
රෝහිණී ඩයස් නිමල් ෆොන්සේකා යුවළගේ නුවරඑළි ගමනින් සතියකට පසු සිදු වූ චන්ද්‍රා ඩයස්ගේ මරණයට සැකපිට මේ දෙදෙනා අත්අඩංගුවට ගත්තේ චන්ද්‍රා ඩයස්ගේ තුන් මාසයේ දානයට පෙර දිනදීය. නොවැම්බර් 29 දින රෝහිණී පොලිස් අත්අඩංගුවට ගත් අතර දානය පූජා කරන තෙක් එළියේ හෝ සිටීමට ඇයට ඉඩ දෙන ලෙස ඉල්ලීමක් කර ඇතත් ඊට පොලිසිය ඉඩ ලබා නොදුනි.
ඩයස් මියගොස් පැය ගණනාවක් යන්නටත් මත්තෙන් කුරුඳු දර දමා මළ සිරුර හොඳින් පිලිස්සිය යුතු බවට විත්තිකරුවන් දෙදෙනා කතා කර තිබෙන බවද නඩු විභාගයේදී කියැවිණි.
ඩයස් දේහය නිෙවසේ තිබියදීම රෝහිණී නිමල් විත්තිකරුවන් අන් අයට නොඇසෙන සේ තැන් තැන්වල හොර රහසේ කසුකුසු ගා ඇති බව පැමිණිල්ලේ දේශන පවත්වමින් රජයේ නීතිඥ අශෝක ගුණවර්ධන සඳහන් කළේය.
"ඩයස්ගේ මළසිරුර නිවසේ තිබියදීත් පළමුවැනි විත්තිකාරියත්, දෙවන විත්තිකරුත් නිවසේ තැන් තැන්වල කාටත් නොඇසෙන ලෙස කසුකුසු ගා තියෙන බව කොස්තාපල් අධිකාරම්ගේ සාක්කියෙන් පේනවා. නුවරඑළිය හෝටලයට අමතරව තිස්සමහාරාම තානායමෙත් මේ දෙදෙනා එකට කාමරයක සිටි බවට සාක්ෂිවලින් පේනවා. මේ අනුව විත්තිකරුවන් අතර දුරදිග ගිය පෙම් ඇසුරක් තිබූ බව හොඳටම පැහැදිලිව ඔප්පු වෙනවා. ඇයි ඔවුන් මේ අන්දමට කසුකුසු ගෑවේ" යනුවෙන් නීතිඥ ගුණවර්ධන පැවසීය.
මරණය සිදුවන වකවානුවේදී ඩයස් කායික වශයෙනුත්, ආර්ථික වශයෙනුත් කිසිවක් එපා වූ පුද්ගලයකුව සිටීම නිසා විත්තිකරුවන් දෙදෙනා සවාරි ගැසූ බව කීම අතිශයෝක්තියක් නොවනු ඇතැයි පැමිණිල්ලේ දේශන කරමින්, රජයේ නීතිඥ අශෝක ගුණවර්ධන තවදුරටත් කීය. ඩයස් මරණය සියදිවි නසා ගැනීමක් නොවන බව උසාවියේදී ඉදිරිපත් වූ සාක්කි අනුව පැහැදිලි වන බවත් කෙනෙකු ජීවත්ව සිටියදී එක් වරම ඔහුගේ ගෙල සිර කිරීම අසීරු දෙයක් වන නිසා මියගිය තැනැත්තාගේ අණ්ඩකෝෂය තදින් මිරිකා ඔහු අක්‍රිය කර ගෙල සිර කර තිබෙන බව පෙනෙන බවත් කීය. මියගිය ඩයස්ගේ පිටි පතුලේ තිබු තුවාලය උසාවියට ඉදිරිපත් කර ඇති සෙරෙප්පු දෙකකින් සිදු විය නොහැකිද?
අණ්ඩ කෝෂය මිරිකා මියගිය තැනැත්තා අඩපණ කර පසුව කෙනකු ඔහු යමකට තද කර අල්ලා ගෙන සිටියදී තවත් අයකු තද නැමෙනසුලු දෙයකින් ඔහුගේ ගෙල හිර කිරීමෙන් මෙම මරණය සිදුවිය හැකිය. විත්තිය පෙන්වන්නට උත්සාහ කරන්නේ ඇඳ ඇතිරිල්ලේ කෙළවරක ඇති සිහින් වාටියෙන් ගෙලෙහි තුවාලය සිදුවිය හැකි බවයි. ඇමෙරිකාවේ නිෂ්පාදනය කළ සියුම් ඇඳ ඇතිරිල්ලක කෙළවර වාටියෙන් ගෙලෙහි අභ්‍යන්තර ඉන්ද්‍රියන් කැඩී බිඳී යයිද? කෙනෙකු එල්ලා මැරෙනවානම් එය කරන්නේ ඔහු සිටින කාමරයේ දොර ජනෙල් වසාගෙනයි. පිට අයෙක් පැමිණ ඩයස් මරා දැම්මේ නම් ඇඳ රෙදි එල්ලීමට ලන්කට් ඇන්දවීමට කාලය ගත කරයිද? පිට අයකු පැමිණ මෙම මිනීමැරුම සිදු කළා නම් ඔවුන් හැකි ඉක්මනින් එතැනින් ඉවත් වෙනවා විනා මියගිය අයගේ අණ්ඩ කෝෂය මිරික මිරිකා සිටීද? ලෙස පැවසීය.
මෙම නඩුවේ ඇසින් දුටු සාක්ෂි කිසිවක් නැහැ. නඩුව සම්පූර්ණයෙන්ම රැඳී තියෙන්නේ පර්යේෂණ සාක්ෂි මත පමණක් නිසා වඩාත් බුද්ධිමත්ව තේරුම් ගැනීම ජූරි සභාවේ යුතුකමකි.
ඩයස් ඇඳගෙන සිටි කමිසය පවා ගලවා දෙන්න සුදානම් බෝධි සත්ත්වයෙක් බව සාක්කිවලින් කියැවෙනවා. ඔවුන් මේ අපරාධය කළේ එවැනි මහත්මයකුටයි.
මම හිතුවා එයා එල්ලී ඉන්නේ විහිළුවටැයි කී පළවැනි විත්තිකාරිය මහත්තයා මැරිලා ඉද්දි දොස්තර මහත්මයකු නොකැඳවා දෙවැනි විත්තිකරුව කැඳවා තියනවා. ඔහු අත අල්ලා බලා ‘වෙන්න ඕනෑ දේවල් වෙලා ඉවරයි‘ කියා තිබෙනවා. එදා ඔවුන් දොස්තර කෙනෙක් කැඳෙව්වේ නෑ. මේ වගේ දෙයක් සතාසිවම් නඩුවේ දීත් කියවුණා. බෙල්ල මිරිකද්දි වොයිස් බොක්ස් එක කැඩුණු බව විලියම් සාක්කියෙදි කියා තිබෙනවා.
මෙම විත්තිකාරිය (රෝහිණී ඩයස්) සැමියාගේ මරණයෙන් පසු පොලිසියට නොගොස් පොලිසිය පසු කරගෙන කෙළින්ම ගොස් ඇත්තේ හේමසිරි රුද්‍රිගෝගේ නිෙවසටයි. රුද්‍රිගෝ පොලිසියට පැමිණිලි කරද්දි ඔවුන් සිට තිබෙන්නේ පොලිසිය ඉදිරිපස කාරෙකේ.
ඩයස්ගේ මළ සිරුර හැකි තරම් ඉක්මනින් බණ්ඩාරගම, රයිගම, උයන්වත්තේදී සඳුන් දරවලින් පිලිස්සිය යුතු යැයි පළමු විත්තිකාර (රෝහිණී ඩයස්) කියනවා තමාට ඇසුණු බව පාණදුර පොලිසියේ හිටපු කොස්තාපල් සුනිල් අධිකාරම් කීය. "වර්ෂ 1979 අගෝස්තු 30 - 31 දෙදිනට ගියා. පළවැනි විත්තිකාරියගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමේදී මෙය සියදිවි නසා ගැනීමක් නොවන බවත්, මරණය පිළිබඳ සැකයක් ඇති බවත් තමන්ට සහ සැමියාටද සතුරන් සිටින බවත් එම සතුරන් ගෙදරම සිටින බවත් සඳහන් කළා" යනුවෙන් පොලිස් පරීක්ෂක මිස්කින් අධිකරණයේදී පැවසීය. ඩයස් යුවළගේ එකම දියණිය වන වොෂින්ටන්හි පදිංචි ලලිතා ප්‍රැන්ක්ලින්ට අයත් පොල් ඉඩමක් බදු ගත් ටිඩිමන්ගේ සාක්ෂියද අධිකරණයේ අවධානයට යොමු විය. ඉඩම් බද්ද අවසන් වී තිබියදීත් එය ඩයස් යුවළට ආපසු බාර නුදුන් ටිඩිමන් එය දිගටම භුක්ති විඳගෙන ගියා. ඊට විරුද්ධව ඩයස් යුවළගේ පුතා වන අජිත් ඩයස්ද පොලිසියට පැමිණිලි කර තියෙනවා. මිනීමැරුම සිදු වූ දින ඩයස් සමඟ කතා කළ කිසිම දෙයක් ටිඩිමන් සඳහන් කරලා නෑ. ඔහු තේ කෝප්පයක් බීලා සිගරැට් එකක් පත්තු කළාලු. ඩයස් මහත්මයා කෝපි කෝප්පයක් බිබී හිටියලු.
ඩයස්ගේ මරණය ගැන තමා පුදුමයට පත්වුණ යැයි කී ටිඩිමන් පොලිසියට කට උත්තරයක් දීමට 1979 සැප්තැම්බර් 10 තෙක් කල් ගත කළේ ඇයි? මළ සිරුර කපද්දි දොස්තරට කෝපි ගැන කිසිම දෙයක් සොයා ගන්නට ලැබුණේ නැහැ.
ඉතිරි කොටස ලබන සතියේ