පට්ටිය හන්දියේ පත්තුවෙන පිස්තෝල | Page 2 | සිළුමිණ

පට්ටිය හන්දියේ පත්තුවෙන පිස්තෝල

 

 මියගිය පුද්ගලයා මත් ලෝලියෙක්

 ස්කූටියකින් ඇවිත් පිටපිට වෙඩි තබලා

 

මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම් සහ කොල්ලකෑම් සිදු කරන පාතාල සාමාජිකයන් ප්‍රති විරුද්ධ පාතාල කල්ලිවල සාමාජිකයන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම් පසුගිය කාලය ඇතුළත මෙරට විවිධ ප්‍රදේශවල වාර්තා විය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ඇති වූ ආරවුල් හේතුවෙන් පුද්ගලයන් කීපදෙනෙකුම මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය මාස තුනක පමණ කාලය ඇතුළතදීය.

ඉකුත් සැප්තැම්බර් මස 14 වැනි දින කැලණිය, පට්ටිය හන්දිය, ගුරුකුල විද්‍යාලය අසලදි වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තිබුණේ ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුල් හේතුවෙනි.

මේ වෙඩි තැබීමෙන් මිය ගියේ සේදවත්ත, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන හතළිස් එක් හැවිරිදි මොහොමඩ් පාරිස් මොහොමඩ් හුසේන් නමැති පුද්ගලයාය. වෙඩි පහරින් බරපතළ තුවාල ලැබූ හුසේන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියේය. මේ ඝාතනයෙන් අනතුරුව ප්‍රදේශවාසීන් පෑලියගොඩ මූලස්ථාන පොලිසියට ලබා දුන් දුරකතන ඇමතුමක් අනුව එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුභාෂණ ඇතුළු කණ්ඩායමක් එහි ගොස් විමර්ශන ආරම්භ කරන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාය. ඒ අනුව එම ස්ථානයට පැමිණි අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් සහ ඇඟිලි සලකුණු අංශ නිලධාරින් වෙඩි තැබීම සිදු වූ තැන ආරක්ෂිත ස්ථානයක් ලෙසට නම් කර මූලික විමර්ශන කටයුතු ආරම්භ කළේ විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීම සඳහාය.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 05 අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අලුත්කඩේ අංක 05 අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන සිද්ධිය වූ ස්ථානයට සහ කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ මළසිරුර පරික්ෂා කර බලා මෙම සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධරයාට නියෝග කළේය. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එන්. රාහුල් හක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ගිනි අවි මූනිස්සම් මගින් මොහොමඩ් හුසේන්ගේ උදරයට සිදු වූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට නිගමනය කළේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරින් විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි. මෙම සිද්ධිය පිළිබඳව ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ සටහන් කිරීමන් පසු ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරික්ෂා කිරීමට කටයුතු කැරිණි. මෝටර් බයිසිකලයකින් පැමිණි ඝාතකයන් දෙදෙනා අතරින් එම පිටුපස අසුනේ සිටි වෙඩික්කරු මොහොමඩ් හුසේන්ට වෙඩි තබා ඇති බවට තොරතුරු අනාවරණය විය. වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයකු බවත් ඔහුට දිනකට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා රුපියල් පන්දහසක පමණ මුදලක් වැය වන බවත් හෙළි විය. මේ සඳහා අවශ්‍ය මුදල් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර උපයාගෙන ඇති බවද එහිදී අනාවරණය විය. අලුත්කඩේ සහ වත්තල යන ප්‍රදේශවල පුද්ගලයන් තිදෙනෙකු කපා කොටා ඝාතනය සිදු කිරීමේ සිදුවීම් තුනකට මේ පුද්ගලයාට එරෙහිව නඩු පවරා ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව නඩු කීපයක් ද ඔහුට විරුද්ධව පවරා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය විය. ඇතැම් නඩු මහාධිකරණයේ විභාග වන බවට එහිදී හෙළි විය.

මෙම ඝාතනයට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිවු දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනය සඳහා උපයෝගී කරගත් බවට සැක කරන විදේශ රටක නිපද වූ පිස්තෝලයක් සහ ඊට යොදා ගත් පතරොම් ගැබක් මිලි මීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ හතරක් ද සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හැකි විය. වැල්ලම්පිටිය සහ මෝදර උයන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක සහ අවුරුදු 34 වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු සහ මෝදර උයන පදිංචි අවුරුදු 35ක සහ අවුරුදු 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගැනිණි.

මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 121 ද සොයා ගැනීමට එම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හැකි විය. ඝාතනය වූ පුද්ගලයාගේ නිවස ද බස්නාහිර බුද්ධි කොට්ඨාස නි

ලධාරින් විසින් පරික්ෂා කළ අතර එම නිවසේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ද හමු වූ බව සඳහන්ය. ඝාතකයෝ ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

ඝාතනය වූ පුද්ගලයා විවිධ ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම්වල නිරත අයකු බව හෙළි විය. ඔහුගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා පවුලේ ඥාතීන්ට පවා හිරිහැර විඳීමට සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඝාතනය සිදු කිරීමට ආධාර අනුබල දුන්නේයැයි කියන චෝදනාව මත වැල්ලම්පි

ටිය සහ මෝදර උයන ප්‍රදේශයේ අවුරුදු 37ක් සහ අවුරුදු 34 වයස්වල පුද්ගලයන් දෙදෙනා සහ මෝදර උයන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට අවසර ලබාදී තිබිණි. මේ වන විට එම සැකකරුවන් සහ සැකකාරියන් අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කිරීමට නියම කර තිබේ.

ඝාතනය සිදු කිරීම සඳහා යතුරුපැදියෙන් පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිය පැද වූ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව සොයා අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ වන විට මෙයට විවිධ ප්‍රදේශවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් නිසා පුද්ගලයින් 35 දෙනෙකු පමණ ඝාතනයට ලක්වී ඇත.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ උපදෙස් මත එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක, උප පොලිස් පරීක්ෂකවරුන් වන මුතුකුමාර, පෙරේරා, ප්‍රේමසිරි සැරයන්වරුන් වන (19368) බණ්ඩාර, (38636) අධිකාරි, (60699) රණසිංහ, කොස්තාපල්වරුන් වන (77930) ගයාන්, (84427) චතුරංග, (85816) ප්‍රනාන්දු, (92347) දුනුකාර, (30378) කුමාර, (32392) චතුරංග, (102540) චාමර, (102544) රාජපක්ෂ කාන්තා පොලිස් කොස්තාපල් (12138) ඉෂානි යන නිලධාරින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

 

Comments