අහුන්ගල්ලේ වයෝවෘද්ධ මාතාවගේ මාරයා තවමත් නිදැල්ලේ | Page 2 | සිළුමිණ

අහුන්ගල්ලේ වයෝවෘද්ධ මාතාවගේ මාරයා තවමත් නිදැල්ලේ

- ඝාතකයා අල්ලන්න පොලිස් කණ්ඩායම් දෙකක්
- ඇල්පිටියේ ඝාතන රැසක සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ

මේ තරම් බණ කියන රටක්, මේ තරම් බණ අහන රටක් මේ ලෝකයේ තවත් නැත. එහෙත් උදේ සවස මේ තරම් බණ කියන මේ තරම් බණ අහන රටේ සිදු වන අපරාධ, මිනිස් ඝාතන මිහිකතට දරාගත නොහැකි තරම්ය.

අම්බලන්ගොඩ පොලිස් වසම තුළ ගත වූ මාසයක පමණ කාලයක සිට ඝාතන ගණනාවක් සිදු විය. ඒ සෑම ඝාතනයකම සැකකරුවන් සිටි අතර ඒ නිසා එම මිනිස් ඝාතන බොහොමයක සැකකරුවන් ඉක්මනින්ම නීතියේ රැහැනට හසුකර ගන්නට පොලිසියට හැකි විය. එසේම එම මිනිස් ඝාතනවල සුලමුල සොයාගන්නටද පොලිසියට හැකි වූයේ සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුවය.

එහෙත් ඉකුත්දා අහුන්ගල්ල පොලිස් වසමට අයත් බළපිටිය ප්‍රදේශයේ සිදු වූ කාන්තා ඝාතනය තවමත් සැකකරුවන් අනාවරණය නොවූ මිනී මැරුමකි. 

බළපිටිය, වැල්ලබඩ, කජ්ජුවත්ත ගාලු පාර, අංක 226 ලිපිනයේ පදිංචි කටපොඩි කංකානම්ගේ පුඤ්ඤවතී 76 හැවිරිදි සිවු දරු මවකි.

ඇගේ දරුවන් සිවුදෙනාම විවාහ වීමෙන් පසු මතුගම, පොල්ගම්පොළ, කඩවත සහ කොළඹ ප්‍රදේශවල ජීවත් වෙති. සැමියා නොමැති ඇය තනිවම තම නිවසේ වාසය කළාය. නිතර නිතර ඇය බලන්නට පැමිණීමට ඉඩක් නොතිබූ නිසා ඇගේ දූ දරුවන් නිතරම පාහේ සිය මවට දුරකතනයෙන් කතා කර මවගේ දුක සැප සොයා බැලූහ.

පොල්ගම්පොළ පදිංචිව සිටින දියණිය ඉකුත් 23 රාත්‍රියේ සුපුරුදු පරිදි මවගේ දුක සැප විමසන්නට කීප වරක්ම ඇයට කතා කළද මවගෙන් පිළිතුරක් නොවීය. මේ නිසාම පසු දින උදෑසනම දියණිය අසල්වාසී ඥාතියෙකුට කතා කර මේ බව පැවසුවාය. ඒ අනුව එම ඥාතියා පසුදා උදෑසනම එම නිවසට යන විට පුඤ්ඤවතී මාතාව නිවෙස ඇතුළේම මියගොස් ඇති බව දැක ඒ බව දියණියටත්, පොලිසියටත් දැනුම් දුන්නේය.

ඒ අනුව පොලිසිය අදාළ නිවෙසට ගොස් සොයා බලන විට මෙම සිවු දරු මව මියගොස් සිටි අතර ඇගේ ගෙලේ ලණුවක් ගැට ගසා තිබෙන අයුරුද ඥාතියා දුටුවේය. මෙය ඝාතනයක් විය හැකි යැයි සැක කළ අහුන්ගල්ල පොලිසිය ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශගේ උපදෙස් මත වහාම මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කරන්නේ ඝාතකයන් අල්ලා ගැනීම සඳහාය.

නිවසේ තිබූ රූපවාහිනිය අතුරුදන්ව තිබීම නිසාත්, මාතාවගේ ගෙලේ ලණුවක් බැඳ තිබීම නිසාත්, මෙය ඇගේ නිවසේ බඩු පැහැර ගැනීමට පැමිණි සොරෙක් හෝ කීප දෙනෙක් විසින් කරන ලද ඝාතනයක් විය හැකි බව පොලිසිය සැක කළේය. සොරකම කිරීමට පැමිණි අය මේ මව විසින් හඳුනා ගැනීම නිසා නීතියේ රැහනින් පලා යාම සඳහා මෙම ඝාතනය සිදු කරන්නට ඇති බව පොලිසියේ සැකය විය.

මේ අනුව අදාළ ස්ථානයේ තිබුණු ඇඟිලි සලකුණු ඇතුළු විද්‍යාත්මක සාක්ෂි එක් රැස් කිරීමට ඇල්පිටිය කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් විමර්ශන ආරම්භ කළ අතර ඇල්පිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි අහුන්ගල්ල පොලිසියේ නිලධාරීහූ මේ සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කළහ.

වයෝවෘද්ධ මාතාවගේ අබිරහස් මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර විසින් පවත්වන ලද අතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ඇගේ මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජී. ඩබ්ලිව්. එන්. අයි. එස්. ප්‍රනාන්දු මිය විසින් සිදු කරනු ලැබීය. මේ මාතාව මිය යන්නට පෙර හෝ මිය යාමෙන් පසුව හෝ ඇයට කිසියම් ලිංගික අතවරයක් සිදුවී නොමැති බවට වෛද්‍ය වාර්තාව මඟින් නිගමනය කර ඇත. එහෙත් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය මඟින් මෙහිදී ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි.

ඝාතනය සිදුවූ නිවස අසල ස්ථානයක සවිකර තිබූ සී.සී.ටී.වී.කැමරා පරීක්ෂා කළ පොලිසිය එම දර්ශනවලින් සොයාගෙන ඇත්තේ තරුණයෙකු එම නිවස දෙසට යන ආකාරයත් ආපසු යන ආකාරයත්ය. එහෙත් එම දර්ශන හරිහැටි පැහැදිලි නොවීම නිසා එම පුද්ගලයා කවරෙක්ද යන්නත්, ඔහු ආගියේ කොතනකටද යන්නත් මෙතෙක් නිශ්චිතව හෙළි වී නැත.

තත්ත්වය එසේ නම් මේ අබිරහස් ඝාතනය සිදු වූයේ කෙසේද යන්න තවදුරටත් අබිරහසක්ම වනවා පමණක් නොව මින් වසර ගණනකට පෙර ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ සිදු වූ අදටත් අබිරහසක්ව පවතින මිනිස් ඝාතන අතරට එක් වූ තවත් මිනිස් ඝාතනයක් ලෙස පොලිස් පොතට එක්වන බව කිව හැකිය.

අප එසේ කියන්නේ ඇල්පිටිය පොලිස් වසම තුළ මෑත ඉතිහාසයේ මෙවැනි අබිරහස් මිනිස් ඝාතන ගණනාවක් සිදු වී ඇති නිසාය.

2016 වසරේ නොවැම්බර් 12 වනදා අලුයම නිවසින් පිටව ගිය ඇල්පිටිය තලාව පාසල අසල පදිංචිව සිටි බ්‍රාහ්මණ ඉන්දික රත්නසිරිගේ මළසිරුර හමු වූයේ දින හතකට පසුව නොවැම්බර් 17 වනදා සවසය. ඒ වන විටත් එම මළසිරුර නරක් වී දුඟද හමමින් තිබුණ අතර ඊට පෙර ඔහු ගිය ත්‍රිරෝද රථය පමණක් තල්ගහවත්ත ප්‍රදේශයේ තිබී හමුවී තිබුණි. විවාහකයෙකු වූ ඉන්දික කුලී ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස රැකියාව කළ අතර එම මිනිස් ඝාතනය ගැන මෙතෙක් කිසිම තොරතුරක් හෙළි වී නැත.

ඇල්පිටිය පොලිස් වසමට අයත් ඇත්කඳුර ගුරුසිංහගොඩ පාරේ සෙක්කුගෙ වත්තේ සුවිසල් නිවසක පදිංචිව සිටි අවිවාහක කාන්තාවක් වූ ගුස්තිඤ්ඤවඩු දෝන ඇග්නස් තිලකරත්න අබිරහස් ලෙස සිය නිවස තුළ මරා දමා තිබියදී හමු වූයේ 2012 වසරේ අප්‍රේල් මාසයේ දිනයකදීය. ඇයගේ මළසිරුර හමු වන විට නිවසේ සිටි පැටවුන් සහිත බැල්ලිය ඇගේ මුළු සිරුරම කා දමා තිබුණ අතර හිසේ තිබුණේ හිස් කබල පමණි.

2013 දෙසැම්බර් 13 වනදා ඇල්පිටිය පොලිස් වසමට අයත් පිටුවල අඬාහැළෙන දොළ අසල තිබී අබිරහස් ලෙස මියගොස් සිටි තරුණ යුවළකගේ මළසිරුරු‍ දෙකක් හමුවී තිබුණි. එම මළසිරුරු 18 හැවිරිදි කන්දගේ අනුෂා ප්‍රියදර්ශනීගේ සහ 23 හැවිරිදි හඳුන් පතිරණ හෂාන් ජයසංඛගේ බවට හඳුනාගත් අතර මෙම යුවළම නවඳගල අලිකෑහේන ප්‍රදේශයේ බවත් ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවත් පරීක්ෂණවලදී තහවුරු විය. මෙම අබිරහස් මරණ දෙකද කෙසේ සිදු වූවක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.

මේ ඇල්පිටිය පොලිස් වසම තුළ මෑත ඉතිහාසයේ සිදු වූ මෙතෙක් සැකකරුවන් අනාවරණය නොවූ ඝාතන කිහිපයක් පමණි. බළපිටියේ කටපොඩි කංකානම්ගේ පුඤ්ඤවතීගේ ඝාතනය ද ඊට එකතු වූ සැකකරුවන් හෙළි නොවූ තවත් අබිරහස් ඝාතනයක් විය හැකිය.

එහෙත් පොලිසිය පවසන්නේ පුඤ්ඤවතී මාතාවගේ ඝාතනයේ සැකකරුවන් සොයා පුළුල් විමර්ශනයක නිරත වෙමින් සිටින බවයි. විමර්ශනවලට එක්ව සිටින උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවේ සැකකරුවන් නුදුරේදීම කොටු කරගැනීමට හැකි බවත් මේ වන විට එම ඝාතනය පිළිබඳ බොහෝ තොරතුරු හෙළි වෙමින් පවතින බවයි. ඇල්පිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශගේ උපදෙස් පරිදි අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.ඒ.අමරසිංහගේ අධීක්ෂණයෙන් අහුන්ගල්ල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.බී.නිශාන්තගේ මෙහෙයවීමෙන් අහුන්ගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පෙරේරා යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

චන්ද්‍රසිරි ගුණසේකර - ඇල්පිටිය සමූහ

Comments