
- සොරකම් කළ යතුරු පැදි හතක් සොයාගනී
- කොළඹින් උස්සන මෝටර් බයිසිකල් 'මස්' කරන්නේ හක්මණදී
- සොරකම් වැලක සුලමුල හෙළි වුණේ බොරලැස්ගමුවේදී
කිසිවකු දුක් මහන්සියෙන් හරි හම්බ කරන මුදල් විය පැහැදම් කර ලබාගත් දෙයක් නිමේෂයකදී සොරකු විසින් පැහැර ගනු ලැබුව හොත් ඔහුට ඇයට කුමක් සිතේ ද? එවන් අවස්ථාවක පොලිසියේ පිහිට පැතූ කෙනෙකු නිසා සොරකම් සහ සමාජ විරෝධී ක්‍රියා රැසක් හෙළි කර ගැනීමට බොරලැස්ගමුව පොලිසියේ නිලධාරින්ට පසුගියදා හැකි විය.
පසුගිය හයවැනි ඉරුදින සවස 04.30 ට පමණ බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවකු වන අයෙක් තම යතුරු පැදියෙන් රාජකාරි කටයුත්තක් සඳහා බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ ආයතනයකට ගියේය. ඔහු එම ආයතනය ඉදිරිපිට සිය යතුරු පැදිය නවතා ගොස් නැවත ආයතන ඉදිරිපිටට පැමිණෙන විටදී යතුරු පැදිය නොමැති බව දැනගත් ඔහුගේ ඉහමොළ රත්විය. වහා කලබලයට පත් ඔහු එසැණින් බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත ගොස් සිය යතුරු පැදිය නැති වීම සම්බන්ධව පැමිණිල්ලක් කළේය.
බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී විජේරත්නට මෙම පැමිණිල්ල පිළිබඳව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය විසින් දැනුම් දීමත් සමඟ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් නැතිවූ යතුරු පැදිය සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කළෝය. එම නිලධාරින් යතුරු පැදිය නැති වූ ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී සැක කටයුතු අන්දමින් ගමන් කරනා යතුරු පැදියක් මාර්ගයේ ධාවනය වන බව දුටු පොලිස් නිලධාරීන් එය නවතා පරීක්ෂා කිරීමේදී එය සොරකම් කරන ලද මෝටර් බයිසිකලය බවට අනාවරණය කර ගැනීමට හැකි විය.
පොලිස් නිලධාරීන් මේ මෝටර් බයිසිකලය පදවාගෙන ආ පුද්ගලයා සමඟ එය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් වැඩිදුර විමර්ශන ආරම්භ කරමින් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙවැනි අන්දමින් කොහුවල ප්‍රදේශයේදී සොරකම් කරන ලද යතුරු පැදියක් මිරිහාන ප්‍රදේශයේ සැකකරුගේ මිතුරකුගේ නිවසේ සඟවා තිබෙන බවට ලද තොරතුරු මත එම ස්ථානයට ද ගොස් එම යතුරුපැදිය සමඟ නිවසේ හිමිකරු වන මිතුරා ද අත්අඩංගුවට ගත්තේය. ඉන් අනතුරුව එම සැකකරු ද පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ එම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නියුතු පුද්ගලයෙක් බවය. දීර්ඝ ලෙස විමර්ශන කටයුතු සිදු කරමින් සිටින පොලිස් නිලධාරින්ට මේ වන විට පෞද්ගලික තොරතුරක් ලැබෙන්නේ බෙල්ලන්විල ප්‍රදේශයේ ගරාජයක සොරකම් කරන ලද යතුරුපැදිවල අමතර කොටස් ගලවා විකිණීම සිදු කරනා පුද්ගලයෙක් පිළිබඳවය.
එම පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් කරන පොලිස් නිලධාරීන් ඔහු ද අත්අඩංගුවට ගන්නේ සොරකම් කර සඟවා තිබූ තිබූ තවත් යතුරු පැදියක් සමඟය. මේ පුද්ගලයා ද පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ප්‍රශ්න කිරීමේදී යතුරු පැදි සොරකම් රැසක් පිළිබඳ තොරතුරු හෙළි කෙළේය.
පොලිස් නිලධාරින්ගේ ප්‍රශ්න හමුවේ පිළිතුරු ලබා දෙන සැකකරු පවසන්නේ තමන් විසින් සොරකම් කරන ලද යතුරු පැදි බෙල්ලන්විල ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයකුට රුපියල් පනස්දහසක් වැනි මුදලකට විකුණන බවය. උපාය දූතයෙකු යොදවා විමර්ශන කටයුතු සිදු කර ඔහු ද අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරින් එම සැකකරුගෙන් ද ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. අත්අඩංගුවට ගැනුණු සිවුවැනියා වන මේ සැකකරුගෙන් මේ ජාවාරමේ සුලමුල හෙළි කරගැනීමට පොලිස් නිලධාරීන්ට එතරම් කාලයක් වැය වූයේ නැත. තෙවන සැකකරු විසින් සොරකම් කර ලබා දෙන යතුරුපැදි තමන් විසින් දකුණු පළාතේ හක්මණ ප්‍රදේශයේ යතුරු පැදි අලුත්වැඩියා කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකුට එක් යතුරු පැදියක් රුපියල් එක්ලක්ෂ පනස්දහස බැගින් විකුණන බවත් කිරින්ද ප්‍රදේශයේ කල්බදු සමාගමක සේවය කරන පුද්ගලයෙකු ද තමන් සමඟ එකතුවී මෙම ජාවාරම පවත්වාගෙන යන බවත් සැකකරුගෙන් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයින් දෙදෙනා ද හක්මණ සහ කිරින්ද ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් පරීක්ෂණ සිදු කිරීමේදී මාස කිහිපයකදී සිදු කළ යතුරු පැදි සොරකම් ගණනාවක් පිළිබඳව සහ පළවෙනි, දෙවැනි සැකකරුවන් එක් කල්ලියක බවත් අනෙක් සැකකරුවන් සිවුදෙනා තවත් කල්ලියක බවත් අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් හයදෙනා විසින් මේ වන විට සිදු කළ යතුරු පැදි සොරකම් හතක් අනාවරණය කැරගෙන ඇත. මෙම සැකකරුවන් අවුරුදු 22, 24, 27, 29, 35, 58 වැනි වයස්වල පසුවන අය වෙති. ඔවුන් එප්පාවල, මිරිහාන, බෙල්ලන්විල, බෙල්ලන්තොට, හක්මණ, කිරින්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළි විය.
මින් සැකකරුවන් තිදෙනෙක් මෙරට ප්‍රසිද්ධ යතුරු පැදි ආනයනය කරනා සමාගමක කාර්මිකයින් ලෙස සේවය කළ පුද්ගලයෝ වෙති. ඔවුන් ඕනෑම වර්ගයක යතුරු පැදියක් මිනිත්තු හතරක් වැනි ඉතා සුළු කෙටි කාලයකදී හැඬලයේ අගුලු විවෘත කර යතුරු පැදියේ එන්ජිම පණ ගන්වා සොරාගෙන යා හැකි පළපුරුද්දකින් සමන්විත පුද්ගලයන් බවත් අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.
බොරලැස්ගමුව, දෙහිවල, නුගේගොඩ, මොරටුව, ගල්කිස්ස, කොහුවල යන පොලිස් බල ප්‍රදේශයන්ගෙන් සොරාගත් යතුරු පැදි හතක් මේ වන විටත් සොයාගෙන ඇත. මේ යතුරු පැදි උපයෝගී කර ගනිමින් සිදු කළ වෙනත් අපරාධ දෙකක සුලමුල ද පොලිසිය විසින් මේ වන විට අනාවරණය කර ගෙන ඇත. සොරාගත් යතුරු පැදි රැසක් හක්මණ ප්‍රදේශයේදී කොටස් කර විකුණා ඇති බවත් ඉතා සූක්ෂ්ම ලෙස එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර වෙනත් අබලි යතුරු පැදි සමඟ සම්බන්ධ කර විකිණීම කර ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි. මෙවැනිම ආකාරයෙන් සොරා ගත් යතුරු පැදි තවත් ඇද්දැයි සොයා පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත් කිරින්ද ප්‍රදේශයේ පදිංචිකරු කල්බදු සමාගමක නියෝජිතවරයෙකු වශයෙන් සේවය කරන්නෙක් බවද පොලිසිය පැවසීය.
සැකකරුවන් ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් නියෝග කැරිණි.
පොලිසියේ දක්ෂතාවය මත පැය හතළිස් අටක් වැනි කෙටි කාලයකදී සොරකම් කිහිපයක සුලමුල සොයා ගැනීමට සමත් විය.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.එස් ජයමහ, නුගේගොඩ කලාප අංක 01 භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කුමාර රූපසිංහගේ ඍජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී. විජයරත්නගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරියගේ මෙහෙයවීමෙන් කොස්තාපල්වරුන් වන (51857) විපුල, (68843) දේශාන්, (88112) බුද්ධික, (68832) අමරසිංහ, (69071) හේමන්ත, (94121) ඒකනායක, (96878) වීරසිංහ, (92527) ප්‍රසාද්, 93482 දිල්රුවන්, (21516) නිශාන්ත, (94962) රූපසිංහ යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සමීර අබේසිංහ - නුගේගොඩ සමූහ