දෙදරු පියාගේ ජීවිතය බිලිගත් කොටහළු මඟුල් ගෙදර ආරවුල | Page 2 | සිළුමිණ

දෙදරු පියාගේ ජීවිතය බිලිගත් කොටහළු මඟුල් ගෙදර ආරවුල

වැලිගම පොලිස් බල ප්‍රදේශය පාතාලය සහ මත්කුඩු ජාවාරම්වලට නම් දරා ඇත්තේ කලක සිටය. එසේම කතාබහ දුරදිග ගොස් ඇතිවන පුංචි ආරවුලක් ජීවිතවලින් වන්දි ගෙවීමට තරම් සැහැසි වන අවස්ථාවන් ද පසුගිය කාලයේ මෙම ප්‍රදේශයෙන් බොහෝ සේ වාර්තා විණි. මත්කුඩු හෝ පාතාලයේ සිදුවීම් ද මෙවැනි ඛේදවාචකවලට මුලික වූ බව පොලිස් පරීක්ෂණ තුළින් තහවුරු වී තිබිණි.

එසේම වැලිගම දී සිදු වූ මිනිස් ඝාතන කීපයකටම මුල පිරුණේ කොටහළු මඟුල් ගෙදරකදීය. එහෙමත් නැතිනම් පුංචි සාදයකදීය. පාතාලය හෝ මත්කුඩු ජාවාරම්වලට නොවුවද මෙවැනිම තවත් මිනිස් ඝාතනයක් පසුගිය සතියේද වාර්තා වූයේ වැලිගම, හෙට්ටිවීදීය, එරල් ජයවික්‍රම මාවතේය. සුළු කතාබහක් දුරදිග යමින් එය ගැටුමක් බවට පත්ව අවසානයේ තවත් ජීවිතයක් මරු තුරුළට රැගෙන ගියේ මත් වතුර නිසා මනුස්සකම් ද පරයා යමිනි.

එලෙස ඝාතනය වූයේ ත්‍රිරෝද රථ රියදුරෙකු වන හතළිස් දෙහැවිරිදි ඉන්ද්‍රජිත් ගුණසිංහය. ඔහු වසර අටකටත් වඩා යුද හමුදාවේ සේවය කළ අයෙකි. යාපනයේ ක්‍රියාන්විත රාජකාරිවල නිරතව සිට පසුව හමුදා සේවය අතහැර ගිය අයෙකි. රත්ගම ප්‍රදේශය ඔහුගේ මුල් ගම වූ අතර පසුව විවාහ දිවියට එළඹීමෙන් පසු ඔහු වැලිගමට පැමිණියේය. යුද හමුදාවෙන් ඉවත් වු ඉන්ද්‍රජිත් ත්‍රිරෝද රථයක් මිලදී ගෙන වැලිගම ත්‍රිරෝද රියදුරෙකු ලෙස සේවය කළේය. දරුවන් දෙදෙනා සහ බිරිය ජීවිකාව ගෙවූයේද ඔහු ඉපැයූ ත්‍රීරෝද රථයෙන් ලැබෙන ආදායමෙනි. වෙනත් කිසිම ආදායමක් ඔහුට නොවිණි.

ඉකුත් 19 වැනි දින අසල්වැසි කොටහළු මගුල් ගෙදරකට ඉන්ද්‍රජිත් ගොඩවන්නේ තම භාර්යාව සහ දරුවන් කැටුවය.මඟුල් කා සතුටින් ඔවුන් නිවසට පැමිණියෝය. තවත් උපන් දින උත්සවයක් ඔහුගේ මිතුරෙකුගේ නිවසේ පැවැත්වුණේ එදින සන්ධ්‍යා භාගයේය. ඊට ද සහභාගි වූ ඉන්ද්‍රජිත් එහිදීත් මත් වතුරින් සප්පායම් වූයේය. පසුව තවත් මිතුරෙකු සමඟ තම නිවසට පැමිණි ඉන්ද්‍රජිත් මිතුරාද පිටත්කර හැරියේය. තව තවත් විනෝදයක් ලබන්නට ඔහුට සිත් වූයේ අසල්වාසි කොටහළු මඟුල් ගෙදරින් ඇසුණු 'පපරේ' හඬිනි. නිවසේ කාටත් හොර රහසේ කොටහළු මඟුල් ගෙදරට යන්නට ඔහු තීරණය කළේ එහි ගොස් සතුටු වීම සඳහාය.

මේසන් වැඩවලින් ජීවිකාව ගෙවනා වසන්ත, බිංදු, මංජු ඇතුළු පිරිසද කොටහළු මඟුල් ගෙදරට පැමිණ මත් වතුරින් සප්පායම් වූහ. මේ පිරිස සහ ඉන්ද්‍රජිත් අතර කතාබහක් ඇති වූයේ ඒ අතරදීය. ඉන්ද්‍රජිත්ගේ මස්සිනා අමිලය. අමිල සහ බින්දු අතරද යම් නෝක්කඩුවක් පැවතියේය. ඒ බින්දුගේ බිරිය ඔහු සමඟ අමනාපව නි‍ෙවසින් පිටව යන අවස්ථාවකදී වාහනයෙන් රැගෙන ගොස් ඇත්තේ අමිලය. මස්සිනා සමඟ ඇති නෝක්කාඩුව ගැනද මෙහිදී ඉන්ද්‍රජිත් බින්දුගෙන් අසා තිබිණි. කතාබහ වෙනස් මඟකට යොමු වූයේ ඉන්ද්‍රජිත්ගේ මුවින් පිටවූ වචනයකිනි. ඉන් කතාබහ තවත් දුරදිග ගියේය. කොටහළු මඟුල් ගෙදර සප්පායම්ව සිටි පිරිසට මෙහි ඇති වටිනාකමක් නොදෙන්නට ඇත. බොහෝ අසීරුවෙන් මෙවැනි වකවානුවක උත්සවයක් පවත්වන්නේ දරුවාට ඇති සෙනෙහස නිසාමය.

එය ඇගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක් බවට පත්වන්නේය. එහෙත් ඇයට මෙන්ම පවුලේ අයටද මේ ස්වර්ණමය අවස්ථාව අමිහිරිම එකක් බවට පත් කරන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. මත් වතුර පානයෙන් සප්පායම් වූ පිරිස මඟුල් ගෙදර අසිරිය විනාශ කළේ එහි ගැටුමක් ඇති කරමිනි. එකිනෙකා අතපය විසි කළේ ගුටි බැට හුවමාරු කර ගනිමිනි. කොටහළු මඟුල් ගෙදර ගුටි කෙළියක් බවට පත්වන්නට වැඩි වේලාවක් නොගියේය. එහිදී පිරිස මැදිහත් වී ගෝරිය සමථයකට පත් කරන්නට දැඩි වෙහෙසක් ගත්තෝය. ඉන්ද්‍රජිත්ගේ මස්සිනා කෙනෙකු ඔහු නිවසට රැගෙන ගියේය. ප්‍රශ්නය විසඳුණායැයි සිතූ මස්සිනා කළුවරේම පිටත්ව යන්නේය. ඒ අන් කවරක් නිසා නොව ඔහුගේ හදිසි අවශ්‍යතාවක් ඉටුකර ගන්නටය. සිද්ධිය සිදුවන වන විට රාත්‍රී 9.30 ට පමණ වන්නට ඇත. මේ වන විටත් ප්‍රදේශයේ විදුලිය ද විසන්ධිව තිබූ අතර පළාතම අන්ධකාරයෙන් වැසි තිබිණි.

මේ වන විටත් ඉන්ද්‍රජිත්ගේ 'මාරයාද' ඔහු පසුපසින් පැමිණෙන බව ඉන්ද්‍රජිත්ට සහ මස්සිනාට වැටහෙන්නට නැත. ගෝරියට මැදි වූ තිදෙනා ඉන්ද්‍රජිත්ගේ පසුපසින්ම පැමිණියෝය. අයෙකුගේ අතේ පිහියක් තිබිණි. එක් අයෙකු පිහිය ගෙන ඉන්ද්‍රජිත්ට ඇන්නේය. බීමත්ව සිටි ඔහු ඇද වැටුණි. සැකකරුවන් තිදෙනා පලා ගියෝය. පසුව කිප දෙනෙකුගේ හඬ ඇසී නිවසින් එළියට පැමිණි ඉන්ද්‍රජිත ගේ බිරිය නිරෝෂා දීපානිට දක්නට ලැබුණේ සැමියා වැටී සිටින අයුරුය. ඇය ද කෑ ගසාගෙන පැමිණියේය.

"අනේ මගේ ඉන්ද්‍රජිත් බේරා දෙන්න...“ ඇගේ හඬින් ප්‍රදේශයම ගිගුම් දුන්නේය. කළුවර අන්ධරකාරය ඇයට සවන් දුන්නද ගම්මුන්ට මේ හඬ නොඇසුනා විය හැකිය. නැතහොත් ඔවුන් ඊට ප්‍රතිචාරයක් දැක්වීමට එතරම් උනන්දු නොවුණා විය හැකිය. අවසානයේ පුතා සහ ඥාතින් කිහිපදෙනෙකු එක්ව ඉන්ද්‍රජිත් ත්‍රීරෝද රථයක දමාගෙන වලාන දිසා රෝහලට රැගෙන එන ලදී.

වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය ඉන්ද්‍රජිත් මාතර මහ රෝහලට මාරු කර හැරියේය. ඒ වන විටත් ඉන්ද්‍රජිත් ඔහුගේ අවසන් හුස්ම පොද වා තලයට එක්කර තිබිණි. මේ සියල්ලටම ගෙවී තිබුණේ පැය දෙකකටත් අඩු කාලයකි.

මේ වන විට ඉන්ද්‍රජිත්ගේ ආදරණීය බිරිය, පුතා, දියණියගේ සෙනෙහසේ ආදරණීය කැදැල්ලට කණකොකා හඬා අවසන්ය. පුතා සහ දියණිය අවුරුදු 18 හා 16 වයස්වල පසුවෙති. දැන් ඔවුන් සියල්ලම අසරණය. මේ ඝාතනයේ සැකකරුවන් සටහන තබන අවස්ථාව වන විටද පොලිසියට අසු නොවී ප්‍රදේශයෙන් පලා ගොසිනි. එහෙත් එසේ සැඟවී සිටින්නට ඉඩක් නොලැබෙනු ඇත. මෙයද තවත් එක් අවාසානාවන්ත මරණයකි. වැලිගම, හෙට්ටිවීදීයම කම්පා කරමින් මේ ඛේදවාචකයේ දෝංකාරයද ගම්වාසින්ට තවත් කාලයකට අමතක නොවනු ඇත.

වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. අබේසේකරගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපුල් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙහි විමර්ශන සිදු කරනු ලබයි.

 

Comments