තේ කම්හලේ මුරකරුට මරු කැඳවූ තේ පැකට් සොරා | Page 2 | සිළුමිණ

තේ කම්හලේ මුරකරුට මරු කැඳවූ තේ පැකට් සොරා

 

සුගතපාල හැට හැවිරිදි වියේ පසු වූ අයෙකි. දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වූ ඔහු වතු ආශ්‍රිත ප්‍රදේශයක පිහිටි දුෂ්කර ගම්මානයක පදිංචිව සිටියේය. සුගතපාලගේ දූ දරුවෝ විවාහ වී සිටියහ. මේ නිසා නිවසේ සිටියේ සුගතාපල සහ බිරිය පමණි. සුගතපාල අසල පිහිටි තේ කර්මාන්ත ශාලාවක මුරකරුවකු ලෙසද සේවය කළේය. ඔහු අත නිරතුරුවම විදුලි පන්දමක් තිබුණේය. ඒ මුරකරුවකු ලෙස රැකියාව කළ බැවිනි. රාත්‍රී කාලයට තේ කම්හලේ රැකියාවට යන සුගතපාල යළි නිවසට එන්නේ උදෑසනය.

සුගතපාලගේ නිවසේ සිට කිලෝ මිටරයක් පමණ දුරින් තේ කම්හල පිහිටා තිබිණි. ඔහු බෝහෝ අවස්ථාවල තේ කම්හලේ මුර රක්ෂාවට ගියේ පා ගමනිනි. ඇතැම් දිනවල ඔහු පාපැදියෙන්ද එහි ගියේය. ඔහු ගම්මානයේ ජනප්‍රිය පුද්ගලයෙකි. මෙම ගම්මානයේ ගොක් කොළයක් අදින තැනක බෙර පදයක් ගහන තැනක සුගතපාල සිටියේය. ඔහු කලා කටයුතුවලට දැඩි කැමැත්තක් දැක්වීය. ඒ කාලයේ ගම්මානවල 'ටීටර් මඩු' පැවැත්විණි. ටීටර් පෙන්වීම සඳහා මූලිකත්වය ගත්තේද සුගතපාලය. මේ නිසා 'ටීටර් සුගතපාල' ලෙස ඔහුට නමක්ද පට බැඳී තිබුණේය.

සුගතපාල නිරතුරුවම සිටියේ සිනහමුසු මුහුණිනි. ඔහුගේ කොණ්ඩය තද සුදු පැහැ ගැන්වී තිබුණේය. මේ නිසා ගමේ කොල්ලෝ කුරුට්ටන් සුගතපාලට 'සුදු සීයා' ලෙස විහිළු තහළු ද කළේය. එක් දිනක තේ කම්හලේ මුර රක්ෂාවට ගිය සුගතපාල පසු දින උදෑසන යළි නිවසට පැමිණියේ නැත. සුගතපාලගේ බිරිය හින්නි හාමි සැමියා නිවසට එන තෙක් මඟ බලාගෙන සිටියාය.

සුගතපාල පාරේ වැටී සිටියදී රෝහල්ගත කොට ඇති බව හින්නි හාමිට දැන ගැනීමට හැකි වූයේ මේ අතරතුරේදීය. ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියේය. සුගතපාලගේ හදිසි වියෝව හින්නි හාමිට දරා ගැනීමට නොහැකි වූවාය.

“අනේ මගේ මහත්තයා... කුරා කූඹියෙකුටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි. දන්නා තරමින් එයාට තරහකාරයෝ හිටියේ නැහැ“ යැයි හින්නි හාමි දෑත් හිස මතට තබාගෙන විලාප දුන්නාය.

සුගතපාලගේ අබිරහස් මරණය පිළිබඳ ඒ වන විට ගම පුරා ළැව්ගින්නක් සේ පැතිරී ගොස් තිබිණි. සුගතපාල රිය අනතුරකට ලක් වීමෙන් මිය ගියාද?, නැතිනම් කිසිවෙකු විසින් ඔහුට පහර දුන්නාද? සුගතපාල මරා දැමුවාද යන්න කොයි කාටත් ප්‍රශ්නයක් විය. සුගතපාලට තරහකරුවන්ද සිටියේ නැත. ඔහු ගම්මු සමඟ ඉතා සුහදව කටයුතු කළ අයෙකි. සුගතපාලගේ බිරිය මෙන්ම දරුවන්ද විශ්වාස කළේ ඔහු රිය අනතුරකට ලක්ව මිය යන්නට ඇතැයි කියාය.

සුගතපාල රිය අනතුරකට ලක් කොට අනතුර සිදු කළ රථය පලා ගිය බවටද ඇතැම්හු කියන්නට වූහ. එහෙත් සිද්ධිය ඇසින් දුටු කිසිවෙක් නොවූහ.

සුගතපාලගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර විසින් සිදු කරනු ලැබීය. අධිකරණ වෛද්‍යවරයා සුගතපාලගේ සිරුර බාහිරව පරීක්ෂා කළේය. ඔහුගේ නිකටට යටින් කුඩා තුවාලයක් දක්නට ලැබිණි. සිරුරේ වෙනත් කිසිම ස්ථානයක කිසිම තුවාලයක් දක්නට නොවීය. ඉක්බිති අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර, සුගතපාලගේ හිස් කබල විවෘත කිරීමට කටයුතු කළේය. හිස්කටුවේ හමට යටින් ලේ ගලා ගොස් තිබිණි. පිටුපස හිස් කබල පුපුරා ගොස් තිබුණේය. මොළය ඇතුළේ විශේෂ වර්ගයේ තුවාල කිහිපයක් දක්නට ලැබිණි.

මොළයේ ගැටිතිවල තිබූ තුවාලවල ලක්ෂණවලට අනුව සුගතපාල පිටුපසට වැටී ඇති බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණය විය. එහෙත් සුගතපාලගේ නිකටේ තිබූ තුවාලය මුණින් අතට වැටීමකින් සිදුවිය නොහැකි බවට අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීරගේ නිගමනය විය. එසේ නම් නිකටේ තුවාලය ඇති විය හැක්කේ කෙසේද? ඉදිරිපසින් පැමිණි වාහනයක වැදී මොහු උඩුබැලි අතට වැටිය හැකිය.

නොඑසේ නම් සුගතපාල මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඔහුට යම්කිසි අයෙකු පහර දුන් විට මේ අයුරින් මුණින් අතට වැටිය හැකිය. ඉදිරිපසින් යම් කිසි තල්ලුවක් පැමිණි විට සුගතපාල උඩුබැලි අතට මාර්ගයේ වැටුණු බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. එම වැටීමේදී ඔහුගේ මොළයට වූ බහුවිධ තුවාල නිසා මරණය වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් හෙළි කරගත් තොරතුරු අනුව පොලිසිය විසින් මේ ගැන පරීක්ෂණ ආරම්භ කළේය. සුගතපාල මියගියේ රිය අනතුරකින් නොවන බවට ඒ වන විටත් අනාවරණය වෙමින් තිබිණි.පොලිසිය විසින් මේ පිළිබඳ ඉතා සූක්ෂ්ම ලෙස පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. තේ කම්හලේ දී සුගතපාල ඇසුරු කළ අය පිළිබඳ ඉතා රහසිගත ලෙස පොලිසිය විසින් තොරතුරු සොයන්නට විය. සුගතපාල ඉඳහිට මත්පැන් වීදුරුවකින් සප්පායම් වූයේය.

එහෙත් ඔහු පුරුද්දක් වශයෙන් මත්පැන් පානය කළේ නැත. සුගතපාල සිය රාජකාරිය දේවකාරියක් ලෙස සැලකු අයෙකි. එක් දිනක් රාත්‍රී සුගතපාල තේ කම්හලේ මුර රක්ෂාවේ නිරතව සිටියේය. තේ කම්හල දෙසින් ශබ්දයක් ඇසෙන්නට විය. සුගතපාල විදුලි පන්දමද ගෙන ඒ ගැන විපරම් කොට බැලුවේය. තේ කම්හල තුළ අයෙකු විය. ඔහු එම කම්හලේ කම්කරුවකු ලෙස රැකියාව කරන අයෙකු බව සුගතපාල හඳුනා ගත්තේය. මොහු අත පැකට්කොට තිබූ තේ පාර්සල් කිහිපයක්ද විය.

"අනේ සුගතපාල අයියේ මාව පොලිසියට අල්ලලා දෙන්න එපා" යැයි ඔහු බැගෑපත් වූයේය.

එහෙත් සුගතපාල නීතිය අකුරටම ක්‍රියාත්මක කළේය. ඔහු මේ ගැන පොලිසියට දන්වා සැකකරු පොලිසියට අල්ලා දුන්නේය. පසුව ඔහු බන්ධනාගාරගතව සිට නිදහස් විය. මේ සිද්ධිය නිසා ඔහු සුගතපාල සමඟ දැඩි වෛරයෙන් පසු විය.

දිනක් සුගතපාල මාර්ගයේ ගමන් කරමින් සිටියේය. මෙම පුද්ගලයා ද යතුරු පැදියකින් තවත් අයෙකු සමඟ සුගතපාල ගමන් කරන දිශාවට එය ධාවනය කළේය. යතුරුපැදිය පැද වූයේ මොහුගේ මිතුරාය. ගත වූයේ නිමේෂයකි.

යතුරුපැදියේ පිටුපස වාඩි වී සිටි මොහු පොල්ලකින් සුගතපාලගේ හිසට දෑත බදා පහර දුන්නේය. ඒ සමඟ ‘බුදු අම්මෝ‘ යැයි කෑ ගසමින් සුගතපාල මාර්ගයේ ඇද වැටුණේය. පසුව අසල්වාසීන් පැමිණ බලන විට සුගතපාල උඩබැලි අතට වැටි සිටියේය. ඔහු රෝහලට ඇතුළත් කොට සුළු වේලාවකට පසු මිය ගියේය.

සුගතපාලට පොල්ලක් වැනි දෙයකින් පහර දී ඇති අතර ඒ සමඟ ඔහු උඩුබැලි අතට වැටී ඇති බව පසුව අනාවරණය විය. පුද්ගලික ආරවුලක් නිසා මෙම පහර දීම වී ඇති බවට පොලිසිය විසින් පසුව අනාවරණය කර ගනු ලැබීය.

ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීරගේ අත්දැකීම් ඇසුරෙනි.

Comments