගැන සැකයක් ඇතිවී තිබූ අතර මහේස්ත්‍රාත් පරික්ෂණයක්ද පැවැත්විණි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ස්ථානීය පරීක්ෂණය සහ මියගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරාය. සිරිසෝම සහ පවුලේ අය මියගියේ ස්වාභාවිකව වූ ගිනි ගැනීමකින්ද නැතිනම් කිසියම් පිරිසක් විසින් නිවසට ගිනි තැබීමෙන්ද යන්න පශ්චාත් මරණ පරික්ෂණයේදී තහවුරු කරගත යුතු විය.

එපමණක් නොව මේ ගින්න ඇතිවන අවස්ථාවේ නිවැසියන් පණපිටින් සිටියාද නැතිනම් ඔවුන් ඝාතනය කොට නිවසට ගෙනවිත් දැම්මාද යන්නද අනාවරණය කරගත යුතුය. මෙය ස්වාභාවිකව වූ ගිනි ගැනීමක්ද නැද්ද යන්න පිළිබඳව සොයා ගැනීමට අවට පරිසර සාධක සහ දේශගුණික තත්ත්වයන් පරීක්ෂා කළ යුතු විය. විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා දින කිහිපයකම එම ප්‍රදේශයේ තිබූ පරිසර සාධක සහ දේශගුණික තත්ත්වයන් නිරීක්ෂණය කළේය. දින ගණනාවකින් එම ප්‍රදේශයට වැසි ලැබී නොතිබුණි. එපමණක් නොව මෙම පැල්පත ගිනි ගන්නා අයුරු කිසිවෙක් දැක තිබුණේද නැත.

ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් නිවස අවට පරික්ෂා කළේය. නිවසට විදුලිය ලබාගෙන තිබුණේද නැත. ගිනි ගැනීමට තරම් වූ දේවල් නිවස තුළ නොවීය. නිවසේ තිබූ බෝතල් කිසිවක් ගිනිගෙන තිබුණේ ද නැත. මෙතරම් විශාල ගින්නක් නිවස තුළින් පටන්ගෙන පිටතට යා නොහැකි බව අධිකරණ වෛද්‍යවරයා විසින් කළ පරික්ෂා කිරීම්වලදී තහවුරු කරගත්තේය. ඒ විතරක් නොව මෙම ගින්න අනිවාර්යෙන්ම නිවසේ පිටතින් ඇතිවිය යුතු බවට සක්සුදක් සේ පැහැදිලි විය. සුළඟට පවා නිවස ගිනි ගැනීම සඳහා යම්කිසි ප්‍රභවයක් තිබිය යුතු විය. නිවස අවට ගිනි ගොඩවල් කිසිවක් තිබුණේද නැත. සිරිසෝම, බිරිය සහ සිඟිති පුතු නිදාගෙන සිටියේ ඇඳක් මතය. සිඟිති පුතු මේ දෙදෙනාට මැදිව සිටියේය. තිදෙනාගේම මළසිරුරු බොක්සිං ක්‍රීඩකයකුගේ හුරුවට පිලිස්සි තිබුණි. මෙවැනි තත්ත්වයක් දැකිය හැක්කේ යම්කිසි අයකු අඟුරු වන තරමට පිලිස්සුණු විටය.

මෙම පරිසර සහ අනිකුත් සාධක අනුව දිගු කාලයක් පුරා මෙකී පැල්පත ගිනි ගෙන ඇති බැව් ස්ථානීය පරික්ෂණයේදී විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් තහවුරු කරගන්නා ලදී. නිවස හතර වටින්ම ගිනිගෙන වහලය ද මොවුන්ගේ සිරුරුවලට වැටී ගිනිගෙන තිබුණේය. එපමණක් නොව මේ අය තද නින්දේ සිටියදී නිවස ගිනිගෙන තිබූ බවද තහවුරු විය. පසුව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මියගිය තිදෙනාගේ මළ සිරුරු වෙන වෙනම වෙන්කර ගැනීමට කටයුතු කළේය. තිදෙනාගේ මළ සිරුර හඳුනා ගැනීමට නොහැකි තරමට පිලිස්සි තිබුණි. මෙම ගින්න නිවසේ එළියේ සිට ඇතුළට පැතිරී ඇති බව අධිකරණ වෛද්‍යවරයා විසින් ස්ථානීය පරීක්ෂණයේ දී තහවුරු කර ගත්තේය. පෙට්‍රල්, භූමිතෙල් වැනි යම්කිසි ද්‍රව්‍යයක් දමා ගිනි තැබු විට ගින්න ඇවිළීම වැඩිය.

ඒ අනුව මෙම ගින්න ස්වාභාවික හේතුවක් නිසා නොව බාහිර පාර්ශ්වයක් විසින් කරනු ලැබු ගිනි තැබීමක් බව අධිකරණ වෛද්‍යවරයා විසින් ස්ථානීය පරීක්ෂණයේ දී තහවුරු කරගත්තේය. මේ සඳහා ස්ථානීය පරීක්ෂණය ඉතා වැදගත් විය. පොලිස් නිලධාරීන්ද අපරාධය වූ ස්ථානය ඉතා හොඳින් ආරක්ෂාකර තිබුණි. එයද පරීක්ෂණවලට දැඩි පිටුවහලක් විය.

බරපතළ පිලිස්සුම් තුවාල ලබා සිරිසෝම ඇතුළු පවුලේ අය මියගොස් ඇති බැව් අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයේ දි තහවුරුකර ගනු ලැබීය. එහෙත් ගිනි ගැනීම සිදුවී ඇත්තේ ස්වභාවික වූ ගිනි ගැනීමකින් නොවන බවත් ඒ නිසා සිරිසෝමගේ හා පවුලේ අයගේ මරණ සැලසුම් සහගත ලෙස කරනු ලැබු අපරාධයක් බව අධිකරණ වෛද්‍යවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කළේය. ඒ අනුව පොලිසිය විසින් මේ සාහසික අපරාධයේ සුලමුල අනාවරණය කරගන්නේ මේ අයුරිනි.

සිරිසෝම යුද හමුදාවේ සේවය කළද ඔහු දැඩි දරිද්‍රතාවයෙන් පෙළුණු අයෙකි. ඔහුට තම උපන් බිමේ අඟලකවත් අයිතියක් තිබුණේ නැත. සිරිසෝම පදිංචිව සිටි ඉඩම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබුණේය. සිරිසෝම මෙම ඉඩමේ පදිංචි වූවාට ඔහුගේ ඥාතීන් තුළ පැවැතියේ දැඩි වෛරයකි. සිරිසෝම යුද හමුදාවේ සේවය කළ නිසා ඔහුට සෘජුව යමක් කිරීමට ඥාතින් බිය වූයේය. එහෙත් ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් සිරිසෝම හා පවුලේ ඥාතින් අතර යම්කිසි බහින් බස් වීමක් ඇති වුවද එය ගැටුමක් දක්වා වර්ධනය වූයේ නැත. එක් දිනක් සිරිසෝම හා ඉඩමේ සෙසු අයිතිකරුවන් අතර ගැටුමක් ඇති විය.

“ඔය ඉඩමෙන් උඹ අයින් වෙන්න ඕන... නැතිනම් උඹට වෙන දේ උඹවත් දන්නේ නැහැ...“ ඔවුහු කිහ.

“උඹලාට පුළුවන් දෙයක් කරපල්ලා... මම ඉඩමෙන් යන්නේ නැහැ...“ සිරිසෝම කීවේය. ඒ අනුව සිරිසෝමගේ ඥතින් ඔහු මෙලොවින් තුරන්කර දැමීමට සැලසුම් කරනු ලැබීය. ඔහු නිවාඩු ලබා නිවෙසට එන තෙක් බලාගෙන සිටියෝය. සිරිසෝම නිවාඩුවට නිවසට පැමිණ සිටියේය. ඔහු ඇතුළු පවුලේ අය තද නින්දේ පසුවෙද්දී සිරිසෝමට වැඩක් දීමට පවුලේ ඥාතීන් කල්පනා කළේය. කල්යල් බලා සියල්ල සැලසුම් කෙරිණි.

සිරිසෝම, බිරිය සහ සිඟිති පුතු තද නින්දේ පසු වූහ. සිරිසෝමගේ ඥාතීන් කිහිප දෙනෙකු ඔහු පදිංචි පැල්පත අසලට පැමිණියහ. ඔවුහු පොල් අතු සෙවිලි කළ වහලයට සහ නිවසට පෙට්‍රල් දමා ගිනි තැබුහ.

ඒ වනවිට තද නින්දේ පසුවූ සිරිසෝමලාට කිසිවක් කරකියා ගැනීමට හැකි වූයේ නැත. ඔවුන් තද නින්දේ පසුවෙද්දි පිලිස්සි මිය ගියහ. පොලිසිය මෙකී අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු ගම් ප්‍රදේශය අත්හැර ගොස් තිබුණි. ඒ අයද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය. පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පොලිසිය ඉදිරියේ සියල්ල පාපොච්චාරණය කළහ.

Comments