කැබිතිගොල්ලෑවේ අලි - මිනිස් ගැටුමට බිලි වූ පොලිස් සැරයන් | Page 2 | සිළුමිණ

කැබිතිගොල්ලෑවේ අලි - මිනිස් ගැටුමට බිලි වූ පොලිස් සැරයන්

විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයෙන් මියගිය පොලිස් සැරයන් අගන්පුලිගේ සුනිල් සහ සැරයන් සුනිල්ගේ නිවෙස

- තත්ත්වය පාලනය කරන්න පොලිසිය අහසට වෙඩි තියයි
- වන අලි පහරෙන් කැබිතිගොල්ලෑවේ 5ක් මේ වන විට ජීවිතක්ෂයට
- වන අලි ප්‍රහාරයකින් ගම්වැසියකු මරුමුවට පත්වීමේ සිද්ධිය ගැන විමර්ශනයට ගිය සැරයන් සුනිල් උදඝෝෂකයන්ගේ මුගුරු පහරින් මරුට

ලි මිනිස් ගැටුම නිසා දිනෙන් දින අහිමි වන මිනිස් ජීවිත ගණනද සුළුපටු නැත. එසේම ඝාතනයට ලක්වන වන අලින්ගේ සංඛ්‍යාවද එන්න එන්නම වැඩි වන බවක් පෙනෙන්නට ඇත. මීට විසඳුමක් වගකිවයුත්තන්ගෙන් මෙතෙක් ලැබී නැත. 

වන අලින්ගේ ප්‍රහාරවලින් මිය යන පුද්ගලයන්ගේ අඹු දරුවන් සදාකල් අසරණ වන බව අමුතුවෙන් කිව යුතු නැත. අලි අගල්, විදුලි වැට යොදා වන අලි ගමන නවතන්නට වන අලින්ට බාධා කරන්නට පියවර ගෙන තිබුණත් එය මෙතෙක් සියයට සියයක් සාර්ථක නැත. වන අලි ප්‍රහාරවලින් පුද්ගලයන් මිය යන අවස්ථාවල එම ගම්බිම්වල පදිංචිකරුවන් කෝපයට පත්වන්නේ මේ හේතුව නිසාය. ඒ නිසා ඇතිවන කරදර විපත්හිද අඩුවක් නැත.

කැබිතිගොල්ලෑව වන අලි තර්ජනයට නිතර ලක්වන ප්‍රදේශයකි. එහි ඇතැම් ගම්මාන ද වන අලින්ගේ තර්ජනයට ලක්ව ඇත. වන අලි රංචු පිටින් කඩා වැදි වගා බිම් විනාශ කිරීම නිසා සමහර ගම්වල පදිංචිකරුවෝ සිටින්නේ කම්පාවෙනි. මීට විසඳුමක් මෙතෙක් නැත.

කැබිතිගොල්ලෑව, රඹකැටුවැව ප්‍ර දේශයේ ගම්වැසියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වන්නේ පසුගිය මස 31 වැනිදා රාත්‍රියේය. රඹකැටුවැව, තිත්තගෝණෑවේ පදිංචිකරුවකු මෙලෙස ජීවිතක්ෂයට පත් විය. තිත්තගෝණෑවේ පදිංචි පනස් හැවිරිදි බී. ගුණසිංහ මෙසේ මරුමුවට පත්වන්නේ තිත්තගෝනෑව ගමම කම්පාවට පත් කරමිනි. ඔහු කම්කරුවෙකි. අහිංසක මිනිසෙකි.

මේ සිද්ධිය කැබිතිගොල්ලෑව පොලිසියට වාර්තා වීමත් සමඟ විමර්ශන ආරම්භ විය. ගුණසිංහ ඉකුත් 31 රාත්‍රී 7.15 ට පමණ කැබිතිගොල්ලෑව නගරයේ සිට මගී බසයකින් පැමිණ රඹකැටුවැව හංදියෙන් බැස පා ගමනින් රඹකැටුවැව හරස් මාර්ගයේ තම නිවස කරා ගමන් කරමින් සිටියේය. එම හරස් මාර්ගයේ මීටර් 20කට ආසන්න දුරක් ගමන් ගන්නා විට මෙම වන අලි ප්‍රහාරය එල්ල විය. එම ප්‍රහාරයෙන් ගුණසිංහ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

මේ පිළිබඳ ගම්වැසියන් හට සැලවූ මොහොතේම බාල, මහලු, කාන්තා, පිරිම සැම දෙනම පාහේ එම ස්ථානයට පැමිණි විරෝධතාවක් ආරම්භ කරන ලදී. එහිදී ටයර් පුලුස්සා පන්දම් පත්තු කළ විරෝධතාකරුවෝ කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගය හරස් කොට විරෝධතාවයේ නිරතව සිටියේ මීට වගකිවයුතු අයට සිය බරපතළ විරෝධතාව පළ කරමිනි.

එම අවස්ථාවේ මේ සිදුවීම පිළිබඳ විමර්ශන කටයුතු කිරීමට කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් රඹකැටුවැව ප්‍රදේශයට එන්නේ ඒ මොහොතේමය. එහිදී ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර හටගන්නේ දැඩි නොසන්සුන්තාවකි. තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල් රත්නායක එහිදී අහසට වෙඩි තැබීමටද සිදු විය. 

එහිදී විරෝධතාකරුවෝ පොලිසියට පහර දුන්හ. එම පහර දීම්වලදී එම ස්ථානයට පැමිණ සිටි පොලිස් කණ්ඩායමේ සැරයන්වරයෙකුගේ හිසට වැදුණ පොලු පහරින් සැරයන් එම ස්ථානයේම බිම ඇද වැටිණි. අනතුරුව එම පොලිස් නිලධාරියා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළු කිරීමට පොලිසිය කටයුතු කළේ ඒ මොහොතේමය.

එලෙස කැබිතිගොල්ලෑව රෝහල වෙත ඇතුළු කළ පොලිස් සැරයන් වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවන ලද අතරතුරදී ජීවිතක්ෂයට පත්විය. අනතුරුව එම නිලධාරියාගේ මළ සිරුර ආසන්නවම පිහිටි රෝහල වන මැදවච්චිය මූලික රෝහල වෙත ගෙන යාමට රෝහල් කර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි.මෙසේ ඝාතනයට ලක් වූයේ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ රාජකාරියේ නියුතු සැරයන් 12601 අගන්පුලිගේ සුනිල්ය.

සැරයන් සුනිල්ගේ ඝාතනය පිළිබඳ ඉකුත් 1 වැනිදා උදෑසන වන විට සිදු කරන ලද විමර්ශනවලදී කැබිතිගොල්ලෑව පොලිසිය විසින් එකී ඝාතනයට සහ විරෝධතාවට සම්බන්ධ යැයි සැක කරන සැක කරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. තරුණ වියේ පසුවන අත්අඩංගුවට ගත් අයවලුන් අතර කැබිතිගොල්ලෑව ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ 29 හැවිරිදි වියේ පසු වන හිමිනමක්ද සිටින බව පොලිසිය සඳහන් කළේය.

වසර ගණනාවක සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට වන අලි තර්ජන අඛණ්ඩව එල්ල වෙමින් පවති.

එම ප්‍රහාර හමුවේ නිවාස, වගාවන් හා ජීවිත හානි රැසක් මෙම ගම්වාසීන්ට සිදු වී ඇත. ඒ පිළිබඳ කීප විටෙකදීම බලධාරින් දැනුම්වත් කිරීමට මෙම ගම්වාසීන් කටයුතු කර තිබිණි.

නමුත් දිනෙන් දින එල්ල වන වන අලි ප්‍රහාර වර්ධනය වූවා මිස ඊට විසඳුම් සෙවීමට බලධාරින් අපොහොසත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ මාස එක හමාරක කාලය තුළ වන අලි ප්‍රහාර හමුවේ මිනිස් ජීවිත 05ක් අහිමි වී ඇත. එහි පස්වන මිනිස් ජීවිතය ලෙස ආසන්නම සිදුවීම වාර්තා වූයේ 31 වැනිදාය. එහිදී ගම්වාසීන්ගේ ඉරණමද වෙනස් වූයේ ඉවස ඉවසා බැරිම තැනත් නැවතත් ඉවසමු යන වැකියට නැවත පණ දෙමිනි.

කැබිතිගොල්ලෑවේදී ඝාතනය කැරුණු පොලිස් සැරයන් සුනිල් වාරියපොළ, මල්වාන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. ඔහු 54 හැවිරිදිය. වයස අවුරුදු 22 ක සහ අවුරුදු 14 ක පිරිමි දරුවන් දෙදෙනෙකුගේ පියකු වන සැරයන් සුනිල් අවසන් වරට නි‍ෙවසට පැමිණියේ පසුගිය සැප්තැම්බර් මාසයේ බව බිරිය ශිරෝමා කුමාරි පැවසුවාය.

සිය සැමියාගේ වියෝවෙන් හඬා වැලපෙන ශිරෝමා කුමාරි වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීවාය.

“මහත්තයා අන්තිමට ගෙදර ඇවිත් ගියේ ලොකු පුතාගේ උපන්දිනේට. නිවාඩු නැහැ කියලා මට කෝල් කරලා කිව්වා. පසුගිය 27 වෙනිදා ගෙදර එන්න හිටියේ. ‘ඉන්ස්පෙක්ෂන්‘ නිසා එන්න බැරිවුණා. ඊයේ ඉන්ස්පෙක්ෂන් තිබුණා කියලා කිව්වා. රෑ මම කතා කරනකොට මහත්තයා පොලිසියේ පොත් බලනවා කියලා කිව්වා. ඊට පස්සෙ ගෙදර එන්න පිටත් වෙනවා කියලා මා එක්ක කිව්වා. ඒ අතරේ තමයි ඔය සිද්ධියට ගිහින් තියෙන්නේ. මම රෑ ෆෝන් එකට ගත්තා කීප සැරයක් ඒත් වැඩ කළේ නැහැ. අපි කියන්නේ මේ වන අලි ප්‍රශ්නයට මොකක්හරි කරන්න කියලා. අහිංසක මිනිස්සු නැති වෙනවා. ඒකෙන් මටයි මගේ දරු දෙන්නටයි සිදුවුණ පාඩුව කියා නිම කරන්න බෑ. මේකට විසඳුමක් කවුරුවත් දෙන්නෙ නැහැ. මගේ මහත්තයා රටක් වටින පොලිස් නිලධාරියෙක්. මම වැඳලා කියනවා හැමදෙනාටම ආයෙත් කෙනෙකුට මේ ගින්දර පත්තු වෙන්න දෙන්න එපා කියලා. සැරයන් සුනිල්ගේ වැඩිමහල් දරුවා වන 22 හැවිරිදි ඒ.පී. සමිත ලක්ෂාන් සහ 14 හැවිරිදි ඒ.පී. සචින්ත ලක්ෂාන් වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලේ ඉගෙනුම ලබති.‍


ඡායාරූප - එන්. එම්. රවින්ද්‍ර ප්‍රභාත් 
- වාරියපොළ සමූහ

Comments