ආයුධ බිම තබා වන්ෂොට් පොලිසියට භාර වෙයි | Page 2 | සිළුමිණ

ආයුධ බිම තබා වන්ෂොට් පොලිසියට භාර වෙයි

අපරාධ ලොව කිරුළ කලින් කලට වෙනස් වේ. ඒ ඒ කලට අපරාධ ලොවේ ප්‍රබලයා වන්නේ කවුරු ද ඔහු එහි රජු ලෙස භෞතීෂ්ම ලැබ කිරුළ හිමිකර ගනී. එය ද ලේසි පහසු කටයුත්තක් නොවේ. හොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, වංචා වැනි ම්ලේච්ජ ක්‍රියාවන් සිදු කර තිබීම ඒ සඳහා මූලික සුදුසුකම් ලෙස සැලකිය හැකිය. ඊට අමතරව පොලිසිවල, උසාවිවල නොමැකෙන අයුරින් නම සටහන් වීම මෙන්ම පත්තරවල මුල් පිටු ඔහු නමින්, ඔහු රුවින් වෙන් වීම ද විශේෂ සුදුසුකමකි. නිදහසේ හුස්මක් ගැනීමට නොහැකි වීම, සිතූ සේ සුව පහසු නින්දක් ලැබීමට නොහැකි වීම මෙන්ම නිරතුරුවම මරණ බය දැනීම යනු ඔහුට ලැබෙන බෝනස් ප්‍රතිලාභයන් ය. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි දිවියේ අත්දැකීම් ඇසුරින් ලියවුණු ‘මේ ඒ කතා‘ කෘතියට දිනයාදුර ලක්ෂ්මන් ධර්මරත්න ද සිල්වා හෙවත් වන් ෂොට් පිළිබඳ සැකසුණු කොටස් තුනකින් යුත් ලිපි පෙළේ අවසන් ලිපියයි මේ.

පොලිස් මුරපොළ පිහිටුවා දින 2ක් කිසිදු හැල හොල්මනක් නැතුව ගෙවී ගියේය. ඉඳහිට ඕ.අයි.සී. ජයකොඩි තම රිවෝල්වරය පමණක් අතැතිව ගම වටේ රවුමක් ගියේ පොලිසියේ බලය වන්ෂොට් හට ඒත්තු ගැන්වීමට මෙනි. තවත් දිනක ඔහු තම රියැදුරු සමඟ එසේ ගම වටේ යන අතරතුර පියදාස මුදලාලිගේ කඩය අසල වාහනය නතර කළේ ටෝච් බැටරි කිහිපයක් මිලදී ගැනීමේ අදහසිනි. එදින මුදලාලිගේ හැසිරීම ස්ථානාධිපතිවරයාගේ කුකුසට හේතුවක් විය. බැටරි කෑලි 3ක් ඉල්ලූ සැණින් මුදලාලි බැටරි පෙට්ටියම ගෙනැවිත් මුදල් පසුව දෙන ලෙස පවසා මේ ටික අරන් යන්නයි කියා ඉක්මනින් කඩය තුළට රිංගුවේ කිසියම් අනතුරක් ඉඟි කරන්නා සේ බියපත් මුවිනි.

 

මුරපොළට ආ සැණින් අසල නිවසක පදිංචිව සිටි සුමනපාල හති දමමින් දිවවිත් පැවසූ පුවතින් ඕ.අයි.සී ජයකොඩි තුෂ්නිම්භූත වූයේ පියදාස මුදලාලි එසේ හැසිරුණේ එවේලෙහි වන්ෂොට් ඇතුළු සගයන් කඩය තුළ සිට ඇති බව දැන ගැනීමෙනි. ඩීසල් කළුවා තුවක්කුව ඕ.අයි.සී. ජයකොඩි දෙසට මානද්දී එය වළක්වා ඇත්තේ ද වන්ෂොට් විසිනි. එවේලෙහි තමා කලබල වුවද පියදාස මුදලාලි එසේ කර ඇත්තේ තමා සහ වන්ෂොට් අතර සිදුවන්නට ගිය මහා ව්‍යසනය මගහැරීමේ අරමුණින් බව ජයකොඩි තේරුම් ගත්තේ එම සිද්ධියෙන් පසුවයි. මෙම ක්‍රියාවෙන් වන්ෂොට් ගැන තවත් දෙයක් පැහැදිලිව ඔප්පු විය. එනම් වන්ෂොට් යනු තම ඉලක්කය සොයමින් යන්නෙක් මිස නිකරුණේ උණ්ඩ පාවිච්චි කරන්නෙක් නොවන බවයි.

මෙම සිද්ධියෙන් පසු දින අලුයම් කාලයේ මඩවල හන්දියට නුදුරින් සැඟවී සිට පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරයෙන් වන්ෂොට් පලා ගිය ද ඔහුගේ හොඳම සගයකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඊට දින 2කට පසුව කොටුගොඩ පාලම අසලදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වන්ෂොට් සහ ඔහුගේ සගයකු පොලිස් වෙඩි පහරට ලක් වූහ. එම අවස්ථාවේ ද ඉතා සූක්ෂ්ම අයුරින් එය වළකා ඉදිරියට පැනගත්ත ද ලොරි රථයක් හරස් කිරීමෙන් මාර්ගයේ වූ අවහිරතාව නිසා යතුරු පැදිය ද අතහැර අත්තනගලු ඔයට පැන දිය යටින් පීනා සැඟව යෑමට වන්ෂොට් සමත් විය. දෙනෝදාහක් ගැවසෙන හැන්දෑයාමයේ සිදුවූ මෙම සිද්ධිය දුටුවන්ට ත්‍රාසජනක චිත්‍රපටයක රූප පෙළක් සිහිගන්වනසුලු දසුනක් විය. මෙම සිද්ධිය නිසා පොලිසිය තමා අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීමට නොපැකිළෙන බව වටහාගත් වන්ෂොට් සිය හීනටියන රාජධානිය අතහැර හලාවතට පලා ගියේ තම අතිජාත සගයා ‘ඩීසල් කළුවා‘ සහ සිර ගෙදරදී හඳුනාගත් ‘රාළ‘ නමැත්තා ද සමඟිනි. හීනටියන ප්‍රදේශය පුරා ඉතාම ආරක්ෂාකාරී ලෙස පොලිස් දැල එළා තිබූ බැවින් එහි පැනයෑම ඉතා අසීරු කටයුත්තක් වුව ද ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ ද සූක්ෂ්ම ක්‍රමයකි. හීනටියන ප්‍රදේශයේ නිෂ්පාදිත ලණු අසුරන ලොරියක මුනින් තලා වී සිය සිරුරු මත ලණු අසුරා කිසිවකුටත් නොපෙනී පොලිස් දැලෙන් බේරී පලා යාමට ඔවුන් සමත් වූයේ තවදුරටත් සිනමා පටයක ජවනිකා සිහි ගන්වමිනි.

වන්ෂොට් හීනටියන ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව නිසැකවම දැන සිටිය ද ඔවුන් ඇල්ලීමේ ක්‍රියාදාමය අතහැර දමන්නට පොලිස් අධිකාරී උඩුගම්පොළ කටයුතු නොකළ අතර, ඔවුන් සැඟවී ඇතැයි ඔත්තු ලැබෙන සෑම ප්‍රදේශයක්ම සෝදිසි කිරීමට ඔහු පියවර ගත්තේය. වන්ෂොට් නිතර ගැවසුණු කුරුණෑගල බස් නැවතුම්පොළේ ඕ.අයි.සී. ජයකොඩි ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් පිස්තෝල ඉණේ සඟවාගෙන දින තුනක් තිස්සේ කළ මෙහෙයුම අවසන් වූවේ ද රසවත් අයුරිනි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ශ්‍රී මහා බෝධියට එල්ල කළ ප්‍රහාරයේ උණුසුමින් විමසිල්ලේ පසුවූ වෙළෙඳුන්ගේ විමසිලිමත් දෑසට ලක්වූ වන්ෂොට් ඇල්ලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසට තම මෙහෙයුම නිමා කිරීමට සිදු වූයේ කුරුණෑගල පොලිස් නිලධාරින්ගේ පොලිස් අත් අඩංගුවට පත්වීමෙනි. අනතුරුව කුරුණෑගල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී රන්දෙණියගේ දැඩි දෝෂාරෝපණයට වන්ෂොට් ඇල්ලීමට ගිය නිලධාරීන් ලක්වීමට සිදු විය.

දිවයින පුරා මෙතෙක් කළ මෙහෙයුම්වලින් කිසිම ඵලයක් නොවීම හේතුවෙන් කණස්සල්ලෙන් පසුවූ ඕ.අයි.සී. ජයකොඩි ඇතුළු පිරිසට හදිසියේම පොලිස් අධිකාරී උඩුගම්පොළ හමු වූයේ ලැබුණු රේඩියෝ පණිවිඩයකට අනුවය.

පොලිස් අධිකාරිවරයා හමුවූ ඇසිල්ලේ ලැබුණු තොරතුර වන්ෂොට් ගැන ඔවුන්ගේ සිත්හි සිසිල් වෙමින් තිබූ උණුසුමේ ගිනි දලු නැවත ඇවිළෙන්නට උත්තේජකයක් බඳු විය. අත්අඩංගුවට පත්ව සිටි වන්ෂොට්ගේ ළඟම මිතුරකුගේ මාර්ගයෙන් ලැබුණු වන්ෂොට් ගැන රහසිගත තොරතුර ඔවුන් උද්දාමයට පත් වූවා නො අනුමානය. ඒ අනුව එදින රාත්‍රී 9 පසුවීමට පෙර වන්ෂොට් සැඟවී සිටින ස්ථානයෙන් එළියට පැමිණ ආයුධ රහිතව කොළඹ කොටුවේ බ්‍රිස්ටල් වීදියේ පදික වේදිකාවේ තැනූ තාවකාලික ‍රෙදි කඩයකට පැමිණෙන්නේ තනිවමය.

තොරතුරුකරුගේ මඟ පෙන්වීමට අනුව යමින් අදාළ කඩය වට කළ ජයකොඩි ඇතුළු කණ්ඩායම පුදුමයට පත් කරමින් වන්ෂොට් ඇතුළු කිහිපදෙනෙක් එහි සිටියේ ආයුධයක් හෝ අත නොමැතිවය. කිසිම අපහසුතාවකින් තොරව වන්ෂොට් අත්අඩංගුවට ගත හැකි වූයේ ද කිසිදු කලබලයකින් තොරව ඔහු පොලිසියට භාරවීම හේතුවෙනි.

වන්ෂොට් මෙවන් ඉරණමකට ලක්වීමට හේතුව දැනගන්නට ලැබුණේ පසුව කළ විමසීම්වලදීය. වන්ෂොට් වැනි කඩවසම් තරුණයකු මෙසේ අපරාධකරුවකු වීමට හේතුව විමසූ පොලිස් අධිකාරිවරයාට වන්ෂොට්ගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.

“ජයතිලකලා වගේ කසිප්පු මුදලාලිලා ඉන්න තාක්කල් මිනිහෙකුට හොඳින් ජීවත් වෙන්න ඉඩක් නෑ සර් “ යනුවෙන් ඔහු පැවැසීය.

තමා සතු අවි ආයුධ සියල්ල ද පොලිසිය භාරයට පත් කළ පසුව කිසිම කරදරයකින් තොරව වන්ෂොට්ට අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු බන්ධනාගාරගත වීමේ අවස්ථාව උදා විය.

තම දඬුවම නිමාවීමෙන් අනතුරුව නැවතත් කිසිම අපරාධයකට සම්බන්ධ නොවී යහපත් ලෙස ජීවත් වන්නට පොරොන්දු දී ගිය ද වන්ෂොට් නැවතත් අපරාධ ලෝකයට පිවිස ඇත්තේ අපරාධකරුවකුට කිසිදා ඉන් මිදී සිටීමට නොහැකි යැයි පිළිගත් ලෝක ධර්මතාව හේතුවෙන් වන්නට ඇත. මනුෂ්‍ය ඝාතන, ආයුධ සන්නද්ධ කොල්ලකෑම් ආදී අපරාධ රැසකට පොලිසියට අවශ්‍යව සිටි වන්ෂොට් මරදානේදී පොලිස් පරීක්ෂක ජයතිලක අතින් ජීවිතක්ෂයට පත් වූවේ ද අපරාධකරුවකුට කිසිදා සැනසීමෙන් මිය යෑමේ ඉඩක් නැති බව ලොවටම පසක් කරමිනි.

සකස් කළේ - නාමලී ගමගේ

Comments