නාවික සෙබළා වෙඩි තබාගත් හේතුව | Page 2 | සිළුමිණ

නාවික සෙබළා වෙඩි තබාගත් හේතුව

- අසංක සියදිවි නසාගන්නට ඇතැයි බිරිය ද පවසයි
- අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී සියල්ල හෙළි වෙයි
- වෙඩි වැදී වැටී සිටියේ නාවික බෝට්ටුවක් ඇතුළේ

එක් දරු පියෙකු වු අසංක නාවික හමුදා සෙබළෙකි. ඔහු ඈත එපිට ගම්මානයක පදිංචිව සිටියේය. ඒ වන විට අංසක නාවික හමුදාවට බැඳී වසර පහ හයක් පමණ ගත වී තිබුණි. වසර ගණනාවක් පුරා පැවති ප්‍රේම සම්බන්ධතාවකින් පසු අසංක ගම් ප්‍රදේශයේම තරුණියක් සමඟ විවාහ වී සිටියේය. අංසක තම සිඟිති පුතුට මෙන්ම බිරියට ද දැඩි ලෙස ආදරය කළේය. ඒ නිසා නිවාඩු ලැබෙන තෙක් අසංක ඇඟිලි ගනිමින් සිටියේ තම සිඟිති පුතු සුරතල් කිරිම සඳහාය. ඔහු නිවාඩු ලැබුණු විගස බිරියට ඇඳුම් පැළඳුම් මෙන්ම කෑමබීම ද රැගෙන යනු ලැබීය. නිවසේ සිටියේ අසංකගේ බිරිය සිඟිති පුතු සහ අසංකගේ මවය.

අසංක මුහුදුකරය ආශ්‍රිත නාවික කඳවුරක රාජකාරි කළේය. ඔහු එක් දිනක රාත්‍රියේ තවත් නාවික භටයකු සමඟ බෝට්ටුවක් ඇතුළත මුර සේවයේ නිරතව සිටියාය. මොවුන්ට පැවරීතිබුණේ වරායෙන් ධීවර රක්ෂාවේ යන ධීවරයින් පරික්ෂා කිරීමයි. මධ්‍යම රාත්‍රිය ද පසුවී තිබුණි. අසන්නට ලැබුණේ මුහුදු රළ ගෙඩිවල ඝෝෂාව පමණි. අංසක බෝට්ටුවේ පහළ සිටියදී ඔහුත් සමඟ සිටි අනික් නාවික භටයා බෝට්ටුවෙන් බැස ජැටිය වෙත ගියේය. ගතවූයේ නිමේෂයෙකි. එකවරම වෙඩි හඬක් බෝට්ටුවට පහළින් ඇසිනි. ජැටිය මත සිටි නාවික භටයා පැමිණ බලන විට අසංක ලේ පෙරාගෙන වැටී සිටියේය. ඔහුගේ සිරුරෙන් රුධිරය ගලාගෙන යන්නට විය. ඔහුත් සමඟ සිටි නාවික භටයා මේ ගැන බලධාරින්ට දැනුම් දී අසංක රෝහලට රැගෙන යාමට කටයුතු කරනු ලැබීය. අසංක රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටියේය.

මේ ආරංචිය අසංකගේ බිරියට මෙන්ම පවුලේ ඥාතීන්ට ද දැන ගන්නට ලැබිණි. ඔවුහු මේ මරණය ගැන සැක කළෝය.

“අසංකට වෙඩි තියා ගන්නට වුවමනාවක් තිබුණේ නැහැ“ පවුලේ ඥාතීහූ පැවසුහ.

“අංසකට වෙඩි තියලා මරලා“ මේ ආරංචිය අංසකගේ ගම් ප්‍රදේශය පුරා පැතිරී ගොස් තිබිණි. අසංකට කිසිවෙකු විසින් වෙඩි තිබ්බා ද නැතිනම් ඔහු විසින්ම වෙඩි තබා ගත්තා ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවී තිබිණි. කිසිවෙකුට අපරාධයක් කොට ඉන් ගැලවිය නොහැකිය. මක් නිසාදයත් මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වන බැවිනි.

මියගිය නාවික සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර විසිනි. මියගිය පුද්ගලයාගේ සිරුරේ ඇති තුවාල පරික්ෂා කිරීමෙන් පසු ගිනිඅවියෙන් වෙඩි තබා ඇත්තේ කොපමණ දුරක සිට ද යන්න තීන්දු කිරීමට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකුට හැකිය.

වෙඩි තබා ඇති දුර ප්‍රමාණය, තුවාලයේ ලක්ෂණ අනුව තීන්දු කළ හැකිය. ළඟම සිට වෙඩි තබා ඇද්ද නැතිනම් මද දුරක සිට වෙඩි තබා ඇත්ද? ඈතක සිට වෙඩි තබා ඇත්ද යන්න පිළිබඳ තුවාලවල ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයෙකුට තීන්දු කළ හැක.

වෙඩිල්ලක් තැබු විට දැල්ලට පිලිස්සිය හැක. දැල්ල නිසා තද කළු පැහැයක් ඇති වේ. පිලිස්සි නොගිය වෙඩි බෙහෙත් නිසා පච්ච කෙටු වැනි තැඹිලි පැහැති ලක්ෂණයක් ඇති විය හැක. තුවාලවල ඇති මෙම ලක්ෂණ අනුව තුවාලවල රටාව ද වෙනස් වන අතර, වෙඩි තබා ඇති දුර ප්‍රමාණය ද තීරණය කළ හැක. 

ඉතාම ළඟ සිට වෙඩි තබා ඇති පුද්ගලයකුගේ තුවාලවල මෙම ලක්ෂණ තුනම දැක ගත හැකිය. නාවික භටයාගේ සිරුරේ තිබු තුවාලවල ද මෙම ලක්ෂණ දක්නට ලැබිණි. නාවික භටයාගේ සිරුරේ තුවක්කු භටයේ සලකුණක් ද දක්නට තිබු අතර, ඔහු තුවක්කු භටය පපුවට තද කරගෙන සිට ඇති බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීරට පෙනී ගියේය.

ගිනිඅවිය ටී 56 වර්ගයේ අවියකි. මොහු වෙඩි තබා ගත්තා ද කිසිවෙකු විසින් වෙඩි තිබ්බා ද යන්න ප්‍රශ්නයට උත්තර සෙවිය යුතුය. යම්කිසි කෙනෙකු විසින් දිවි හානි කරගන්නා විට වෙඩි තබා ගන්නා පොදු ස්ථාන තැන් තිබේ. පපුවට, නළලට, කට ඇතුළට වෙඩි තබාගන්නා පොදු ස්ථානයන්ය.

නාවික සෙබළා පපුවට ටී56 ගිනිඅවිය තබාගෙන පපුවට වෙඩි තබාගෙන ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කර ගැනීමට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීරට හැකි විය. ඔහු නාවික සෙබළාගේ දෑත් පරීක්ෂා කරනු ලැබීය. ඔහුගේ දෑත්වල වෙඩි බෙහෙත් තැවරි තිබුණේය. ඒවා රස පරීක්ෂකවරයා වෙත යැවීමට අධිකරණ වෛද්‍යවරයා විසින් කටයුතු කළේය.

“මේ නාවික සෙබළා ටී 56 ගිනිඅවිය තද කරගෙන තමයි වෙඩි තබාගෙන තිබුණේ. ඔහුගේ පපු කුහරය පසාරු කරගෙන වෙඩි උණ්ඩය පිටවෙලා තිබුණා.

අනික් කාරණය තමයි තරුණ කෙනෙකුට ළඟට ඇවිත් වෙඩි තියනකම් කවුරුවත් බලාගෙන ඉන්නේ නැහැ. තුවාලවල ලක්ෂණ සහ අතේ තැවරි තිබු වෙඩි බෙහෙත් අනුව මොහු තමයි මෙම ගිනිඅවිය භාවිත කරලා තිබුණේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කළා. මොහු බෝට්ටුවේ හාන්සි වෙලා තමයි වෙඩි තබාගෙන තිබුණේ. හෘදය වස්තුව පසාරු කරගෙන නිකුත් වී තිබු වෙඩි උණ්ඩය බෝට්ටුව ද පසාරු කරගෙන ගොස් තිබුණි.

මොහුගේ බිරියගෙන් ද ලබාගත් සාක්ෂි අනුව වෙඩි තබා ගැනීමෙන් තමයි නාවික සෙබළා දිවි හානිකරගෙන තිබුණේ. විශේෂයෙන්ම ඒ සඳහා තුවාලවල ලක්ෂණ ගොඩක් උදව් වුණු බවද“ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර කීවේය.

මෙකී නාවික සෙබළා දිවි හානි කරගැනීමට හේතු වූ කරුණු අනාවරණය වන්නේ මේ අයුරිනි. අසංක නිවාඩු ලැබුණු විගස තම නිවසට ගියේය. ඔහුට දින දාහතරක නිවාඩුවක් ලැබි තිබීණි. මේ කාලයේදී අසංක බිරිය සමඟ කිසියම් ප්‍රශ්නයකට ගැටුමක් ඇති කරගත්තේය. පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මෙම ගැටුම ඇතිව තිබිණි. ඒ ප්‍රශ්නය දුරදිග ගියේය.

“මට දැන් කරගන්න තියෙන්නේ ජීවිතය නැති කරගන්න එක විතරයි. වෙන කරන්න දෙයක් නැහැ“ අසංක බිරියට කීවේය.

බිරියත් සමඟ ඇති කරගත් ප්‍රශ්නය නිසා අසංක සිටියේ දැඩි කලකිරීමෙනි. කලකිරීමට පත්ව සිටි අසංක නිවසේ සිට රාජකාරියට පැමිණ තම අත තිබු ගිනිඅවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කර ගනු ලැබීය. ප්‍රශ්නයක් ඇතිවූ බව අසංකගේ බිරිය ද අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ පාපොච්චාරණය කළාය. මේ මීට වසර 05කට පමණ ඉහතදී වූ සිද්ධියකි.

Comments