දුර ගමන් බස්වලින් කප්පම් ගන්නා ගලේවෙල රුවන්ට වේයන්ගොඩදී වැඩේ වැරදෙයි | Page 2 | සිළුමිණ

දුර ගමන් බස්වලින් කප්පම් ගන්නා ගලේවෙල රුවන්ට වේයන්ගොඩදී වැඩේ වැරදෙයි

 

ගලේවෙල රුවන් රුපියල් පන්සීයට දාහට කොළඹ මහනුවර මාර්ගයේ බස් රථවල 'නාඩි බැලීමෙන්' පටන් ගෙන කොළඹින් පිටත් වන දුර ගමන් සේවා බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මහත් භීතියට පත් කළ කප්පම් කල්ලියක නායකයෙකි. බස් රියැදුරන්, කොන්දොස්තරවරුන් කප්පම් මුදල් නොදුන්නොත් ඔවුනගේ අත් පා ඇඟිලි කැපීමේ යෙදුණු රුවන් හැම විටම රම්බෝ පිහි, දැලි පිහි, කඩු ආදියෙන් සන්නද්ධව කල් ගත කළ අයෙකු බවට ප්‍රසිද්ධය.

එසේ වසර පහළොවක පමණ කලක් අවි ආයුධ ප්‍රදර්ශනය කරමින් බස් රථ සේවකයින් බිය වද්දමින් දුර ගමන් සේවා බස් වලින් කප්පම් මුදල් ලබා ගන්නා සංවිධානාත්මක කප්පම් කල්ලි නායක 'ගලේවෙල රුවන්' ඔහුගේ අනුගාමිකයෙකු සමඟ අත්අඩංගුවට ගන්නට වේයන්ගොඩ පොලිසිය කටයුතු කිරීමත් සමඟ මගී බස් රැකියාවේ නිරත වන්නන්ට ලැබී ඇත්තේ මහත් සහනයකි. ගලේවෙල රුවන් වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ඉකුත් ඔක්තෝම්බර් 03 වැනිදාය.

ගලේවෙල රුවන් ගේ නියම නාමය කළුක්කුවේ කංකානම්ලාගේ රුවන් කුමාර ය. ඔහු වේයන්ගොඩ, පාරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි තිදරු පියෙකි.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ මර්දන මෙහෙයුම වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරමින් සිටියදී වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑවට ලැබුණු තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක හෂාන් වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගලේවෙල රුවන් සහ ඔහුගේ අනුගාමිකයෙකු වේයන්ගොඩ නගරයේ රැඳී සිටියදී පරීක්ෂාවට ලක් කර ඔවුන් හඳුනා ගන්නේ ඒ මොහොතේමය. ඒ අවස්ථාවේදී 'ගලේවෙල රුවන්' සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 06 යි මිලි ග්රෑම් 200 ක් සමඟ රම්බෝ පිහියක් සහ දැලි පිහියක්ද පොලිසියට හමු විය. කලක් තිස්සේ පොලිස් ඇසට වැලි ගසමින් සිටි රුවන් හමු වීමත් සමඟ පොලිස් කණ්ඩායම ඔවුන්ගේ විමර්ශනය වෙනත් දිසාවකට ගෙන ගියේ මේ සැකකරු මත් කුඩු නඩුවකින් ගැල වී යාමට ඉඩ දීම සමාජයට මහත් විපතක් වනු බව හොඳින්ම දැන සිටි නිසාය. ඒ නිසාම සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන්නට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කරනු ලැබීය. එසේ ප්‍රශ්න කිරීම් හමුවේ රුවන් පදිංචි වේයන්ගොඩ, පාරමුල්ල නිවෙසේ සඟවා තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කඩුවක් ද පොලිස් බාරයට ගැනීමට හැකි විය. 2004 දී පමණ ගලේවෙල රුවන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියදී කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකදී නවාතැන් පහසුකම් ලබා දීමේ යෙදුණු බවට චෝදනා මත අත්අඩංගුවට පත්ව ඇත. පසුව එම නඩුව මහාධිකරණයේ විභාග වෙමින් තිබියදී ඔහු වේයන්ගොඩ ප්‍රදේශයෙන් පලා ගොස් ගලේවෙල ප්‍රදේශයේ ඔහුගේ සීයා කෙනෙකු ගේ නිවසක සැඟව සිට ඇතැයි පොලිසිය හෙළි කර ගෙන ඇත.

එසේ කල් ගත කරන අතරදී ගලේවෙල රුවන් මිනීමැරුම් චෝදනා ලැබ සිටි ගලේවෙල ප්‍රදේශයේ 'මාළු රෝහණ' නමැත්තාගේ දියණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගියත් ඊට විරුද්ධ වූ මාළු රෝහණ විසින් රුවන්ට වෙඩි තබා ඇති අතර එහිදී තුවාල ලැබූ රුවන් රෝහල් ගත කර තිබේ. එසේ වුවත් පසුව 'මාළු රෝහණ' ගේ කැමැත්ත ඇතිව සිය පෙම්වතිය සමඟ විවාහ වුණු රුවන් මාමණ්ඩියගේම නිවසේ පදිංචි වී ඇති බවද පොලිස් විමර්ශන වලින් හෙළි විය.

මේ අතර රුවන් සිය බිරියගේ පියා වූ 'මාළු රෝහණ' සමඟ එක්වී දුර ගමන් සේවා බස් රථ වල 'නාඩි බැලීම' හෙවත් ඉදිරියෙන් ගමන් ගන්නා බස් රථවල ධාවන ස්ථාන පිළිබඳ සොයා බලා ඊට පසුපසින් ධාවනය කෙරෙන බස් රථ වලට එම තොරතුරු ලබා දීම සිදු කර ඇත. එසේ කිරීමේදී එක් බස් රථයකින් රුපියල් 500 ක් හෝ 100ක් තරමින් මුදලක් ලබා ගැනීමට ඔවුන් කටයුතු කර ඇත.

ඒ අනුව යහමින් මුදල් අත ගැවසෙද්දී රුවන් හෙරොයින් ජාවාරමට සහ හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වීමෙන් පසුව තව දුරටත් මුදල් සෙවීම සඳහා ඔහු දුර ගමන් සේවා බස් රථ වලට ගොඩ වී තියුණු ආයුධ පෙන්වා කප්පම් මුදල් ලබා ගැනීමට පෙලඹී ඇතැයිද හෙළිදරව් වේ.

දුර ගමන් සේවා බස් රථ වල බොහෝ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ගලේවෙල රුවන්ට බිය වී කප්පම් මුදල් ලබා දී ඇත. එසේම ඔවුන් කිසිවකු රුවන්ට විරුද්ධව පොලිසියටද පැමිණිලි කර නොමැත. ගලේවෙල, කුරුණෑගල, මාලිගාවත්ත, දෙමටගොඩ, කිරිබත්ගොඩ ඇතුළු පොලිස් ස්ථාන 13ක මෙම සැකකරුට එරෙහිව මුදල් කොල්ල කෑම් සහ තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම් සම්බන්ධවද පැමිණිලි සටහන්ව ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 'මලේ තුෂාර', නිට්ටඹුව ඔච්චඩ් වත්තේ පදිංචි දිලීප ඉෂාර, නාළපහ මල්ලියා, තල්ගොඩපිටිය නිලන්ත සහ 'රුපියලා' යන අය සැකකරුවන්ද ගලේවෙල රුවන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංවිධානාත්මක කප්පම් කල්ලියේ සෙසු සාමාජිකයන් බවට පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා මේ වන විටත් මෙහෙයුම් සිදු වේ.

මෙම කප්පම් කල්ලිය කොළඹින් පිටත් වන දුර ගමන් සේවා බස් රථවලට ඔරුගොඩ වත්ත, මාලිගාවත්ත, මිරිස්වත්ත, නිට්ටඹුව, කුරුණෑගල, ගලේවෙල, දඹුල්ල වැනි නගරවලදී ගොඩ වී රම්බෝ පිහි සහ දැලි පිහි පෙන්වා මෙම කප්පම් මුදල් ලබා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගලේවෙල රුවන්ගේ කප්පම් කල්ලියට කප්පම් මුදල් ලබා නොදුන් කොන්දොස්තරවරුන් 07 දෙනෙකුගේ පමණ මුඛය සහ අත් පා ඇඟිලි කපා ඇති නමුත් ඔවුන් සිය රැකියාව ඉදිරියටත් කරගෙන යාමට නොහැකි වේ යැයි බියෙන් රුවන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි නොකර ඇති බවත් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කප්පම් මුදල් ලබා නොදෙන කොන්දොස්තරවරුන්ගේ අත් පා ඇඟිලි කැපීම හේතුවෙන් ගලේවෙල රුවන් නම ඇසූ පමණින් සියලු බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් දැඩි භීතියට පත්ව ඉල්ලන ඕනෑම කප්පම් මුදලක් ඔහුට ලබා දීමට පෙලඹී ඇති බවද විමර්ශනවලින් හෙළි වී ඇත. බස් රථයකට නැඟ දැලි පිහිය පෙන්වා කොන්දොස්තර වරයාගෙන් කප්පම් ලබා ගැනීමේ අවස්ථාවක් එක්තරා බස් රථයක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මනාව සටහන්ව තිබියදී සොයා ගැනීමටද පොලිසියට හැකි විය.

ගලේවෙල රුවන් ගේ කප්පම් කල්ලියේ අනුගාමිකයන් පවා රුවන් නොමැතිව බස්රථවලින් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවත් ඇතැම් බස්රථ වලින් රුපියල් 5 60 000 සහ 2 60 000 වැනි තරමේ ඉහළ මුදල් ප්‍රමාණ බැගින් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවත් පොලිසියට අනාවරණය වේ.

මිනීමැරුම් චෝදනාවක් යටතේ මෙම කප්පම් කල්ලි නායක ගලේවෙල රුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ නඩුවක්ද පවතී. මේ අතර පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමට එරෙහිව දඹුල්ල අධිකරණයේදී නඩුවක්ද පැවති බව පොලිස් විමර්ශන වලින් හෙළි වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කළ අතර මෙම කප්පම් කල්ලියේ සෙසු සාමාජිකයින්ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මත බස්නාහිර පළාත් උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් අනුව අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙන් වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑවගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක හෂාන් වීරසිංහ, සැරයන් වරුන් වන 55464 නන්දසිරි, 45698 ප්‍රසාද්, 55447 සිසිර, 41282 සමරතුංග, පොලිස් කොස්තාපල්වරුන් වන 2052 දුමින්ද, 70095 රාජරත්න, 73781 වීරසිංහ, කාන්තා කොස්තාපල් 8202 චන්දිමා යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.

 

Comments