
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික විශේෂඥයකු වූ චන්ද්‍රසේකර ඩයස් පාණදුර 'අමිර්තගිරි' නිවසේදී අබිරහස් ලෙස මියයාම ඉතිහාසයට එක්වුණ අනූවේදනීය සිද්ධියකි. 1979 අගෝස්තු 30 දින සිදු වු මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගන්නේ ඔහුගේ ඇවැස්ස නෑනා, විවාහක බිරිය වන රෝහිණී ඩයස් සහ තරුණ රියදුරු නිමල් ෆොන්සේකාය. ඔහු සිය දිවි නසා ගත් බවට තීන්දුවක් නොමැත. ඔප්පු කිරීමට නොහැකි වුවත් මිනීමැරුමක් බවට හේතු වූ කරුණු කාරණා රැසක් ඇතත් ඔහු මරා දැමු බවට තීන්දුවක්ද නොමැත. රට හෙල්ලු පාණදුර අමිර්තගිරියේ චන්ද්‍රා ඩයස් නඩුව සබැඳුණු කථා පෙළේ දෙවැනි කොටසයි මේ.
චන්ද්‍රසේකර ඩයස්ට මරණය කැඳ වූ අයුරු කෙසේ ද යන්න සොයා ගැනීමට කිසිම සාක්ෂියක් නොලැබිණි. සිරුර එල්ලා තිබියදී ඔහුගේ සිරුරේ තිබු තුවාල ප්‍රමාණය 9කි. මේ අනුව එය සියදිවි නසා ගැනීමක් නොවන ලකුණු පහළ විය. අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි ගුණසෙල්වම් මරණ පරීක්ෂණය පවත්වද්දී ඔහුට සොයා ගැනීමට හැකි වූ බරපතළ අභ්‍යන්තර තුවාලය බෙල්ලේ ඇටයක් කැඩී බෙල්ලේ මැද ග්‍රන්ථි ඇති කොටසට හානී වී එහි ලේ තැවරී තිබීමයි. බෙල්ලේ උඩ කොටසේ මාංශ පේශි පොඩි වී එක තැනක ගුලි ගැසී තිබිණි. තුවාල පිළිබඳව සලකා බලන විට චන්ද්‍රා ඩයස් මරා දැමුවේ ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වෙන බවද වෛද්‍ය ගුණසෙල්වම් සඳහන් කර තිබිණි.
වෛද්‍යවරයා මරණ පරීක්ෂණයේ නිරතව සිටියදී චන්ද්‍රසේකරගේ සිරුරේ ඇඳුමකට තිබුණේ සුදු යට ඇඳුම පමණි. අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි අවසන් වශයෙන් පැවසුවේ චන්ද්‍රා ඩයස් එල්ලා මරා දමා තිබෙන බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි බවයි. චන්ද්‍රා ඩයස්ගේ මෘත ශරීරය මරණය සිදුවී පැය 40 ක් ශීතකරණයේ තබා තිබු හෙයින් මරණය පිළිබඳව නිශ්චිත අනාවරණයක් කර ගැනීමට තිබුණු බොහෝ කරුණු අනාවරණය කර ගැනීමට නොහැකිවී යැයි ගුණසෙල්වම් වෛද්‍යවරයා සඳහන් කර තිබිණි. අඩි 5යි අඟල් 7ක් උස චන්ද්‍රසේකර ඩයස් රාත්තල් 165 බරින් යුක්තව මනා ශරීර සෞඛ්‍යයෙන් හෙබි පුද්ගලයෙක් බවත් වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.
අමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරමින් අමෙරිකාවේ නිවසක් තැනීමට චන්ද්‍ර - රෝහිණී යුවළට හැකි වුවත් තමන්ටම අයත් අක්කර 80 සුවිශාල වතුයායේ නිවසක් තනා ජීවිතයේ සැදෑ සමය ගෙවීමට බාධා වීම ගැනද ඇත්තේ ප්‍රශ්නයකි.
රෝහිණී - චන්ද්‍රා යුවල අමෙරිකාවේ සිටියදී බණ්ඩාරගම වත්ත බලා ගැනීමට බාර දී තිබුණේ පියසිරි ගුණරත්නටයි. පියසිරි යනු රෝහිණිගේ නැගණිය නීතාගේ විවාහක සැමියාය. පියසිරි, චන්ද්‍රා ඩයස්ගේ පවුලටත්, රෝහිණීගේ පවුලටත් හිසරදයක් වූයේ කිසිම වගකීමකින් තොරව ජීවත් වූ නිසාය. රෝහිණී - චන්ද්‍රා පවුල් දෙකම සොහොයුරියක් හා සොහොයුරෙකුට අයත් පවුල් දෙකක් වූ හෙයින් පියසිරි හිතුමනාපේ වත්තේ පරිපාලන කටයුතු කිරීමට පසුබට නොවීය. රෝහිණී හා චන්ද්‍රා අතර අමනාපයට කරුණු ගණනක් යෙදී තිබුණු අතර පියසිරිගේ ක්‍රියා කලාපයද ප්‍රධාන සාධකයක් විය.
පියසිරි ගුණරත්න වත්තෙන් ඉවත් කොට, එහි නිවසක් තනා රෝහිණී සමඟ එහි සැදෑ සමය ගෙවීමට චන්ද්‍රසේකර ඩයස්ට උවමනා වුවත් වත්තෙන් ඉවත් වීමට නම් තමාට වන්දියක් අවශ්‍ය බව පියසිරි කීවේය. මේ වන විට නඩු මගක් දක්වා මේ සිද්ධිය දුරදිග ගොස් තිබිණි. රෝහිණීගේ අදහස වූයේ පියසිරි වත්ත කාබාසිනියා කළ නිසා වන්දියක් ගෙවීමට අවශ්‍ය නොවන බවකි. චන්ද්‍රා ඩයස්ට උවමනා වූයේ පියසිරිට රුපියල් 45000ක් ලබා දී ඔහු වත්තෙන් පිටත්කර යවා වත්තේ පාලනය චන්ද්‍රා වෙත නැවත බාර දීමටයි. මේ වන්දිය ගැන චන්ද්‍රා - රෝහිණී අඹු සැමියන් අතර මත ගැටුම් ඇති වී තිබුණි. එහෙත් මෙම තීරණ දෙකින් එකක්වත් ක්‍රියාත්මක වීමට පෙර චන්ද්‍රා ඩයස්ගේ මරණය ඉක්මන් විය.
තම සැමියා චන්ද්‍රාගේ මරණයේ පළමු සැකකාරිය වූයේ රෝහිණීය. දෙවන සැකකරු ඔවුන්ගේ 27 හැවිරිදි රියදුරු නිමල් ෆොන්සේකාය. ඩයස් පවුල එතෙර සිට ශ්‍රී ලංකාවට පැමිණි විට ඔවුන්ගේ වොක්ස්වැගන් මෝටර් රිය සඳහා නිමල් ෆොන්සේකාව සොයා දුන්නේ නීතිඥ හේමසිරි රුද්‍රිගු විසිනි.
තරුණ නිමල් සහ මැදිවියේ රෝහිණී අතර නිර්මාණය වූයේ සේවක සහ ස්වාමි දුවක සබැඳියාවක් නොව, රාගයෙන් මුසපත් වූ ආදර අන්දරයක් බව නඩු විභාගයේදී අනාවරණය විය. ඒ වන විට රෝහිණී හතළිස් ගණන්වල පසු වූ අතර නිමල්ට අවුරුදු 25 සම්පූර්ණ වී තිබිණි. දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු විස්සක් පමණය. චන්ද්‍රා ඩයස් මෝටර් රියේ පසුපස ගමන් කරද්දි රෝහිණී, නිමල් සමඟ ඉදිරි අසුණේ යුවළක් ලෙස ගමන් කරන බව අධිකරණයට පවා වාර්තා විය.
චන්ද්‍රා ඩයස් නිවසේ සිටියදීම නිමල් ෆොන්සේකාත් අමිර්තගිරියේ පදිංචි වීම මේ දෙදෙනාගේ සමීප සම්බන්ධතාව තවදුරටත් තහවුරු කරවන්නට විය. තම සැමියාගේ මරණයට රෝහිණී සහ නිමල් සැකකරුවන් බව පොලිසිය අනුමාන කිරීමෙන්ම ඔවුන් දෙදෙනාගේ ආදරයේ තරම කාටත් අවබෝධ විය.
රෝහිණී සහ චන්ද්‍රා ඩයස් අමෙරිකාවේ සිට ලංකාවට පැමිණෙන්නේ 1979 අප්‍රේල් 22 දිනය. ඉන් පසු වතුයායෙන් පියසිරි ඉවත් කැරුණු අතර ඔහුට නැවත වත්තට පැමිණීම රෝහිණී තහනම් කළාය.
ඇය එසේ කළේ පියසිරි වත්තේ සංවර්ධනයට කිසිවක් නොකොට පරිපාලනය අවුල් කළ බැවිනි. තම සොහොයුරිය වන නීතා සිටියදී ඇගෙන් දික්කසාද නොවී මුස්ලිම් චාරිත්‍ර අනුව වෙනත් කාන්තාවක් සමඟ විවාහ වෙන බව පියසිරි පැවසීම ඔහු සමඟ සියලු සබඳකම් අත්හැරීමට තවත් හේතුවක් විය.
චන්ද්‍රා ඩයස්ගේ මරණය සම්බන්ධයෙන් පාණදුරේ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා රෝහිණීට සහ නිමල් ෆොන්සේකාට එරෙහිව නඩුවක් පැවරීය. මාස කීපයක් විභාග කළ නඩුවට අදාළ සාක්ෂි නොමැති නිසා විත්තිකරුවන් දෙදෙනා නිදහස් කෙරුණි.
කොළඹ බෞද්ධාලෝක මාවතේ නව මහාධිකරණයේදී විනිසුරු රොබට් ගුණවර්ධන ඉදිරියේ මෙම නඩුව විභාග වූ අතර සිංහල කථාකරන ජුරි සභාවක්ද ඒ සඳහා යොමු කරන ලදී. හත් දෙනෙකුගෙන් සමන්විත එම ජූරි සභාවට කාන්තාවන් 3ක් ඇතුළත් වුහ.
මේ නඩු විභාගය බොහෝ පිරිසකගේ අවධානයට යොමු වූ ජුගුප්සාජනක තොරතුරු වාර්තා වන මාධ්‍යයේ පුවත් මවන නඩු විභාගයක් විය.
ඩයස්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු එවකට කළුබෝවිල රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ජේ.ජී. ගුණසෙල්වම් නඩු විභාගයේදී සාක්ෂි දෙමින් කියා සිටියේ මෘත ශරීරයක රුධිරය එකතු වීම සහ රුධිරය ඝන වීම අප රටේ දේශගුණික තත්ත්වය අනුව වෙනස් විය හැකි බවයි.
දෙවැනි විත්තිකරුගේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජයන්ත ගුණසේකරගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගුණසෙල්වම් මෙසේ පැවසීය.
"මහාචාර්ය සිඩ්නිස්ටික්, මහාචාර්ය මෝඩි, මහාචාර්ය ගෝර්ඩන් සහ ෂැපයිරෝ වැනි ශ්‍රේෂ්ඨ අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ කෘතිවල සඳහන් පාඨවලට මම එකඟයි මහාචාර්ය මෝඩිගේ මතය අනුව මෘත ශරීරයක අගස්ථිතිය ඝනවීම (ලේ කැටිවීම) පැය 4 සිට පැය 12 දක්වා අතර කාලයකදී විය හැකියි. මා එයට කෙළින්ම විරුද්ධ නොවෙමි. එහෙත් අප රටේ දේශගුණික තත්ත්වය යටතේ මා කියනුයේ පැය 4දිත් අගස්ථිතිය ඝන විය හැකි බවයි. එම කෘතියේම 118 පිටේ සඳහන් වනුයේ අගස්ථිතිය ඝන වෙන වෙලාව ස්ථීරවම කිව නොහැකි බවයි. මරණය සිදු වූ මොහොතේ සිටම ලේ කැටි වීම හටගන්නා බව නම් ස්ථීරයි.
මෙම නඩු විභාගයේදී දෙවැනි විත්තිකාර නිමල් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥ ජයන්ත ගුණසේකර පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් ගුණසෙල්වම් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් ඇසු හරස් ප්‍රශ්න විනිසුරුවරයාගේ විවේචනයට ලක්වු අවස්ථාද වේ. "විනිසුරුතුමා - සාක්ෂිකරු නින්දාවට සහ සමච්චලයට පත් කරන ප්‍රශ්න නොඅසන ලෙස මම අධිනීතිඥවරයාට අවවාද කරමි.
ගුණවර්ධන - සාක්ෂිකරු නින්දාවට හා සමච්චලයට පත් කරනසුලු ප්‍රශ්න ඇසීම සම්බන්ධව උගත් නීතිඥ ජයන්ත ගුණසේකර මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන ලෙස මෙම අවස්ථාවේ මම යෝජනා කරමි.
ගුණසේකර - ස්වාමීනි, මගෙත් ඉවසීමේ සීමාවක් තිබිය යුතුයි. මා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගුණවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මොන වරදක් කළාටද ඔහුට එවැනි අයිතියක් තිබෙනවාද?
ගුණවර්ධන - "ඔබ සාක්ෂිකරුගේ මුහුණටම බොරුකාරයා කීවා"
අධිනීතිඥ අල්මේදා - රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මේවා කියනවා ඔය කියමන් පුවත්පත්වල පළ වෙනවා. ඒවා කියන්නෙත් ඒ සඳහාමයි.
විනිසුරුතුමා - දැන් ඔය ඇති අපහාසාත්මක ප්‍රශ්නවලට මා ඉඩ දෙන්නේ නැහැ. මා කියන්නේ නඩුවේ කටයුතු ඉදිරියට කරගෙන යන්නයි.
ඉතිරි කොටස ලබන සතියේ