මොරගල්ලේ ෆේස්බුක් පාටියේ හොඳ හොඳ සෙල්ලම් | Page 2 | සිළුමිණ

මොරගල්ලේ ෆේස්බුක් පාටියේ හොඳ හොඳ සෙල්ලම්

මාජය දෙස බැලිමේදි පෙනී යන කරුණක් වන්නේ තරුණ පරපුර ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට පෙලඹී ඇති බවයි. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ පාසල් සිසුන් සහ තරුණ දරුවන් අතර මත්ද්‍රව්‍ය ජනප්‍රිය කිරීම සඳහා කූට ව්‍යාපාරිකයින් විවිධ උපක්‍රම භාවිත කිරීමයි. 

රටේ විවිධ ප්‍රදේශවලින් හතු පිපෙන්නා සේ බිහිවන ෆේස්බුක් සාදවල ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ද මත්ද්‍රව්‍ය භාවිතාව ප්‍රචලිත කිරීම සහ ඒවා විශාල මුදලකට අලෙවි කර මුදල් ගරා ගැනීමය. මේ සඳහා සැදී පැහැදි සිටින ව්‍යාපාරිකයින් ඉතා සුක්ෂ්ම ලෙස තරුණ ප්‍රජාව බිලි බා ගැනීම සිදු කරන්නේ කාලයක් තිස්සේ සීරුවටය.

වැඩි වශයෙන් මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිත සංචාරක හෝටල් තෝරා ගන්නා මෙවැනි ජාවාරම්කරුවන් රට පුරා තරුණ තරුණියන් මේ සදහා යොදා ගන්නේ ඔවුන් දන්නා 'නූල් සුත්තර' සියල්ලම භාවිත කරමිනි.

2018 වසරේ අගෝස්තු මාසයේ වාද්දුවේ සුප්‍රසිද්ධ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයකදී තරුණයන් සිවු දෙනෙකු මරණයට පත් වූයේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය නිසාවෙන් සිදුවූ බරපතළ රෝගී තත්ත්වයන් නිසාවෙනි.

අනතුරුව එම සාදයේ සංවිධායකයන්ද වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. පොලිසිය නිරන්තරයෙන් මෙවැනි සාද පිළිබඳව සෙවිල්ලෙන් සිට මෙවැනි සාද වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත්තද යළි යළිත් අසන්නට ලැබෙන්නේ එවැනි සාද පිළිබඳ අමිහිරි කතාන්දරයය. පසුගියදා අලුත්ගම පොලිස් වසමෙන්ද එවැනි ෆේස්බුක් සාධයක් පිළිබඳව පුවතක් වාර්තා විණි. අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මහගෙදරගමට පසුගිය දා තොරතුරක් ලැබෙන්නේ ෆේස් බුක් සාදයක් පිළිබඳවයි. පළාතම ගිගුම් දෙන තරමේ ශබ්ද විකාශන යන්ත්‍රද යොදාගෙන පැවැත්වුණ එම සාදය හේතුවෙන් එය පැවැත්වුණු ස්ථානයේ අසල්වැසියන්ට සිදු වී ඇති හිරිහැර කරදර පිළිබඳවත් එම තොරතුරෙන් හෙළිදරව් කෙරිණි. පොලිස් ස්ථානාධිපතිවරයා මේ ගැන අලුත්ගම දිස්ත්‍රික් භාර 02 සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ ද දැනුවත් කරමින් උපදෙස් ලබාගත්තේය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ ද අධීක්ෂණය යටතේ අලුත්ගම පොලිස් ස්ථානාධිපති නාලක මහගෙදරගම අලුත්ගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත තම නිල කාමරයට කැඳවූයේ වැටලීම සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව දැනුවත් කිරීමටයි.

සැරයන්වරුන් වන 44839 දුමින්ද, 51907 අනුප්‍රිය, කොස්තාපල් 73318 සමිර සහ කාන්තා කොස්තාපල් 2345 දිනුෂා යන පිරිස සමඟ නිශාන්ත වැටලීම සඳහා පිටත්ව ගියේ අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් වෙතටය. ගාලු පාරෙන් හැරී මුහුදු සීමාවට ආසන්නයෙන් පිහිටි එම සංචාරක නිවාඩු නිකේතනය ආසන්නයට ළඟා වන විටම සියල්ලන්ගේම සිතට ආවේ මේ නම් මංගල උත්සවයක් පැවැත්වෙන ස්ථානයක් විය යුතු බවටයි.

නමුත් එම ස්ථානයෙන් පිට වූ සංගීත රාවය සවනට ප්‍රියතාවක් ලබා දුන් එකක් නොවන අතර ඉන් නිකුත් වූයේ කඨෝර කන්කරච්චලයක් සහිත ඝෝෂාකාරි ශබ්දයකි. පොලිසිය එම ස්ථානයට යන විටත් පිරිස සිටියේ සංගීතයට අනුව නර්තනයේ යෙදෙමිනි.

රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ පිරිස් 'මැසෙන්ජර්' හරහා සම්බන්ධ කරගෙන තිබු අතර, ඔවුන් දන්නා හඳුනන මිතුරු මිතුරියන් ද මෙයට එකතු කර ගැනීමට කටයුතු කර තිබුණේ 'ෆන්' එකක් ගැනීම සඳහාය. උදෑසන 7.30 සිට දහවල් එක දෙක වෙන තුරු සාදය පැවැත්වෙන අතර, මේ සඳහා ඇතුළුවීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් තුන්දාහක් වැනි මුදලක් අය කැරිණි. මවුපියන්ට 'දාහක් බොරු' ගොතා මුදල් ලබාගන්නා තරුණ දරුවන් අලුයම නිදි වරා මව විසින් පිළියෙල කර දෙන බත් මුල ද රැගෙන මෙවැනි ස්ථානවලට රිංගා අවසානයේදී සමාජයට පිවිසෙන්නේ මත්ලෝලියෙකු ලෙසය. 

උත්සව ශාලාවට ඇතුළු වෙන ස්ථානයේ පුද්ගලයින් දෙදෙනකු සිට ඇතුළුවීමේ ගාස්තුව අයකරගන්නා අතර මේ කාලය තුළ ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට මුදල් ගෙවා ඇතුළු වී ඇති පදමට විනෝද වීමට අවස්ථාව උදා කර දී තිබෙන්නේ තමන් රැගෙන යන ආහාරපානවල රස විඳින අතර වීම විශේෂය. මෙම පිරිස නර්තනයේ උච්ඡතම අවස්ථාවට පත් වෙන්නේ මත්ද්‍රව්‍යවලින් හොඳහැටි මත් වූ පසුව බව නොරහසකි.

පොලිසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේ තරුණ තරුණියන් සියයත් එකසිය පනහත් අතර පිරිසක් සිට ඇති අතර, හත්දෙනෙකු අත්අඩංගුවට පත් වුයේ ගංජා මත්ද්‍රව්‍ය ඔවුන් සන්තකයේ තිබූ බැවිනි. මේ සාදය සඳහා භාවිත කර තිබුණේ විශාල ප්‍රමාණයේ ශබ්දවාහිනි යන්ත්‍ර දෙකකි. ඒවාට බලපත්‍ර ද නොතිබු බැවින් එම යන්ත්‍ර ක්‍රියාත්මක කළ පුද්ගලයින් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

ගම්පොළ, කළුතර, මහනුවර, බෙන්තර, හොරණ, පාදුක්ක ආදි මෙරට විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන් මෙම ෆේස්බුක් සාදය සඳහා සහභාගි වීමට පැමිණ සිටියත් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ‘සාදය මාරයි සල්ලි හමාරයි‘ කියමින් සියල්ල නතර කිරීමට සිදු වූයේ පොලිසියේ වැටලීමත් සමඟිනි.

Comments