සැමියාගේ උදලු පහරෙන් බිරියත් දරුවාත් බේරාගත් ඉංගිරියේ කොස්තාපල් වසන්ත | Page 2 | සිළුමිණ

සැමියාගේ උදලු පහරෙන් බිරියත් දරුවාත් බේරාගත් ඉංගිරියේ කොස්තාපල් වසන්ත

 

පවුල් ආරවුල විසඳන්න යද්දී සැකකරු උදැල්ලකින් බිරියට දරුවාට ගහන්න හදලා

 

“පොලිසිය” යන වදන සවනට වැටෙද්දීම බොහෝ දෙනකුගේ මනසෙහි ඇඳෙන්නේ එතරම් සුබවාදී චිත්‍රයක් නොවේ. සරලවම කිවහොත් පොලිසියේ ගුණවලට වඩා නුගුණ දකින්නන් සුලබය. අතළොස්සක් වූ එවන් නිලධාරීන් නිසා ‘පොලිසියේ’ නමට කැලලක් එක් වුවත් රාජකාරිය දේවකාරියක් සේ සිතා ලබන වැටුපට එහා ගිය උතුම් සේවයක් ඉටුකරන්නන්ද ඒ අතර වන බව කිව යුතුමය. ඉංගිරිය පොලිසියෙන් පසුගියදා වාර්තා වූ සිද්ධිය ඊට කදිම උදාහරණයකි.

වයස අවුරුදු 28ක් පමණ වූ තරුණ කාන්තාවක් ඉංගිරිය පොලිස් ස්ථානයට පැමිණියේ අවුරුද්දක් පමණ වයසැති අතදරුවෙකුද කරපින්නාගෙනය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය චෝදනාව යටතේ සිය සැමියාට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකළ ඇගේ මුවින් පිටවූ සෑම වදනක් පාසාම කියවුණේ එකම අඳෝනාවකි. දිනපතා තමන්ට සහ දරුවාට සිය සැමියා විසින් කෲර ලෙස වධ හිංසා පමුණුවන බවත්, පැමිණිල්ල කිරීමට පැමිණි දිනට පෙර දිනයේදීත් ඔහු විසින් තමන්ට අඩන්තේට්ටම් සිදුකළ බවටත් ඇය විසින් පොලිස් පොතේ වදන් ගොනු කළාය.

සිය අවනඩුව සටහන් කළ කත පිටව ගිය පසු පැමිණිල්ල මෙහෙයවීමද වහ වහා ඇරඹිණි.

ඉංගිරිය පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇලපාතගේ නන්දසේනගේ උපදෙස් පරිදි ස්ථානීය පරීක්ෂණ කටයුතු බාර කෙරුණේ කොස්තාපල් (96284) වසන්ත ගාමිණීටය.

ඉංගිරිය ප්‍රදේශයේම පිහිටි සිද්ධියට අදාළ නි‌ෙවස කරා කොස්තාපල්වරයා පැමිණෙන විට එහි දොර ජනෙල් සියල්ල වසා දමා තිබිණි. අවටින් කළ සෝදිසියේදී දැනගැනීමට ලැබුණේ පැමිණිල්ල සිදු කළ කාන්තාව සිය සැමියාට ඇති බිය හේතුවෙන් ඉංගිරිය, නම්බපාන පිහිටි ඇගේ මවුපියන්ගේ නි‌ෙවස වෙත දරුවාද සමඟ ගොස් ඇති බවයි.

නමුත් මඳ වේලාවක් ගතවෙද්දී දරුවාද කරපින්නා ගත් එම කාන්තාව නි‌ෙවස වෙත පැමිණියේ කොස්තාපල් වසන්තගේ පරීක්ෂණ කටයුතුවලට මහත් පහසුවක් එක්කරමිනි.

“මම ඊයේ පොලිසියෙ පැමිණිල්ල දාලා මහගෙදර ගියා සර්... ගෙදර ඉන්න බයයි මට...” ඇයට ඊට වඩා කතා කිරීමට අවකාශ නොලැබුණි.

එසැණින් සුනාමියක් මෙන් එම ස්ථානයට කඩා වැදුණේ අදාළ කාන්තාවගේ සැමියාය. ඔහු අත වූයේ ඉහළට එසවුණු උදැල්ලකි. ඊළඟ තත්පරේදී එය අසුරු සැණින් එල්ල වූයේ කාන්තාවගේ හිස දෙසටය.

ඉහළට එසවී පහළට වැටෙන උදලු පහරක් ඉදිරියට පැනීම යනු ඔබ අපට නම් සිතා ගැනීමටත් අපහසු කරුණකි. නමුත් ක්ෂණයකින් ක්‍රියාත්මක වූ කොස්තාපල් වසන්ත උදැල්ල ඉදිරියට පැන සිය අත ඉදිරියට යොමුකොට එය අල්ලා ගැනීමට තැත් කළේ සිය ජීවිතයද පරදුවට තබමිනි. උදලු පහර සම්පූර්ණයෙන් වළක්වා ගැනීමට ඔහු අපොහොසත් වුවද එල්ල වූ පහරේ සැර කිහිප ගුණයකින් බාල කිරීමට ඔහුගේ උත්සාහය සමත් විණි. උදැල්ල කාන්තාවගේ හිසෙහි ගෑවී නොගෑවී පහළට වැටුණේ ඇයට සුළු තුවාල සිදු වෙමිනි. කොස්තාපල් වසන්ත ඉදිරියට නොපනින්නට මේ පවසන්නට යන කතාව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ කතාවක් දක්වා වෙනස් වීමට බොහෝ දුරට ඉඩ අවකාශ තිබුණි.

එළඹි ඊළඟ නිමේෂයේදී සැකකරු ඇසිපිය ගසන පමාවෙන් සිය බිරියගේ අත සිටි ළදරුවා උදුරාගෙන පොළවේ ගැසීමට සැරසුණේ තම උත්සාහය අසාර්ථක වීම හේතුවෙන් ඇතිවුණු දැඩි කෝපයෙහි ප්‍රතිඵලයක් ලෙසය.

දෙමළ චිත්‍රපටයක ත්‍රාසජනක සටන් ජවනිකාවක් ඇස් පනාපිටම නොමිලයේ විඳ ගැනීමේ අවස්ථාව අවට රැස්ව සිද්ධිය නරඹමින් සිටි අසල්වැසියන්ට උදාකර දෙමින් කොස්තාපල් වසන්ත ගාමිණී දෙවන වරටද දැඩි පරිශ්‍රමයක් දරා ළදරුවා ගලවා ගත්තේ තත්පර ගණනක් ඇතුළත ජීවිත දෙකක් බේරා ගත් වීරයෙකු ලෙස පොලිස් පොතට එක් වෙමිනි.

“ඉක්මනට මෙතනින් දුවන්න...”

සිය ජීවිතය පරදුවට තබමින් කාන්තාවගේ සහ ළදරුවාගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණ ඇතුව සැකකරු සමඟ පොර පිටියට බට කොස්තාපල් වසන්ත ඒ කලබලය අස්සේ සිය ජංගම දුරකතනයෙන් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබාගෙන ඇසිල්ලකින් එම දුරතකනය සිය ආරක්ෂිත හිස්වැස්ම තුළ රුවා සිදුවන කලබගෑනිය තත්පර කිහිපයක් ඇතුළත ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නේ පුහුණුව ලත් නියම පොලිස් නිලධරයකුගේ ප්‍රතිරූපය මොනවට පසක් කරමිනි.

සැකකරු අත තිබූ උදැල්ල උදුරා ගැනීමට තැත් කිරීමේදී අවාසනාවකට මෙන් සමබරතාව ගිලිහී බිම ඇද වැටුණු කොස්තාපල් වසන්තට සැකකරු එක පිට එක උදලු පහරවල් එල්ල කරන අතර, අතිදක්ෂ අයුරින් එම පහරවලින් ගැලවුණද එක් උදලු මිටි පහරක් ඔහුගේ පිට ප්‍රදේශයට එල්ල විණි.

ජීවිතය අනූනමයෙන් බේරුණද ඉන් පසුබට නොවුණු කොස්තාපල්වරයා යළිත් නැඟී සිට සැකකරු අත තිබූ උදැල්ල උදුරා ගැනීමට නැවත උත්සාහ කරද්දි තමාට මෙම නිලධාරියාගෙන් ගැලවුමක් නොලැබෙන බවත්, ඔහු දුන් ඇමතුම නිසා මොන යම් හෝ වේලාවක පොලිසිය එම ස්ථානයට පැමිණෙන බවත් දැන සිටි සැකකරු කොස්තාපල් වසන්තගේ පාදයක් සපා කෑවේ එම ස්ථානයෙන් කෙසේ හෝ පලා යාමේ අරමුණිනි.

පාදයේ වේදනාව දරාගෙනම සැකකරු හැඳ සිටි සරමින්ම ඔහුගේ දෑත් ගැට ගැසීමට නිලධාරියා උත්සාහ ගැනීමේදී “කොරේ පිටට මරේ” මෙන් මහහඬින් කෑගසමින් එතැනට කඩා වැදුණේ කාන්තාවන් දෙදෙනෙකි. ඒ සැකකරුගේ මව සහ නැඟණියයි.

“උඹ කොහොමද මහත්තයෝ අපේ එකාව ගෙනියන්නේ...?” යැයි හඬ තැලූ සැකකරුගේ මව කොස්තාපල්වරයාගේ ගෙල සිර කරගෙන අල්ලා ගනිද්දී ඔහුගේ නැඟණිය කොස්තාපල් වසන්තගේ අත සපා කන්නේ නිලධාරියාට මහත් වේදනාවක් ගෙන දෙද්දියි.

නමුත් ඒ මොහොතේම එතැන අවට දුහුවිලි අවුස්සාගෙන පවනක බඳු වේගයෙන් පැමිණ මහ හඬින් තිරිංග යෙදූ පොලිස් ජීප්රිය දුටු සැකකරුත්, ඔහුගේ මවත්, නැඟණියත් එසැණින් එම ස්ථානයෙන් පලා යෑමට තැත් කිරීමේදී පොලිසිය මහත් වෙහෙසක් දරා “මරු කල්ලියේ” මව සහ පුතු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

30 හැවිරිදි සැකකරු සහ 60 හැවිරිදි ඔහුගේ මව එලෙස පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, 25 හැවිරිදි නැඟණිය පලා යන්නේ අවට තිබූ කලබලකාරී නොසන්සුන් වාතාවරණයෙන් උපරීම ප්‍රයෝජන ලබා ගනිමිනි.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී උදය කුමාරගේ උපදෙස් පරිදි ඉංගිරිය වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇලපාතගේ නන්දසේන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න පාදුක්ක නිලධාරීන් විසින් පැන ගිය කාන්තාව සොයා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක ඇත. ජීවිත දෙකක් ගලවාගෙන තුවාල ලැබූ කොස්තාපල් වසන්ත ගාමිණී ප්‍රතිකාර සඳහා ඉංගිරිය රෝහලට ඇතුළත් කෙරිණි.

Comments