බස් උස්සා වෙස් ගැන්වූ කොස්ගම බාස්ලා | Page 2 | සිළුමිණ

බස් උස්සා වෙස් ගැන්වූ කොස්ගම බාස්ලා

 

ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනයට යොදා ගන්නා පෞද්ගලික බසයක හිමිකරු පසුගිය 10 වැනිදා උදේ නිට්ටඹුව පොලිසියට පැමිණියේ පැමිණිල්ලක් කරන්නටය. පෙරදා රැයේ තම නිවස ඉදිරිපිට නවතා තිබූ තමාට අයත් බස් රථය අතුරුදන්ව ඇති බව ඔහුගේ පැමිණිල්ලෙන් කියවිණි. නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන කුමාරගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත මේ පැමිණිල්ල සටහන් කෙළේ සැක කටයුතු පුද්ගලයන් ගැන ද බසයේ අයිතිකරුගෙන් විමසමිනි.

මෙසේ අතුරුදන්ව තිබුණේ අත්තනගල්ල රුග්ගහවිල සිට වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයකි. 9 වැනිදා රැයේ කිසිවකු මෙම බස් රථය සොරකම් කර ඇති බව නිරීක්ෂණය කිරීමෙන් පසු එම බස් රථය සොයා ගැනීමටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් කණ්ඩායම් කීපයක් යෙදවීමට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පියවර ගත්තේ තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද දැනුම්වත් කර ඔවුන්ගෙන් ලත් උපදෙස් ද අනුවය.

පසුගිය 10 වනදා පෙරවරු 6.00 ට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම බසය සොරා ගෙන ගොස් ඇති බව අනාවරණය කරගත් පොලිස් කණ්ඩායම යුහුසුලුව පරීක්ෂණවල නිරත වූහ. ඒ අනුව බස් රථය රුග්ගහවිල නිවසෙන් සොරා ගැනීමෙන් අනතුරුව එම බසය ගමන් කළ බවට සැක කෙරුණු මාර්ගයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමට නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කටයුතු කරන්නේ ඉන් මේ ගැන හෝඩුවාවක් ලබා ගැනීම සඳහාය.

ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ බස් රථය රුග්ගහවිල සිට ගොඩැල්ල, නෙල්ලිගහමුල, දික්කන්ද, වල්ගම්මුල්ල, ඔස්සේ ගමන් කර ඌරාපොල මංසන්ධියෙන් හැරී කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයේ මිල්ලතේ පසුකර ඉන් අනතුරුව පූගොඩ පොලිස් බල ප්‍රදේශය දක්වා ධාවනය කර ඇති බවයි. මේ ලැබුණු තොරතුරත් සමඟ පොලිස් කණ්ඩායම ඉක්මනින් කිසියම් තොරතුරක් සොයා ගන්නට හැකි වනු ඇතැයි යන විශ්වාසය ඇතිව එම ප්‍රදේශයේ ද ආරක්ෂිත කැමරා දර්ශන වැඩිදුරටත් පරීක්ෂා කිරීමට පියවර ගත්හ.

සොරා ගත් බස් රථය ඉන්පසු හංවැල්ල පාලම පසුකර කොස්ගම කළුඅග්ගල දෙසට ධාවනය කර ඇති බවට අනාවරණය කර ගන්නට පොලිස් කණ්ඩායමට හැකි වූයේය. මේ තොරතුරු අනාවරණය කරගැනීමට කිලෝමීටර් 80ක පමණ දුරක තැනින් තැන පිහිටි ආරක්ෂිත කැමරා දර්ශන ගණනාවක් පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමට සිදු විය. මේ සඳහා සතියක පමණ කාලයක් ගත වූයේ තැනින් තැන කැමරා පිරික්සන්නට සිදුවීම නිසාය.

සොයා ගත් සීසීටීවී දර්ශන ඔස්සේ අනාවරණය කර ගත් තොරතුරු මත සිදු කෙරුණු විමර්ශනයේදී සොරකම් කරන ලද බස් රථය කොස්ගම ප්‍රදේශයේ පාළු වත්තක සඟවා තිබෙන බවට පොලිස් කණ්ඩායමට තහවුරු කර ගන්නට හැකිවිය. ඒ අනුව පොලිසිය අදාළ ස්ථානය වැටලීමට කටයුතු සූදානම් කළේය. පොලිසිය එහි යාමට පෙර සොර කල්ලිය විසින් එම බස් රථය කොස්ගම ප්‍රදේශයෙන් පිට කරවා අත්තනගල්ල වතුපිටිවල රෝහල ආසන්නයේ මාර්ගය අසල දමා ගොස් තිබියදී පසුගිය සැප්තැම්බර් 19 වැනිදා පොලිසියට හමු විය.

මෙසේ දමා ගිය බස් රථය පොලිසිය සිය භාරයට ගත් අතර බස් රථයේ වර්ණය වෙනස් කර අංක තහඩු ගලවා ඇති බව හෙළි වූයේ එහිදීය. බස් රථය දමා ගියත් සොයා ගත් තොරතුරු අනුව පොලිසිය බස් රථය සඟවා තිබූ බවට තහවුරු වූ කොස්ගම ප්‍රදේශයේ පාළු වත්ත පරීක්ෂා කරන්නට පියවර ගන්නේ ඉන් අනතුරුවය.

එහිදී අනාවරණය වී ඇත්තේ බස් රථය එම ස්ථානයේ සඟවා තබාගෙන බසයේ වර්ණය සහ එහි උපාංග වෙනස් කර ඇති බවයි. කොස්ගම ප්‍රදේශයේ ගරාජයක හිමිකරු සහ තවත් දෙදෙනකු විසින් එම පාළු වත්ත තුළදී මෙසේ බසයේ පෙනුම වෙනස් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය කර ගන්නට විමර්ශන නිලධරයනට හැකි විය. එම ස්ථානයේ තවත් බස්රථ 3ක් ද තිබූ අතර ඒවා පොලිස් භාරයට ගැනීමට කටයුතු කැරිණි. මෙසේ හමු වූ එම බස් රථ වලද කොටස් ගලවා තිබූ අතර අංක තහඩු ඇතුළු බස් රථවල කොටස් කිහිපයක් සහ බස් රථවල තීන්ත ආලේපනය කිරීම සඳහා යොදාගත් ස්ප්‍රේ මැෂිමක්ද පොලිස් භාරයට ගැනීමට පොලිසියට හැකි විය.

අත්අඩංගුවට ගත් අනෙක් බස්රථ 03 සම්බන්ධව පොලිසිය වැඩිදුර විමර්ශන පැවැත්වුවත් ඒවා සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබුණේ නැත. ගරාජයේ හිමිකරු කලක සිට සොරා ගන්නා බස් රථවල කොටස් ගලවා වෙනත් බස් රථවලට සවි කර ධාවනයට යොදවමින් සිට ඇති බවටද පොලිසියට තොරතුරු ලැබුණේ මේ අතරය. බස් රථය සොරකම් කළ පුද්ගලයා සහ බස්රථයේ පෙනුම වෙනස් කිරීමේ කටයුතු සිදු කළ ගරාජයේ හිමිකරුත් ගරාජයේ අනෙත් ගෝලයින් දෙදෙනාත් පොලිසිය විසින් සැප්තැම්බර් 20 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

බස්රථය සොරකම් කළ සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර එම සැකකරු ද ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරකු බවත් අනෙක් සැකකරුවන් තිදෙනා කොස්ගම ප්‍රදේශයේ අයවලුන් බවත් පොලිසිය මූලික පරීක්ෂණවලදී හෙළි කර ගනු ලැබීය. ගරාජයේ හිමිකරු සිය ගෝලයින් දෙදෙනා සහ තවත් ඇඟලුම් බස් රථ රියදුරකු යොදාගෙන ඉතා සූක්ෂ්මව සංවිධානාත්මකව මෙම බස් රථ සොරකම කාලයක් තිස්සේ සිදු කර ඇති බවට පොලිසිය සැක කරයි.

ඇඟලුම් කම්හල් සේවිකාවන් සෑම දිනකම උදෑසන රුග්ගහවිල ප්‍රදේශයෙන් රැගෙන ගොස් වේයන්ගොඩ නයිවල ඇඟලුම් කම්හල වෙත ප්‍රවාහනය කර නැවත වැඩ නිම වීමෙන් පසුව රුග්ගහවිල ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරන බවත් ඉන් අනතුරුව බස් රථය පසු දින උදෑසන වනතුරු රුග්ගහවිල ප්‍රදේශයේ හිතවතකුගේ නිවසක් ඉදිරිපිට ගාල් කරන බවත් එසේ ගාල් කර තිබියදී එම බස්රථය මෙලෙස සොරා ගෙන තිබු බවත් විමර්ශනවළදී හෙළිවී ඇත.

වතුපිටිවල ප්‍රදේශයේ මාර්ගය අසල දමා තිබිය දී සොයා ගත් බස් රථයේ ඇඟිලි සලකුණු ලබා ගැනීම ඇඟිලි සලකුණ පරීක්ෂක නිලධාරීන් විසින් සිදු කෙරිණි. රුග්ගහවිල ප්‍රදේශයෙන් සොරාගත් බසය එහි හිමිකරු විසින් තමාගේ නැති වූ බස් රථය බවට හඳුනා ගැනිණි. අත්අඩංගුවට ගත් බස්රථ රස පරීක්ෂක සහ මෝටර් රථ පරීක්ෂක වරයා වෙත ඉදිරිපත් කර එම වාර්තා ලබා ගැනීමටද පොලිසිය කටයුතු කළේය.

පොලිස් භාරයට ගැනුණු ඕමල්පේ දියපොට සුධීර ශ්‍රී නිශ්ශංක, හෝමාගම කනම්පැල්ලේ සුරංජිත් ශ්‍රී ලක්සිත, හංවැල්ල කලුඅග්ගල සුබ්‍රමනියම් මංජු කුමාර් සහ පාම් ග්‍රෝව් වත්ත පත්තලගෙදර වේයන්ගොඩ සදිත් අචින්තක ග්‍රීන්ප්‍රිය කරුණානායක යන සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියම කෙරිණි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණගේ උපදෙස් මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙන් නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර ගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළහ.

 

 

Comments