
තැරැව්කරු රියැදුරු ඇතුළු 2කට ඇප
කිලෝ තිස් පන්දහසක් පෑලියගොඩ සහ සීදූවේ ශීතාගාරවල
වංචනික පුද්ගලයන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විවිධ උපක්‍රම භාවිතා කරමින් වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගික ජනතාව පීඩාවළට ලක්ව සිටිති. මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු ඉතා සූක්ෂ්ම අයුරින් පාරිභෝගික ජනතාව නොමඟ යවමින් ඔවුන්ට අලෙවි කිරීමෙන් ජනතාව රෝගාබාධවලට ලක්වීමේ අවදානමක් මතුව පවතියි. මේ දිනවල මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයන් අඩු මිලට ලබා ගන්නා පරිභෝජනයට නුසුදුසු මාළු විවිධ කූට උපක්‍රම මඟින් ජනතාවට අලෙවි කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණකි.
ඉකුත් අගෝස්තු මස 10 වන දින සීදූව සහ මීගමුව යන ප්‍රදේශවල ශීතාගාරවල ගබඩා කර තිබූ පරිභෝජනයට නුසුදුසු රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් පමණ වටිනා මත්ස්‍ය කිලෝ තිස් පන්දහසකට අධික ප්‍රමාණයක් සැකකරුවන් තිදෙනෙකු සමඟ සැකපිට අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හැකි විය.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත පෞද්ගලික ශීතාගාර කිහිපයක් පරීක්ෂා කිරීමේදි මෙම පරිභෝජනයට නුසුදුසු මාළු තොගය සොයා ගැනීමට එහි නිලධාරින්ට හැකිවී තිබේ.
සීදූව ප්‍රදේශයේ පිහිටි ශීතාගාර ගබඩාවේ තිබූ පරිභෝජනයට නුසුදුසු කෙළවල්ලන් සහ බල මාළු කිලෝ පන්දහස් නවසිය විසිහතරක් සමඟ සැකපිට 39 හැවිරිදි ලොරි රථ රියදුරෙකු සහ 48 හැවිරිදි තැරැව්කරුවකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
පසුව මෙම සැකකාර රියදුරාගෙන් සහ තැරැව්කරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදී මීගමුව ප්‍රදේශයේ ශීතාගාර පහසුකම් සහිත පෞද්ගලික කන්ටේනර් පෙට්ටි 4ක පරිභෝජනයට නුසුදුසු කෙළවල්ලන් සහ බල මාළු කිලෝ තිස් දහසක් සමඟ මීගමුව, මාන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
මධ්‍යම පරිසර අධිකාරිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව එම පරිභෝජනයට නුසුදුසු මාළු ගබඩා කර තිබූ ශීතාගාර ගබඩා සීල් කිරීමට කටයුතු කළහ.
මෙම සිද්ධියට සම්බන්ධ තැරැව්කරු කාලයක සිට විදේශයන්ගෙන් මෙරටට විනාශ කිරීමට එවූ පරිභෝජනයට නුසුදුසු මාළු මෙසේ වෙළඳාම් කර ඇති බව හෙළි වී තිබේ.
මාළුවලට ප්‍රසිද්ධ විදේශ දූපත්වල සිට නේපාලයට නැවකින් එවූ මාළු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී එම නැව කිසියම් කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය අලුත්වැඩියා කිරීමට කොළඹ වරායට ඇතුළත් කර ඇත.
එම මාළු විනාශ කර දියර පොහොර සෑදීමට නියමිත වූ අතර එම මාළු තොගයෙන් කොටසක් මෙම සැකකරුවන් විසින් මිලදී ගෙන වෙළඳපොළට නිකුත් කර ඇති බවට අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන් විසින් දියර පොහොර සෑදීමට තිබූ මසුන් මිලදී ගෙන මෙරට පාරිභෝගික ජනතාවට විකුණා ඇති බවත් මෙම මාළු ශීතාගාර තුළ තදින් ගල් වන පරිදි ශීතකර පරිභෝජනයට නුසුදුසු බවට නොහැඟවන අයුරින් විකුණා ඇති බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.
එහෙත් විමර්ශන නිලධාරින් කළ පරීක්ෂා කිරීම්වලදි මෙම මසුන් දැඩි ලෙස නරක් වී පරිභෝජනයට නුසුදුසු ලෙසට පැවති බව එහිදී හෙළිවී තිබේ. මෙම සැකකරුවන් මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු විකිණීමේ කටයුතු කලක සිට සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරුවන් විසින් මසුන් මෙරට දකුණු පළාතේ සිට ගෙන්වන අතර ඒවා විවිධ පුද්ගලයන්ට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ දිනවල මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් මාළු ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසාත් සැකකරුවන් කිසිම අපහසුතාවකින් තොරව මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු විකිණීමේ කටයුතු සාර්ථකව සිදුකර තිබේ.
මෙම කාලය තුළ මෙරට වෙළඳපොළට කෙළවල්ලන් සහ බල මාළු අවශ්‍ය තරමට නොලැබීම හේතුවෙන් සැකකරුවන්ට සිය මත්ස්‍ය ජාවාරම අපහසුවකින් තොරව සිදුකර ගෙන යාමට හැකිවී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව, අක්කර පනහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි රියදුරු, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තැරැව්කරු සහ මීගමුව, මාන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි. නඩුව කැඳවන ඉදිරි දින අදාළ මත්ස්‍ය තොග සම්බන්ධව රස පරීක්ෂක වාර්තාව කැඳවීමට නියමිතයි.
කැලණිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ, උපපොලිස් පරික්ෂකවරුන් වන මුතුකුමාරණ, පෙරේරා, සැරයන් (37638) අධිකාරි, කොස්තාපල්වරුන් වන (6103) සරත්, (77930) ගයාන්, (82159) කුමාර, (32930) චතුරංග යන නිලධාරින් වැටලීම සිදු කරන ලදී.