ඩ්‍රයිවර් නිමල් මහත්තයා වූ හැටි | Page 2 | සිළුමිණ

ඩ්‍රයිවර් නිමල් මහත්තයා වූ හැටි

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික විශේෂඥයකු වූ චන්ද්‍රසේකර ඩයස් පාණදුර 'අමිර්තගිරි' නිවසේදී අබිරහස් ලෙස මියයාම ඉතිහාසයට එක්වුණ අනූවේදනීය සිද්ධියකි. 1979 අගෝ​ස්තු 30 දින සිදු වු මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගන්නේ ඔහුගේ ඇවැස්ස නෑනා, විවාහක බිරිය වන රෝහිණී ඩයස් සහ තරුණ රියදුරු නිමල් ෆොන්සේකාය. ඔහු සිය දිවි නසා ගත් බවට තීන්දුවක් නොමැත. ඔප්පු කිරීමට නොහැකි වුවත් මිනීමැරුමක් බවට හේතු වූ කරුණු කාරණා රැසක් ඇතත් ඔහු මරා දැමු බවට තීන්දුවක්ද නොමැත. රට හෙල්ලු පාණදුර අමිර්තගිරියේ චන්ද්‍රා ඩයස් නඩුව සබැඳුණු කථා පෙළේ තුන්වැනි කොටසයි මේ.

 

චන්ද්‍රසේකර ඩයස් මිය යන අවස්ථාවේ ඇඳගෙන සිටි යට ඇඳුම රජයේ රස පරීක්ෂකවරයාට නොයැව්වේ එහි ලේ නොතිබුණු නිසායැයි කීම තමා නොපිළි ගන්නා බවත් තමා මරණය සිදු වු ස්ථානයේ සිට ආපසු එන අතර එම යට ඇඳුම් නැති වී තිබුණු බවට දොස්තර ගුණසෙල්වම් වැඩි දුරටත් සාක්ෂි ලබා දුන්නේය.

මිය ගිය චන්ද්‍රසේකර ඩයස්ගේ අංක 4 දරන බාහිර තුවාලය වශයෙන් සඳහන් කර ඇත්තේ අණ්ඩ කෝෂයේ තුවාලයයි. එම තුවාලය සීරීමක්, ලේ තද වීමක් හා තැළීමක් වශයෙන් සඳහන් කර තිබිණි. මේ සිද්ධිය පිළිබඳ විත්තියේ නීතිඥ තම දේශනයේදීද අවධානය යොමු කර තිබිණි.

චන්ද්‍රා ඩයස් යට ඇඳුම පිටින් මියගොස් උඩු මහලේ ඔහුගේ කාමරයේ සඳුන් පෙට්ටියක් අසල ඇඳ පාමුල වැටී සිටි ආකාරය එදා පුවත්පත්වල පළ වූ අතර, ඡායාරූප මාධ්‍ය කලාවට වටිනාකමක් දෙමින් බාල්කයේ එල්ලා තිබු ඇඳ ඇතිරිල්ලෙන් මිදී නොගොස් ගෙල සිර වී තිබෙන ආකාරයේද සේයාරූද පළ විය. මේ සියලුම ඡායාරූප කළු සුදු සේයාරූ විය.

"පාණදුරේ ඩයස් මිනී මැරුම් නඩුව, අමිර්තගිරි නඩුව, ආදී විවිධ ශීර්ෂ පාඨ සහිතව සිංහල, ඉංග්‍රීසි පත්තරවල පිටු පුරා පළ විණි. නඩු තීන්දුව අපේක්ෂාවෙන් දෙතැනක සිටි රෝහිණී ඩයස්, නිමල් ෆොන්සේකාගේ සේයාරූ පළ කර තිබුණේ එක ළඟ වාඩි වී තීන්දුවට සවන් දෙන අයුරිනි.

ඩයස් මිනීමැරුම් ගැන ලියැවුණු පත්තර උණු කැවුම් මෙන් අලෙවි විය. නඩුව විභාගයට ගන්නා අතරවාරයේ රෝහිණී, නිමල් එක තැන වාඩි වී නොසිටියත්, ඔවුන් දෙදෙනාගේ දුරදිග ගිය පෙම් හුටපටය නඩු විභාගය පුරා කාගේත් අවධානයට ලක් විය.

තීන්දුව කෙසේ ලබා දුන්නද නඩු විභාගය පුරාවට රෝහිණී - නිමල් නම්වලට කිසිදා නොමැකිය හැකි කැළලක් ශේෂ විය. සැමියා චන්ද්‍රා ඩයස් කාරයේ පිටුපස සිටියදී රියදුරු නිමල් සමඟ ඉදිරිපස අසුනේ යන රෝහිණී බණ්ඩාරගම වත්තේ පාලනයෙන් පියසිරි ඉවත්කොට නිමල්ට වැඩි වගකීම් පැවරු බවත් නිමල්ට "ඩ්‍රයිවර්" නොකියා මහත්තයා ලෙස හඳුන්වන ලෙස වත්තේ සේවකයන්ට පවසා ඇති බවක් නඩු විභාගයේදී අනාවරණය විය.

කතරගම හා නුවරඑළියේ හෝටල් දෙකක එකම කාමරවල නිමල් හා රැය පහන් කළ බවත් රෝහිණී, නිමල් අතර පැවතියේ ස්වාමි දු - සේවක බැඳියාවක් නොව රාගයෙන් මුසපත් වූ ලිංගික බැඳීමක් බව අධිකරණයට කරුණු වාර්තා විය.

රෝහිණී, නිමල් යුවළ යුවතිපතීන් ලෙස නුවරඑළිය ග්‍රොවීන් හෝටලයේ මධු සමය ගත කළ බව තමන් විශ්වාස කරන බව එහි හිටපු කළමනාකාර ඇත්තනී ප්‍රනාන්දු නඩුව හමුවේ සාක්ෂි දෙමින් පැවැසීය.

"1979 අගෝස්තු 24 දා සැඳෑ සමයේ දිග කලිසමකින් සැරසුණු අවුරුදු 50ක් පමණ කතක් අවුරුදු 30ක පමණ කලිසම් කමිස ඇඳගත් පිරිමියෙක් සමඟ නිල් පාට වොක්ස්වැගන් රථයකින් පැමිණ අංක 7 කාමරය වෙන්කර ගත්තා. රෑ එහි නතර වුණා. ඇමෙරිකන් පන්නයට කථා කරන ඇය දුම් පානය කරමින් සිටි අතර බ්‍රැන්ඩි දෙකක් සහ රාත්‍රීයට කෑම කාමරයට ගෙන්වා ගත්තා.

රථයෙන් පැමිණි කාන්තාව මා සමඟ කතා කොට ලංකාවේ හෝටල්වල බාත්රූම් පිරිසිදු මදි. ‘මෙහෙත් එහෙමද‘ කියලා එයාට බලන්න පුළුවන්දැයි ඇහුවා. ඇය කතා කළේ අමෙරිකන් වාග් සම්ප්‍රදායට අනුව ඉංග්‍රිසියෙනුයි. අපේ වේටර් කෙනෙකු සමඟ බාත්රූම් බලලා ‘මේ හෝටලයේ නම් බාත්රූම් පිරිසිදුයි‘ කියා ඇය කාමරයක් වෙන්කර ගත්තා.

තමන්ට පළමුවන විත්තිකාරිය (චන්ද්‍රා ඩයස්) මතක හිටියේ කොණ්ඩය කොටට කපා ජින්ස් කලිසමක් හැඳ සිගරට්ටුවක් උරමින් සිගරැට් පැකැට්ටුවක් සහ ගිනි පෙට්ටියක් අතේ තියාගෙන සිටි නිසාත්, අමෙරිකන් ක්‍රමයට ඉංග්‍රීසි කථා කළ නිසාත් බව කළමනාකාර ප්‍රනාන්දු මහතා කීය.

නීතිඥ - හෝටලයට ආ දෙදෙනා අඹුසැමියන් නොවන බවට තමා සැක කළේ නැහැ.

සාක්ෂිකරු - මට සැක කරන්න හේතුවක් තිබුණේ නැහැ. අපි හෝටලයට එන හැමෝගෙම කසාද සහතික පරීක්ෂා කරන්නේ නැහැ.

අමුත්තන්ගේ පෝරමයේ නම ලියන ස්ථානයට ඉදිරියෙන් රෝහිණී ඩයස් පාණදුර කියා සටහන් කළා. පහසුකම් යටතේ තනි කියන කොටුවේ රෝහිණී විසින් හරියක් සටහන් කළා.

මම එය කපා හැර ජෝඩු කියන 'ද්විත්ව' යන කොටුවේ හරියක් දැම්මේ එය ජෝඩු කාමරයක් නිසයි. ගාස්තු ලෙස රුපියල් 200/- සටහන් කළා. කාමරය වෙන් කරගත් පසු මේ දෙදෙනා කාමරයට ගියා. ඇය වරක් දෙවරක් එළියට පැමිණ සැර බීම හා රාත්‍රී කෑම ඇණවුම් කළා දෙදෙනෙකුට. එම හෝටලයේ කාමර දහයක් තියනවා. ඔවුන් දෙදෙනා එළියේ කිසිම තැනකදී මා දුටුවේ නැහැ.

තනි කාමරයක් කියන එක කපා දමා වෙනස්කොට ද්විත්ව කාමර කියා මා සටහන් කිරීම ගැන පළවෙනි විත්තිකාරිය මගෙන් ප්‍රශ්න කළා. ‘ඇයි එසේ කළේ‘ කියලා. මා කීවා ‘ද්විත්ව කාමරයක් කුලියට ගෙන එය තනි කාමරයක් හැටියට ලකුණු කළ නොහැකි‘ බව.

‘මෙම හෝටලයට පැමිණෙන රියදුරන්ට නතර වීමට වෙනම තැනක් තියනවා ඔවුන් එතන නිදා ගත්තාට අය කරන්නෙ නැහැ. කෑමට පමණයි අය කරන්නේ‘ යැයිද සාක්ෂිකරු කීය.

ඉතිරි කොටස ලබන සතියේ

 

Comments