රුපියල් දාහකට බිලිගත් ජීවිතයක් | Page 2 | සිළුමිණ

රුපියල් දාහකට බිලිගත් ජීවිතයක්

 

කිසියම් නොහොඳ නෝක්කාඩුවක් වූ සැණින් ඇතැම් මිනිසුන් එකිනෙකා සමඟ ගහ-මරා ගන්නට තරම් සැහැසි වී තිබීම ඛේදනීය තත්ත්වයකි. එතරමටම මේ රටේ ඇතැම් මිනිසුන් සිවුපාවුන් සේ හැසිරෙමින් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරමින් මිනිස් ජීවිත සමඟ ‘සෙල්ලම්‘ කරති. කෙසේ හෝ එසේ සිදු කරන සෙල්ලම්වල අවසානය කෙනෙකුගේ ජීවන ගමන කෙළවර කිරීමය. එහෙත් එසේ එම ඝාතනය සිදු කරන පුද්ගලයාටද අවසානයේ සිදු වන්නේ සිර ගෙදර ලැගීමටය.

ඉකුත් දා කුරුණෑගල නගර මධ්‍යයේදී ද මිනිස් ඝාතනයක් සිදු වූයේ සුළු සිදුවීමක් දුරදිග යාමෙනි. කුරුණෑගල නගරයේ පුත්තලම් පාරේදී එම ඝාතනය සිදු වූයේ ඉකුත් 28 වැනිදා සවස් යාමයේය.

මෙලෙස ඝාතනය වූයේ කුරුණෑගල පුත්තලම් මාර්ගයේ ‘සමන් මෝටර්ස්‘ නමැති ලියවන පට්ටල් කාර්මික ආයතනයක් පවත්වාගෙන ගිය 47 හැවිරිදි සමන් රෝහිත ගුණරත්නය. ඔහු දෙදරු පියෙකි. වසර 20ක පමණ කාලයක් ඔහු එම ස්ථානයේ සිය ව්‍යාපාරය පවත්වාගෙන ගියේය.

සමන් දිනපතාම පාහේ සවස් යාමයේ මුදල් ගෙනැවිත් දීමේ පොරොන්දුව මත ඔහුගේ ව්‍යාපාර ස්ථානයට ආසන්න වෙළෙඳසලකින් මෝටර් රථ අමතර කොටස් ලබා ගත්තේය. පසුගිය 28 වැනිදා සවස් යාමයේ එසේ සමන් මුදල් රැගෙන නොපැමිණීම නිසා එම වෙළෙඳසලේ පුද්ගලයකු සමන්ගේ ව්‍යාපාර ස්ථානයට පැමිණියේ සමන් එලෙස මුදල් රැගෙන නොපැමිණීම ගැන සොයා බලන්නටය.

“අනේ දෙයියනේ සමන් මහත්තයා වැටිලනේ... මොකද වෙලා තියෙන්නෙ... දෙයියෝ සාක්කි සමන් මහත්තයා මැරිලා වගේ...“

එසැණින් එම පුවත අවට සිටි පිරිසද දැන ගත්හ. 1990 සුවසැරිය ගිලන් රථයක් කැඳවිණි. එහි පැමිණි සුව සේවකයෝ සමන් පරීක්ෂා කර බලා පැවැසුවේ සමන් මියගොස් ඇති බවයි. සැණින් සමන්ගේ මරණය කුරුණෑගල මූලස්ථාන පොලිසියට දැන්වූයේ අසල සිටි පිරිස විසිනි.

ඒ අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.පී.එස්.පී. ධර්මවර්ධන මේ සිද්ධිය පිළිබඳව ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ද දැනුවත් කෙළේය. අනතුරුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සමන් රෝහිත මරණයට පත්ව සිටි ඔහුගේ ව්‍යාපාර ස්ථානය වෙත පොලිස් කණ්ඩායමක් යොමු කෙළේ මේ ගැන කඩිනමින් විමර්ශන සිදු කිරීම සඳහාය.

පොලිස් නිලධාරින් එලෙස විමර්ශන අරඹමින් සමන් රෝහිතගේ සිරුර වැඩිදුර පරීක්ෂාවට යොමු කරමින් කුරුණෑගල රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කරන ලදි. එහිදී අනාවරණය වූයේ සමන් රෝහිතගේ මරණය ඝාතනයක් බවයි. ඔහු ඝාතනය කර තිබුණේ ගෙල සිර කිරීමෙන් බවට සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විය.

සමන්ගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමත් සමඟ කුරුණෑගල මූලස්ථාන පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මවර්ධන මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජයවීර ප්‍රමුඛ කණ්ඩායම මෙහෙයවූයේ අවට සීසීටීවී කැමරා දර්ශනද පිරික්සමින් විමර්ශන සිදු කරන ලෙසට උපදෙස් දෙමිනි. විමර්ශන නිලධාරින් එලෙස සීසීටීවී කැමරා පරීක්ෂා කරද්දී සමන් රෝහිත ඝාතනය කළ බවට සැක කෙරුණු එදින සවස 4.32ට ඔහුගේ ව්‍යාපාර ස්ථානයට ඇතුළුව 4.48ට පමණ එම ස්ථානයෙන් පුද්ගලයකු බැහැර යන ආකාරය විමර්ශන නිලධාරින්ගේ උකුසු ඇස්වලට හසු විණි. එසේම වැඩිදුරටත් සීසීටීවී කැමරාවන් පරීක්ෂාවේදී සැක සහිත තොරතුරු රැසක්ම විමර්ශන නිලධාරින්ගේ අවධානයට යොමු විණි.

සීසීටීවී කැමරාවේ සටහන් වූ පුද්ගලයා පිළිබඳ වැඩිදුර සොයා බලන්නේ ඉන් පසුවය. එම පුද්ගලයා සමන් රෝහිතගේ ව්‍යාපාර ස්ථානයට ආසන්න ‘ලොරි බොඩිය‘ නමැති ලියවන පට්ටල් කාර්මික ආයතනයේ සේවය කළ අයෙකි. එම සීසීටීවී කැමරා පරීක්ෂාවේදී හෙළි වූ තොරතුරු ඔස්සේ ඒ වන විටත් ‘ලොරි බොඩි‘ කාර්මික ආයතනයේ සේවය කරමින් සිටි එම පුද්ගලයා සමන් රෝහිත ඝාතනයට සැකපිට ඉකුත් 01 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

සීසීටීවී දර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී, ඔහු පොලිස් නිලධාරීන් හමුවේ බැගෑපත් විය. “සර් මං ඒ වෙලාවේ ඔය කියන තැනට ගියා තමයි... ඒත් මං ඒ අපරාධය කළේ නෑ...“ යැයි ඔහු පවසන්නට වූයේය. එහෙත් දිගින් දිගටම පොලිස් නිලධාරින් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුට ගැලවීමක් නොමැති වග ඒත්තු යන්නට ඇත.

පොලිස් අත්අඩංගුවට පත් වන විටත් එම පුද්ගලයා කිසිම හාහූවක් නොමැතිව සමන් රෝහිතගේ ව්‍යාපාර ස්ථානයට ආසන්න 'ලොරි බොඩිය' කාර්මික ආයතනයේ ලියවන පට්ටල් කාර්මික ශිල්පියකු ලෙස සේවය කරමින් සිටියේය.

සමන් රෝහිතගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් මේ සැකකරු රුවන් කුමාර නමැති විවාහක දෙදරු පියෙකි. රුවන් 35 හැවිරිදිය. පොතුහැර, හඳුගල පදිංචිකරුවෙකි. කලක් විදෙස්ගතව සිට ඇති රුවන් අතිදක්ෂ ලියවන පට්ටල් කාර්මික ශිල්පියෙකි. විමර්ශන නිලධාරින්ගෙන් ගැලවීමක් නොමැති වග ඒත්තු ගිය රුවන්, සමන් ඝාතනය කළ බව පිළිගනිමින් කුරුණෑගල පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කරන්නට වූයේ මෙලෙසිනි.

“සර්... මම ඇත්ත කියන්නම්... සමන්ව මැරුවේ මම තමයි... එදා මම සමන් මහත්තයා මරන්නවත් එයත් එක්ක රණ්ඩුවක් ඇති කර ගන්නවත් නෙමෙයි එතැනට ගියේ... ඒත් අපි දෙන්නා අතර රණ්ඩුවක් ඇතිවුණා. ඒ වෙලාවේ මම බයිසිකල් පෝක් ලීවරයක් සමන් මහත්තයගේ බෙල්ලට තියලා හිර කළා... ඒකෙන් තමයි සමන්ගේ පණ ගියේ..." යැයි සැකකරු කීවේ පොලිස් නිලධාරීන්ද තූෂ්ණිම්භූතව බලා සිටියදීය.

සමන් එලෙස ඝාතනය කළ බවට පාපෝච්චාරණය කළ රුවන් කුමාරගෙන් පොලිස් නිලධාරින් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූයේ සමන් ඝාතනය කරන්නට තරම් ගැටුමකට මුල් වූයේ කුමන හේතුවක්ද යන්න විමසමිනි. එහිදී රුවන්ගේ ප්‍රකාශවලින් හෙළි වන්නෙ මෙවැන්නකි.

සමන් රෝහිතගේ ව්‍යාපාර ස්ථානයට යාබද ‘ලොරි බොඩිය‘ නමැති තවත් ලියවන පට්ටල් කාර්මික ආයතනයක රුවන් කුමාර රැකියාව කරමින් සිටියේය. ඔහු සමන් සමඟද සබඳතාවක් පවත්වාගෙන ගියේය. එම සබඳතාව ඔස්සේ 'ලොරි බොඩිය' කාර්මික ආයතනයට ලැබෙන ‘වැඩ‘ සමන්ගේ ආයතනයට ලබා දෙමින් රුවන් විසින් සමන්ගෙන් ද කොමිස් මුදලක් ලබාගෙන තිබිණි. සමන් ඝාතනය වූ දින ද යතුරුපැදියක ‘පෝක් ලීවර‘ දෙකක ‘වැඩක්‘ එසේ කොමිස් මුදලකට රුවන් විසින් සමන්ගේ ආයතනයට ලබා දී ඇත.

කොමිස් මුදලට එම කටයුත්ත බාර දුන් පසු ඝාතනය වූ දින සවස එම 'පෝක් ලීවර' දෙක නැවත රැගෙන ඒමට රුවන්, සමන්ගේ ආයතනයට ගියේය. ඒ මොහොතේ ඊට කොමිස් මුදල් ලෙස සමන් විසින් රුවන්ට දී ඇත්තේ රුපියල් 500ක කොමිස් මුදලකි.

“අනේ... මේ වැඩේට නම් සමන් මහත්තයා රුපියල් 500ක් මදිනේ... මට 1500ක්වත් ඕනේ...“ යැයි රුවන් එහිදී කියන්නේ නුරුස්නා ගතියෙනි.

“1500ක් දෙන්න බෑ බං... උඹට මං ඔච්චර තමයි දෙන්නේ...“ සමන්ද පිළිතුරු දුන්නේ තරහෙන් මෙනි.

“උඹට ඔච්චර තමයි සල්ලි දෙන්නේ... ඉතුරු එක ටික ඕනනම් උඹගේ ගෑනි දීපං... උඹට ගෑනි දෙන්න බැරිනම්... කියපං මට ඉන්න තැන... මං හොයාගෙන යන්නම්...“ යැයි සමන් තමාට කී බව රුවන් පොලිසියට කීවේය.

ඒ සමඟම දෙදෙනා අතර ගැටුමක් හට ගැනිණි. එහිදී රුවන් රැගෙන යාමට පැමිණි පෝක් ලීවරය සමන්ගේ ගෙලට තබා හිර කරමින් සමන්ගේ ජීවිතය අවසන් කර තිබිණි.

අනතුරුව සමන්ගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වටිනාකමින් යුත් රන් මාලය සහ මුදල් පසුම්බියද ගත් රුවන් එම ස්ථානයෙන් පලා ගියේය. පසුව ඔහු මුදල් පසුම්බිය කුරුණෑගල වැවට විසි කළ බවද පොලිසියට පැවැසීය. ඊට අමතරව සමන් ඝාතනයට යොදාගත් යතුරුපැදි පෝක් ලීවරය සමන්ගේ ආයතනයේ තිබියදී සොයා ගැනීමට ද කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීහු සමත් වූහ. එසේම රුවන් විසින් රැගෙන ගිය සමන්ගේ රන් මාලය ද රුවන් රැකියාව කළ ‘ලොරි බොඩිය‘ කාර්මික ආයතනයේ තුන්වැනි මහලේ විදුලි වයර සඳහා අදින ලද බටයක සඟවා තිබියදී සොයා ගැනිණි.

රුවන්ගේ ප්‍රකාශ අනුව පොලිසියට හෙළි වනුයේ ඔහු විසින් මුදල් පසුම්බිය සහ රන් මාලය රැගෙන ගොස් ඇත්තේ සොරකම් කිරීමේ චේතනාවෙන්ම නොව මෙකී ඝාතනය රන් මාලය සහ මුදල් පසුම්බිය පැහැර ගැනීමට ‘කුඩු කාරයකු ‘ විසින් සිදු කළ බව හැඟවීමේ කූට උපායක් ලෙසිනි. ඒ, එම ඉසව්ව කුඩුකාරයන් බහුලව සැරිසරන ප්‍රදේශයක්ද වන හෙයිනි. එහෙත් ඔහුගේ ඒ සියලු කූට උපක්‍රම කුරුණෑගල පොලිස් නිලධාරින්ගේ සූක්ෂ්ම විමර්ශනවලට සැඟවිය නොහැකි විය.

කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන් කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දනගේ උපදෙස් මත කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ටී.එස්.පී. ධර්මවර්ධනගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර සහ පොලිස් පරීක්ෂක සුමනවීර ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කළහ.

Comments