පියාණෙනි මට සමා වුව මැන! | සිළුමිණ

පියාණෙනි මට සමා වුව මැන!

 

මත් වතුරට දැඩි සේ ඇබ්බැහි වීම, ගංජා, අබිං, කංසා, අයිස්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට දැඩිව යොමු වීම නිසා ජනිත වන මානසික විකෘතිතාවයන්ගේ අවසන් ප්‍රතිඵලය අතිශය ඛේදජනකය. මත් වතුරට සහ ගංජාවලට තදින් ඇබ්බැහි වීමෙන් පසුව තම රැකියාවට අදාළ යුද හමුදාවේ තිබෙන නීති සහ දඬුවම් නිවසේදී බිරියට සහ දරුවන්ට දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට යාමෙන් පසු තම ලෙයින් උපන් පුතු අතින් පිහි ඇනුමකට ලක්ව මෙලොවින් සමුගත් පියකු පිළිබඳ කතා පුවතක් ඌරුබොක්ක හැඳිඅළුව පරණ වත්තෙන් වාර්තා වුණේ පසුගියදාය.

මෙසේ ඝාතනය කෙරුණේ ශ්‍රී ලංකා

කාල තුවක්කු රෙජිමේන්තුවේ 4 වන බළකායේ ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ඌරු‌බොක්ක පරණ වත්ත, අංක 138/1 ලිපිනයේ පදිංචිව සිටි 40 හැවිරිදි මතිස් ආරච්චිලාගේ පියනන්ද කුමාර නමැති දෙදරු පියෙකි. පියනන්ද කුමාර විවාහ වී සිටියේ අන්ද්‍රා හැන්නදිගේ මංජුලා කුමාරි සමඟය. ඇගේ වයස අවුරුදු 39කි. ඔවුනට පුතුන් දෙදෙනෙකි. වැඩිමල් පුතුට වයස අවුරුදු 17කි. ඔහු සා.පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් පසු විය. දෙවැනි පුතුගේ වයස අවුරුදු 7කි. ඔහු 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. බිරිය තේ කම්හලක රැකියාවක් කරන අතර දරුවන්ගේ කටයුතු ද ඉටුවන්නේ ඇය අතිනි.

පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කරන කුමාර නිවසට එන්නේ මාස 3කට වරකි. කුමාර, මංජුලා විවාහ වී සතුටින් යුග දිවි ගත කළේ මුල් කාලයේ පමණි. වැඩිමල් පුතු ලක්ෂාන් නෙත්මිණ උපන් කාලයේ පටන්ම මේ යුවළ අතර සුළු සුළු ගැටුම් ඇති විය. දෙවැනි පුතා ලැබෙන තෙක් ඒ ගැටුම් නිමක් නොවීය. දිනෙන් දින මේ දෙපළගේ ගැටුම් අඩු වනු වෙනුවට සිදු වූයේ ගැටුම් වර්ධනය වීමය.

පුතුන් දෙදෙනාගේ වියදමට කුමාර මංජුලාට මුදල් එව්වත් දෙදෙනා අතර හිත් පෑහී නොතිබුණි. ඊට ද එක් හේතුවක් විය. කුමාර ඒ වන විටත් වෙනත් ඇසුරක නිරතව සිටියේය. ඔහු එලෙස අනියම් සබඳතාවක් පැවැත්වූයේ මියගිය යුද හමුදා සෙබළකුගේ මාතලේ ප්‍රදේශයේ පදිංචි බිරියක් සමඟිනි. ඇයට සැමියාගේ විශ්‍රාම වැටුප ලැබෙන නිසා ඇය වෙනුවෙන් විශාල වියදමක් දරන්නට කුමාරට සිදු වූයේ නැත. නමුත් කුමාර ඇයට ද අඩුපාඩුවක් නොවන ලෙස කටයුතු කෙළේය. අනියම් බිරියගේ වැඩටත් වැඩියෙන් ඔහුගේ මුදල් වැය වූයේ මත් වතුර සහ මත්ද්‍රව්‍ය වෙනුවෙනි. නිවාඩුවට ගමේ පැමිණි පසු මිතුරන් සමඟ එක්වී ගජරාමෙට මත්පැන් පානය කරන කුමාර නිවසට පැමිණි පසුව නැවතත් තනියම මත්පැන් පානය කරන්නේ බිරියගේ විරෝධතාව ද නොතකාය. මේ දෙපළගේ රණ්ඩු බේරීමට අසල්වැසියන් පැමිණියහොත් ‘අපේ ප්‍රශ්න අපි විසඳ ගන්නම්‘ කියා ඔවුන් බැණ පන්නා ගන්නා නිසා පසු කාලීනව අසල්වැසියන් මේ දෙපළගේ ප්‍රශ්න විසඳීමට පැමිණියේ නැත. ඇතැම් දිනවලට කුමාර තම වැඩිමල් පුතු ලක්ෂාන්ට පහර දෙන්නේ නිවස ඉදිරිපිට ගේට්ටු කණුවේ ගැට ගසමිනි. මේ ගුටිබැට ඉවසාගත නොහැකි තැන මව සහ පුතු කරන්නේ කුමාර නිවාඩුවට ගමේ එන විට කොහේ හෝ සැඟව සිට ඔහු පිටව ගියාට පසු නැවත නිවසට පැමිණීමයි. මෙසේ පැමිණි දිනක ලක්ෂාන් පුතු තාත්තාට බියෙන් නැන්දලාගේ නිවසට ගොස් සිටියේය.

ඥාති නිවසේ සිටි පුතා කුමාර නිවසට කැඳවාගෙන එන්නේ බයිසිකලයේ බැඳ පහර දෙමිනි. මේ සිද්ධියට පොලිසියෙන් පවා කුමාරට අවවාද කොට තිබුණි. එහෙත් ඔහුගේ ක්‍රියා කලාපයේ වෙනසක් නොවීය.

කාලය මෙසේ ගෙවී යමින් තිබිණි.

කුමාරගේ වැඩිමල් පුතා ලක්ෂාන් අ.පො.ස. සා.පෙ.ළ. විභාගයට පෙනී සිට තාවකාලිකව රැකියාවකට යොමු විය. වැටුප ගත් විට ඉන් කොටසක් මවට ගෙනවිත් දෙන්නේ නිවෙසේ වියදමටය. ඉතිරිය ඔහු බැංකු පොතක දමා ඉතිරි කළේය.

යක්ෂයාගේ දවස එළැඹෙන්නේ මේ අතරය. හේතුව වූයේ උකසට තැබූ යතුරු පැදියක් ආපසු බේරා ගැනීමට මුදල් ලබාගත් සිද්ධියකි.

සුපුරුදු පරිදි පියා මවට සිදු කරන තාඩන පීඩන ගුටිබැට ලක්ෂාන් ඉවසා සිටියේ ඒවා ‘දැන් නවත්වයි‘ සිතමිනි. අම්මාට ගහන්න එපා යැයි ලක්ෂාන් කීප වරක්ම පියා බදාගෙන ඔහුට ආයාචනා කළේය. මවගේ කොණ්ඩයෙන් අල්ලාගත් පියා මවට හෙල්මට් එකකින් පහරදීම, ඉවසා නුහුනු තැන මව පියාගෙන් බේරා ගැනීමට ඔහු උපායක් සෙව්වේ පියා ඝාතනය කරන අදහසින්ම නොවෙන්නත් පුළුවන. එහෙත් දෛවය කුමාරට තවදුරටත් ජීවත්වීමට ඉඩහසර ලබා නොදුන්නේ මේ පිය පුතු ගැටුමේ නිමක් කොනක් නොමැති නිසාය.

කුමාරගේ සිරුරේ පිටුපසට එල්ල වූ පිහි පහරින් ඔහු බිරිය අතහැර කටින් ලේ දමමින් බිම වැටිණි. කුමාර රෝහලට ගෙන යාමටවත් කිසිවකු ඉදිරිපත් නොවීය. 1990 සුවසැරිය ගිලන් රථය පැමිණියත් කුමාර රෝහලට ගෙන නොයන්නේ පොලිසිය එහි එන තුරුය. ඌරුබොක්ක පොලිසියේ නිලධාරින් එහි පැමිණ සුවසැරියෙන් ඔහුව රෝහල්ගත කරන විටත් කුමාර මෙලොව හැර ගොස් තිබුණි. ඔහු‌ගේ සිරුර බිරිය භාර නොගැනීම නිසා කුමාරගේ මව වන 65 හැවිරිදි සිංගප්පුලිගේ විමලාවතී වෙත භාර දුනි. 17 හැවිරිදි ලක්ෂාන් නෙත්මිණ සැකපිට අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේදී පැවති අතර තියුණු ආයුධයකින් කැපීම නිසා පෙණහලුවලට ඇති වූ හානි හේතුවෙන් සිරුර අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් සිදු වූ මරණයක් බවට අධිකරණ වෛද්‍ය සුමිත් අබේපිටිය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් දක්වා ඇත.

කුමාරට අනින ලද පිහිය ඌරුබොක්ක ඔයට විසි කර තිබී පොලිසිය සොයාගෙන ඇත.

දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මාතර, තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාගේ උපදෙස් මත මාතර (vi) කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරී ලාල් චන්ද්‍රසිරිගේ අධීක්ෂණය යටතේ ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ටී.ඩී. සමරවික්‍රම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. පතිරත්න, සැරයන් 56012 පේමරත්න, සැරයන් 17568 දයානන්ද, කොස්තාපල් 76804 රේෂාන්, කොස්තාපල් 78230 ධනුෂ්ක, කොස්තාපල් 83459 ජීව කුමාර, කාන්තා කොස්තාපල් 8731 මිහිරාණි යන නිලධාරීහූ පරීක්ෂණ සිදු කළහ.

පසුබිම් තොරතුරු සහ ඡායාරූප

ඒ.පී. දයාචන්ද්‍ර - ඌරුබොක්ක විශේෂ

 

Comments