හමුදා කෝප්‍රල්ගේ උතුම් ක්‍රියාව | සිළුමිණ

හමුදා කෝප්‍රල්ගේ උතුම් ක්‍රියාව

 

විදේශීය කතකට අමතක වී ගිය ගමන් බෑගය සොයා බාර දෙයි

සංචාරකයන් ලංකාවට අද්දවන කෝප්‍රල් නානායක්කාරගේ සද්ක්‍රියාව

රුපියල් ලක්ෂ ගණනක් වටිනා කැමරා විදේශ මුදල් සහ බැංකු කාඩ් බෑගයේ

වසර ගණනක් පුරා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මඟින් මහජනතාවට අහන්නට දකින්නට ලැබුණේ හද කකියවන අනුවේදනීය කතා පුවත්ය. මිනීමැරුම්, ළමා සහ කාන්තා අතවර එහෙමත් නැතිනම් සොරකම් කොල්ලකෑම් සහ විනාශකාරි ක්‍රියාවන්ය. පහළ මධ්‍යම පන්තියේ පමණක් නොව සුපිරි කෝටිපතියන් සම්බන්ධවත් මෙවැනි පුවත් සමාජයේ විරල නොවීය. එතරම් හොඳ අධ්‍යාපනයක් නොලද එසේම මත්ද්‍රව්‍යවලට යොමු වූ පුද්ගලයින් මෙන්ම ඉහළ අධ්‍යාපනයක් ලබමින් හොඳ රැකියාවල නිරත වූ අයද වංචා, දූෂණ මිනීමැරුම්, මංපැහැරීම්, සොරකම්වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් මේ වන විටත් දක්නට ඇත. ඒ තරමටම මේ සමාජයේ බහුතරයකගේ ගුණධර්ම පිරිහී ඇති බවක් පෙනෙන්නට තිබේ. සොරකම මේ වන විට සමාජගත වී ඇත. අන් අයගේ ජීවිත නැතිකර හෝ මුදල්ම සෙවීමේ පරමාර්ථයෙන් සිදු කරන අපරාධ සුලබය.

මෙවන් කාලයක ජාතියේ පිනට කලාතුරකින් පහළ වන සත්පුරුෂයෝද නැත්තේම නැත. එදිනෙදා දිවි සරි කර ගන්නට නොහැකි වන තරමට සෑම දෙයකම මිල ඉහළ යන යුගයක රුපියල් ලක්ෂ ගණනක අන් සතු මුදලක් කෙනකුට අහම්බෙන් ලැබුණු විට එය ආපසු නියම හිමිකරුට ලබා දෙන්නේ කීයෙන් කී දෙනාද? එවන් විරල සද්ක්‍රියාවක් සිදු කළ විරුවකු පිළිබඳ පුවතක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතලේ ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. ඒ විදේශීය කතක් අමතක වීමකින් රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා කැමරාවක්, ඒ.ටී. එම්. කාඩ්පත් දෙකක් අයිතිකාරියට සොයා බාර දුන් යුද හමුදා නිලධාරියෙක් පිළිබඳවය.

විවිධ රටවලින් මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ සංචාරය කරන සංචාරකයන් බොහෝ තැන්වලට ගමන් කිරීම මෙරට සාමාන්‍ය සිරිතය. එහිදී සුන්දර ස්ථාන නරඹමින් ආගමික ස්ථානත් වැඳ පුදා ගන්නට එම සංචාරකයින් අමතක නොකරති. පේරු රටේ පදිංචිකාරියක වන මේ කාන්තාව මෙරට සිරි නැරඹීමට පැමිණියේ පසු ගියදාය. ඇය ජැක්ලින් ස්ලින්ඩාය. පවුලේ සාමාජිකයින් දෙදෙනකුද සමඟ මෙරටට පැමිණි ඇය නවාතැන් ගත්තේ අගනුවරට සමීප හෝටලයකය. මාසයක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් මෙහි සුන්දර ස්ථාන නැරඹීම සහ ආගමික ස්ථාන වැඳ පුදා ගැනීම ස්ලින්ඩා ඇතුළු පවුලේ අයගේ අභිප්‍රාය විය. මුලින්ම මහනුවර ප්‍රදේශයේ සංචාරය කරමින් දළදා මාලිගාව, පේරාදෙණිය සරසවිය, මල්වත්ත, කෞතුකාගාර, ඇම්බැක්කේ දේවාලය ඇතුළු සුන්දර පූජනීය තැන් රැසක් වැඳ පුදාගත් මේ කණ්ඩායම එම ස්ථාන සිය කැමරාවේ සනිටුහන් කර ගැනීමට අමතක කළේ නැත. ජැක්ලින් සතුව තිබුණු කැමරාවේ වටිනාකම රුපියල් ලක්ෂ 3ක් පමණ විය. මහනුවර දින 7ක් පමණ ගත කළ ඔවුන් දකුණු පළාතේ ගාල්ල කොටුව, මාතර, හම්බන්තොට ලුණු ලේවාය, ගුවන්තොටුපළ නැරඹීමෙන් පසු කතරගම දින 3ක් රැඳී සිටිමින් පූජනීය ස්ථාන වන්දනාමාන කළහ. ඒ ඒ ස්ථානවල ඡායාරූප ගණනාවක්ද ස්ලින්ඩා සිය කැමරාවේ සටහන් කර ගත්තාය. ඒ වන විටත් විශාල ඡායරූප එකතුවක් ඇය සතු විය. යාල විල්පත්තු අභය භූමිවල සැරිසරමින් ලබාගත් වන සතුන්ගේ සේයාරූද ඒ අතර විය.

තෙවන සතියේ සීගිරි දඹුලු නරඹමින් අනුරාධපුර, පොලොන්නරුව නරඹා සිවුවන සතියේ යාපනය, ත්‍රිකුණාමලය, මඩකළපුව ආදී උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සංචාරයට ඔවුහු දින යොදා ගෙන තිබිණි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන වැඳ පුදා ගත් කණ්ඩායම මිහින්තලේ විවේක ගත්හ. පසුදින පොළොන්නරුවේ ගල් විහාරය නරඹා ඓතිහාසික නටබුන් රැසක අසිරිය රිසි සේ අත්විඳිමින් කැමරා නෙතේ සටහන් කරගත්හ. ඒ වන විටත් එහි දින 4ක් පමණ ගත කර තිබූ අතර අවුකන බුදු පිළිමය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ නැරඹීමට පැමිණියහ. සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණයට ලක් වන සිද්ධස්ථාන රැසකි. අවුකන බුදු පිළිමයත් ඒ අතර ඇත.

ජැක්ලින් අවුකන බුදු රුවට වශී වූවා මෙනි. ඇගේ කැමරා නෙත ක්‍රියාත්මක වුයේ විදුලි වේගයෙනි. හෙළ ගල් වඩුවාගේ විස්මිත අපූර්ව හැකියාවන්ගේ ප්‍රතිමූර්තියක් බඳු අවුකන බුදු රුවින් ස්ලින්ඩා නිවී සැනසුණාය. මොහොතකට ඇගේ සිත සමාධිගත විය. අවුකන රුවේ විවිධ පැතිකඩ රැසක් ඇය අපූරුවට සිය කැමරා කාචයේ සටහන් කර ගත්තේ පේරු රටට ගිය පසුවත් එය නරඹා සිත සුවපත් කර ගැනීමට මතක සටහන් වශයෙනි. අවුකන පිළිමය ආශ්‍රිත පුද බිමේ ඔවුහු සිත් සේ සැරිසැරූහ. ඇය අනිත් පිරිස සමඟ අවුකන පිළිමය අසලින් පිටවී සංචාරක රියට ගොඩ වුවාය. ඊළඟ නැරඹුම් ස්ථානය බලා වෑන් රථය පිටත් විය. මඳ දුරක් ගිය පසු ඇයට යම් කිසි අඩුවක් දැනුණි. ඇගේ අත්බෑගය නොමැති බව දැනගත්තේ එවිටය. ආහාරපාන, බීම අඩංගු තවත් බෑගයක් කරේ දමාගෙන ගිය බැවින් අත්බෑගය ඇගේ මතකයෙන් ගිලිහිණි. ඇයට එලොව පොල් පෙනුණේ එහි රුපියල් ලක්ෂ 7ක පමණ විදේශ මුදල්, කැනොන් වර්ගයේ කැමරාවක්, විදේශ ගමන් බලපත්‍රය, දුරකතන ආරෝපකයක් හා බැංකු කාඩ්පත් එහි තිබූ හෙයිනි. වහාම සංචාරක රිය නැවතත් අවුකන විහාරය වෙත හරවා පැමිණීමට කටයුතු කළේය.

මෙම අත්බෑගය ජැක්ලින් ස්ලින්ඩා අවුකන බුදු පිලිමය අසල අමතක වීමෙන් දමා පැමිණි අතර එය නෙත ගැටුණේ ඒ වන විට එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි දෙවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ කෝප්‍රල් එන්.ඊ.ඩී.පී. නානායක්කාරටය. වහාම ක්‍රියාත්මක වූ ඔහු එම බෑගය නිරුපද්‍රිතව ඒකක මූලස්ථානය වෙත බාර දීමට කටයුතු කළේය.

දෙවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා හේවා බළකායේ අණදෙන නිලධාරී මේජර් එන්.පී. ඊ.එන්. නේරංගම අස්ථානගත වූ බෑගයේ හිමිකාරිය සොයා එය බාර දීමට කටයුතු කළේය.

තම අස්ථානගත වූ බෑගය නැවත ලබාදීම ගැන ජැක්ලින් මෙනෙවිය යුද හමුදා නිලධාරියාගේ ආදර්ශවත් ක්‍රියා කලාපය ගැන සිය හදපිරි ප්‍රශංසාව පිරිනැමුවාය. තම විදේශ ගමන් බලපත්‍රය සමඟ මුදල් සහ කැමරාව බැංකු කාඩ්පත් නැතිවූයේ නම් තමන් මහත් අපහසුතාවට ලක් වන බවත් මෙම හමුදා නිලධාරියාගේ සද්ක්‍රියාව ලංකාවේ යහපත් බව පිළිබිඹු කෙරෙන බවත් නැවතත් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන බවද ඇය කීවාය.

 

Comments