
- විදේශයක සිට දුන් කොන්ත්‍රාත්තුවක්
- කඩු 7ක් සහ අත්බෝම්බ සමඟ කල්ලියම පොලිස් අත්අඩංගුවට
තම පුත්‍රයා වෙනුවෙන් 'ලෙයින්' වන්දි ගෙවීමට ඔහුගේ වයෝවෘද්ධ මවට සිදුවූ අතිශය ශෝචනීය ප්‍රවෘත්තියක් වාර්තා වන්නේ බිහිසුණු ක්‍රියාදාම චිත්‍රපටයක ජවනිකාවක් සිහියට නංවමිනි. 83 හැවිරිදි වයස්ගත කාන්තාවක් සාහසික ලෙස කපාකොටා ඇයගේ ශරීර අවයව ද වෙන්කර දැමූ එම පාපතරයින් එකී ක්‍රියාව සිදු කළේ තවෙකෙකුගේ කීමට වුවද, මෙහි විශේෂත්වය වන්නේ එම පුද්ගලයා අඩුම තරමින් මෙරට වාසය කරන්නෙකුවත් නොවීමය.
විදෙස්ගතව වාසය කරන මේ පාපතර පුද්ගලයාගේ පරම සතුරෙකු වන මෙම වියපත් මවගේ පුත්‍රයා වාසය කළේ ගල්කිස්ස රජ මාවත ප්රදේශයේය. මොවුන් දෙදෙනා අතර පවතින කෝන්තරයක් නිසා කාලයක සිට එකිනෙකාගේ සිත්වල පැලපදියම්ව තිබුණේ ඉමහත් වෛරයකි.
විදේශයෙහි සිටින තැනැත්තාගේ උපන් දිනය යෙදී තිබුණු දින ඔහුට අතිශය ප්රීතිජනක දවසක් විය. විදේශයන්හි මෙන්ම ලංකාවේ ද තමන්ට සිටි ගෝලබාලයින්, හිතමිතුරන් සතුටු කිරීමට ඔහු කටයුතු කළේ එනිසාය. ඒ වෙනුවෙන්ම ඔහු විසින් එතෙර සිට සංවිධානය කළ සුවිශේෂී සාදයක් ගල්කිස්ස දුම්රියපොළ ආසන්නයේ වූ සුප්‍රසිද්ධ අවන්හලක පැවැත්වූයේය. ඊට සහභාගිව සිටි අයට කෑමෙන් බීමෙන් අඩුවක් නොතිබුණේ එතෙර මිතුරාගේ අතමිට යහමින් මුදල් ගැවසුණු නිසාය.
ඊට එක්වූ තරුණයන් මත්ද්‍රව්‍යයන්ගෙන් ද පමණටත් වඩා සතුටු වෙද්දී පිටරට සිටින සිය ප්‍රධානියාගේ උපන් දින ප්‍රීතිය සම්පූර්ණ කිරීමට තවත් වැදගත් කර්තව්‍යයක් ඔවුන්ට පැවරී තිබිණි. ඒ තම එතෙර ස්වාමියාගේ මෙතෙර 'නයි වෛරක්කාරයෙකුගේ' දිවි එදින තොර කර දැමීමයි. ඒ සඳහා උපන් දිනයට එක්වූවන් පෙළගැසුණේ අවි ආයුධවලින් ද සන්නද්ධවය.
ක්‍රම ක්‍රමයෙන් අඳුර දසත පැතිරී නිහඬතාව රජ කරද්දී මේ සාහසිකයන් පිරිස මන්නා අමෝරාගෙන සිය ගොදුරට ඉව ඇල්ලුවේ මත්කුඩුවලින් මනස විකෘතිව පවතිද්දීය. ත්‍රිරෝද රථ දෙකක නැඟුණු පිරිස පවනට බඳු වේගයෙන් 'රජ මාවතෙහි' පිහිටි සිය ඉලක්කය වෙත ළඟා වෙද්දී එම නිවසේ දොර ජනෙල් සියල්ල වසා තිබුණි.
"ඇරපිය යකෝ දොර.... උඹගේ සෙල්ලම් අදින් ඉවරයි...." මත්ලෝලින් පිරිසගේ තර්ජනයන්ට නිවස තුළින් කිසිම ප්‍රතිචාරයක් නොවිණි.
මඳ වේලාවක් එලෙස කෑ කෝ ගසමින් තමන්ට වැසුණු නිවසෙහි ප්‍රධාන දොරටුව ඉදිරිපිට කල් මරමින් සිටි මේ පිරිසගේ ඉවසීමේ සීමාමායිම් ඉක්මවා යාමට ගත වූයේ තත්පර කිහිපයකි. පිරිස නිවසේ දොර ජනෙල් කුඩුකර දමා එතුළට ඇතුළු වූයේ නිවෙස් හිමියාගේ සිරුර කැබලිකර දමා සිය ප්‍රධානියාගේ සිත සතුටු කිරීමේ ඒකායන අරමුණ ඇතුවය. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් නිවස තුළ අදාළ පුද්ගලයා නොසිටියේය. එහි රැඳී සිටියේ ඔහුගේ වියපත් මව පමණි.
83 හැවිරිදි ඉතා වයෝවෘද්ධ තැනැත්තියක් වන ඇයට තමන් ඉදිරිපිට සිදුවන කිසිවක් ගැන නිශ්චිත අවබෝධයක් නොවූවාය.
"කෝ යකෝ තොගේ පුතා... කතා කරපිය...." නොසරුප් වදන් පවසමින් කෑගැසූ පිරිස අත වූ තියුණු මන්නා දැකීමෙන් වියපත් කත බියෙන් සලිතව සිටියාය. "පුතා නැතිවුණාට කමක් නෑ... උඹ හරි ඉන්නවනේ...." යැයි පවසමින් වයෝවෘද්ධ කත වට කරගත් මැර පිරිස සිදු කළේ අහස පොළව නුහුලන අපරාධයකි.
තත්පර ගණනක් ගත වෙද්දී ලේ විලක් මැද අඩපණව ඇද වැටුණු මේ වියපත් මවගේ මුහුණේ එක් කනක් සම්පූර්ණයෙන්ම වෙන්ව තිබිණි. එක් අතක් කැපී ගොස් තිබුණේ ශරීරයෙන් වෙන්ව යාමට ඉතාම ආසන්න ලෙසිනි.
සිරුර පුරාම ලෙයින් නැහැවී භයංකර දසුනක් මවමින් ඇය බිම ඇද වැටී සිටියාය. පාපතරයින් උද්දාමයෙන් නිවසින් පිටව ගියේ නිශ්චිත ඉලක්කය ඩැහැගැනීමට නොහැකි වුවත් තම අරමුණ බොහෝදුරට සාර්ථක වූ බවට වූ සිතිවිලිද කරපින්නා ගෙනය. "බොස්, අරූ ගෙදර හිටියෙ නෑ. අපි ඌ වෙනුවට උගෙ අම්මව කැපුවා. ඒකි මැරුණා කියන්නෙ කොහොමත් අරූ ජීවිත කාලෙම ඔය දුකෙන් විඳවනවා කියන එක. ඌව මරනවට වඩා ඌ නොමැරි මැරෙන එක හොඳයි...." එතෙර ප්‍රධානියා අමතා තමන් සිදු කළ හපන්කමෙහි පුරාජේරුව ඇද බෑවේ ඉමහත් ආඩම්බරයකිනි.
සියල්ල එලෙස සිදු වෙද්දී නිවෙස් හිමියාගේ ජීවිතය එදින බේරුණේ හාස්කමකින් මෙනි. ඔහු තම දූ දරුවන් ද සමඟින් ඒ වන විට සිටියේ වැල්ලවත්ත ප්රදේශයේය. බිරිය මියයාම නිසා තනිව විසූ ඔහුගේ දෙදරුවන් ද සැබෑවටම වාසනාවන්තයෝ වූයේ එදින ඔවුන් ඝාතකයින්ට හසු වූවානම් වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ වූ මහත් විනාශයක් සිදුවන්නට තිබුණු බැවිනි.
අසල්වාසීන් එක්ව වහා රෝහල්ගත කරන ලද වියපත් කත මේ වන විට දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබන්නීය. සිදු කළ අපරාධයේ තරම විමසා බලද්දී 83 හැවිරිදි ඇයගේ ජීවිතය මෙපණකින් හෝ සුරැකිව තිබීම සැබෑම ආශ්චර්යයකි.
තම ප්‍රධානියාගේ මනදොළ පිරවීමට නිර්දෝෂී මවකට සිදු කළ අපරාධයේ ප්‍රීතිය සමරමින් වැඩි දිනක් සව්දිය පිරීමට අපරාධකරුවන්ට ඉඩ නොලැබිණි.
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දීලිප සී.පෙරේරාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නාලක අලහකෝන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන සමුදිත්, සංජීව, සැරයන්වරුන් වන 47033 අජිත්, 61189 රත්නායක, කොස්තාපල්වරුන් වන 78800 සිවන්ත, 51508 උදයංග, 82423 වීරතුංග, 88381 සංජීව, 29265 ප්‍රියංකර, 71341 ඉසංක සහ 25426 සංජීව යන පිරිසෙන් සැදුම්ලත් පොලිස් නිලධාරි කණ්ඩායම ඔවුන් රැඳී සිටි නිවාස සංකීර්ණයට කඩා වැදුණේ මේ සාහසික ක්‍රියාව සිදුවී සුළු වේලාවකදීය.
මෙතරම් ඉක්මණින් තමන් පිළිබඳ 'ඉව' පොලිසියට දැනුණේ කෙලෙස දැයි යන්න සිතා ගැනීමටවත් කාලයක් නොතබා පාපතරයින්ගේ දෑතට මාංචු වැටෙද්දී එතෙර මිතුරා ප්‍රීතිය වෙනුවෙන් කටයුතු කළ සැකකරුවන් බන්ධනාගාරයේ බිත්ති අතරට කොටු වූහ.
වයස අවුරුදු 20ත් 30ත් අතර වූ මෙම පිරිස දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් වන අතර කිසිම රැකියාවක් නොකරන ඔවුන් සදාකාලිකව සිදු කළේ තමන්ගේ සතුට වෙනුවෙන් අනුන්ගේ සතුට උගසට තැබීමය.
මේ සාහසික පිරිස සමඟින් ඔවුන් පැමිණි ත්‍රිරෝද රථ දෙකත්, වියපත් කත කපා තුවාල සිදු කිරීමට යොදාගත් මන්නා හතක් සහ බෝම්බයක් ද පොලිස් භාරයට ගැනිණි. වැඩිදුර විමර්ශනයන්හිදී අනාවරණය වූයේ එම බෝම්බය අපරාධකරුවන් විසින්ම නිර්මාණය කරන ලද්දක් බවයි.
සිය පුත්‍රයා වෙනුවෙන් ඔහුගේ මව ගිලන් සයනයක් මත සදා කාලයටම අඳුරට ඇද වැටෙද්දී විදේශයක සිටින සිය ප්‍රධානියා වෙනුවෙන් තවත් ජීවිත පහක අනාගතය අඳුරට ඇද වැටුණේ එලෙසිනි.