19 වසරකට පෙර බේරුවලදී රියැදුරා එලොව යවා වෑන් රිය කොල්ලකෑ කල්ලියේ සැකකාරියත් අල්ලයි | Page 2 | සිළුමිණ

19 වසරකට පෙර බේරුවලදී රියැදුරා එලොව යවා වෑන් රිය කොල්ලකෑ කල්ලියේ සැකකාරියත් අල්ලයි

 

“අපිට බේරුවලට යන්න ඕනේ. කීයද හයර් එක..."

එදින කැලැන්ඩරයේ සටහන් වි තිබුණේ 2003 වසරේ දෙසැම්බර් මාසයේ 21 දා ලෙසය. කුරුණැගල නගරයේ තම වෑන් රථයෙන් කුලී ගමනක් යෑමට 'විජේරත්න' අසලට පැමිණි පිරිමි දෙදෙනා සහ කාන්තාව ඔහුගෙන් එසේ විමසන විට ඔහුගේ හිතට නැගුණේ අද නම් 'ලොකු වාසියක්' ලැබෙන බවය. ඒ කුරුණෑගල සිට බේරුවලට ‘හයර්‘ එක ලෙස විශාල මුදලක් අය කළ හැකි බැවිනි.

පනස් හතර හැවිරිදි විජේරත්න පළාත් පාලන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ රියැදුරෙකු ලෙස කලක් සේවය කර ඇති අතර රාජකාරියට අමතරව තම වෑන් රථයෙන් කුලි ගමන් යාමද ඔහු සිදු කළේ කීයක් හෝ වැඩිපුර අතට ලබා ගත යුතු බැවිනි. අවුරුදු 16 සහ 11 වයස් වල පසුවෙන තවමත් අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනා රැකබලා ගෙන ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට වෙහෙසුන විජේරත්න මේ ලැබුණු මහඟු අවස්ථාව මඟ හැරීමට කැමති වූයේ නැත. ගුණේ, වීරේ සහ සුජා රැගත් වෑන් රථය කුරුණෑගල සිට බේරුවල බලා ගමන ආරම්භ කළේ ඒ අනුවය.

බේරුවල, සිංහගම, හෙරලත්තුඩුව පාලම ආසන්නයේ කුරුඳු ඉඩමක හිමිකරුගේ දියණිය මාසයකට වරක් පැමිණ ඉඩම ශුද්ධ කිරීම සිරිතය. කීරත්තිඩිය බස් මාර්ගයේදී හමුවෙන හෙරලත්තුඩුව ගඟේ පාලමට ආසන්නයේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබෙන බව ඇය දකින්නේ ඉඩම එළි පෙහෙළි කිරීමේ කටයුතුවල නිරතව සිටියදීය. බේරුවල පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ ඒ අනුවය. මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල, මල්කඩුවාව පදිංචි 54 හැවිරිදි විජ්ජාගේ විජේරත්න නමැති දෙදරු පියා බවට ඔහුගේ පවුලේ ඥාතින් පැමිණ හඳුනා ගැනීමෙන් පසුව සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වන්නේ මෙය ඝාතනයක් බවය.

පයාගල පොලිස් වසමේ රියැදුරෙකු ඝාතනය කර වාහනය කොල්ල කෑ සිද්ධියක් වාර්තා වෙන්නේ මේ අතරය. ඒ 2004 වසරේදීය. එහි සැකකරුවෙකු ලෙස පයාගල පොලිසිය විසින් පාණදුර ප්‍රදේශයේ පදිංචි 'වීරේ' අත් අඩංගුවට පත් වෙන්නේ වැළලී යාමට ගිය විජේරත්නගේ ඝාතනයේ සුලමුල ද එළියට ඇද දමමිනි. මෙම ඝාතනයට ගුණේ සම්බන්ධ බවත් සුජා සමඟ ඔවුන් කුරුණෑගලට ගොස් රියැදුරු රවටා බේරුවලට රැගෙන ආ බවත් අනාවරණය වූ බැවින් පයාගල පදිංචිකරුවෙකු වු ගුණේවද අත් අඩංගුවට ගත්තත් 'සුජා' ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකි වූයේ නැත.

එවකට විසිතුන් හැවිරිදි වියේ පසු වූ 'සුජා' විවාහ වී සිටියේ හමුදා නිලධාරියෙකු සමඟිනි. එහෙත් ඒ විවාහය සාර්ථක එකක් නොවූයේ ඔහු ඇය අත් හැර වෙනත් කාන්තාවක් සමඟ පවුල් කෑමට පටන් ගත් බැවිනි. පයාගල පදිංචිකාරියක් වූ සුජාට ගුණේ මුණගැසෙන්නේ විදේශගත වීමට මාර්ගයක් සොයමින් සිටින අතරතුරය.

ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු සිදු කළ ගුණේ ඊට අමතරව කාන්තාවන් රට යැවීමේ ව්‍යාපාරයද කරගෙන ගියේ සීරුවටය. විදේශගත වීමට කැමති කාන්තාවන් සොයා ඒජන්සිවලට යොමු කර අතමිට සරු කර ගැනීමද හොඳ ව්‍යාපාරයක් බැවින් ඔහු එයටද යොමු වූයේ දෙවරක් නොසිතමිනි. අවිවාහකව සිටි ඔහු සැමියා හැර ගිය සුජා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගියේ ඇගේ 'රට සිහිනය' සඵල කර දෙන බව පවසමිනි. ගුණේගේ ඉදිකිරීම් කටයුතු වලදී මේසන් වැඩ සිදු කළේ වීරේ බැවින් මොවුන් තිදෙනා අතර ඇසුර ද දින දින වැඩිවෙමින් පැවතිණි.

"වීරයගෙ කෙල්ල කොල්ලෙක් එක්ක පැනල ගිහින්. කුරුණැගල පැත්තෙලු ඉන්නෙ. ඒකි හොයන්න යන්න උඹත් ලෑස්ති වෙයන්"

'සුජා' කුරුණැගල ගමනට එකතු වෙන්නේ ඒ අනුවය. ඇය පසුව පොලිසියට පවසන්නේ ඇයට අනුව නම් ඇය කිසිවක්ම මේ ගැන දැන සිට නොමැති බවය. විජේරත්න සමඟ වෑන් රථයෙන් ඔවුන් ආපසු ගමනට පිටත් වෙන්නේ අතුරු පාරවල් කීපයකම ඇවිද ගොස් වීරේගේ දියණිය සොයා ගැනීමට නොහැකි වූ තැනය. ඇය සිතන්නේ පොලිසිය ඇගේ මුසා බස් විශ්වාස කරන බවය.

"මං වැන් එකේ පිටි පස්සෙ ෂිට් එකේ නිදාගෙනයි ආවෙ. ගුණේගෙ ගෝලයා ගෙවල් ළඟදී කිව්ව නංගියේ නැගිටපං කියල. මං බැහැල ගෙදර ගියා. ඊට වඩා මොකුත් මම දන්නෙ නෑ" යැයි ඇය පසුව පොලිසියට කීවාය.

මෙම සිද්ධියෙන් පසුව 2004 වසරේදී විදේශගත වූ සුජා වසර දෙකකට වරක් බැගින් මෙරටට පැමිණියද පොලිසියට වසන් වෙමින් කට්ටි පැන්නේ ඇය සොයා පොලිසිය කීප වරක්ම නිවසට ගොස් තිබූ නිසාය. 2008 වසරේදී නැවත ලංකාවට පැමිණි ඇය පුවත්පත් මංගල දැන්වීමකට අනුව තෝරාගත් තරුණයෙකු සමඟ විවාහ වී ගාල්ලේ අක්මීමන, පින්දුව ජනපදයේ වලහන්දුව ප්‍රදේශයේ පදිංචිව සිටියේ ඇය ගැන මතකය පොලිසිය අමතක කර ඇති බව සිතා විය යුතුය.

පොලිස් නිලධාරින් මාරු වෙමින් වසර ගණනාවක් තිස්සේ මන්දගාමි ලෙස සුජා අත්අඩංගුවට ගැනීමේ කාර්ය සිදු කෙරුණේ ඇගේ නිදහසට බාධාවක් නොමැතිවය. එහෙත් බේරුවල පොලිසියේ සැරයන් 49514 විජේවන්ත මේ ගැන විමර්ශන අත හැරියේ නැත. ඔහු මාස ගණනාවක සිටම වෙහෙස වී ඇගේ ඥාතින්ගෙන් සහ ඇය දන්නා හඳුනන අයගෙන් තොරතුරු එක්රැස් කර ගත්තේ ඉතාමත් රහසිගත උපක්‍රමශිලි ක්‍රම අනුගමනය කරමිනි. අවසානයේ ඔහු අනාවරණය කර ගත්තේ ඇය අක්මීමන, වලහන්දුව, ගොවි ජනපදයේ සිටින බවය. ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් පද්මකුමාරගේ උපදෙස් අනුව සැරයන් 55305 මංජුල, කාන්තා පොලිස් කොස්තාපල් මධුෂිකා සමඟ සැරයන් 49514 විජේවන්ත 'සුජා' අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ සීරුවෙනි.

අක්මිමන ප්‍රදේශයේ වලහන්දුව නමින් ගොවි ජනපදයක් නොමැති බව දැන ගත්තේ පිරිස එහි ගිය විටය. ඒ නිසා මෙම ගමනට අක්මිමන පොලිසියේ කොස්තාපල් 51678 ගාමිණිගේ සහය ලබා ගැනීමටද කටයුතු කළේ අක්මීමන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහයෝගය ඇතිවය. නිල ඇදුම් සහිත නිලධාරියා ලෙසට පින්දුව ජනපදයට ගිය නිලධාරියා ඔහුය. ත්‍රිරෝද රථයකින් ගිය මෙම පිරිස 'සුජා' අත් අඩංගුවට ගත්තේ මාස තුන හතරක් තිස්සේ වෙහෙස මහන්සි වී සිදු කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසටය.

සුජා කුරුණැගල සිට පැමිණි වෑන් රථයෙන් බැස ගිය පසුව ගුණේ සහ වීරේ වෑන් රථයෙන් විජේරත්න සමඟ හෙරලන්තුඩුව පාලම අසලට යන්නේ ඔහු ඝාතනය කර වෑන් රථය කොල්ලකෑමටය.

“බේරුවල බෝගහ ළඟට වෑන් එක ගන්න කෙනෙක් එනව කියල තිබුණ හින්දයි ඒ මිනිහ කුරුණෑගල ඉඳල බේරුවලට ආවේ. වෑන් එක විකුණගන්න ඕන හින්ද මිසක් වෙන දේකට නෙමෙයි...“

මොවුන් දන්නා මුසා බස් දොඩා ගැලවීමට මඟක් සොයා ගැනීමට උත්සාහ කළත් පොලිස් ඇසට වැලි ගැසිය නොහැකි බව දැන සිටින්නට නැත. මෙම වෑන් රථයේ එංජින් අංක හා චැසි අංක වෙනස් කර වෙනත් පාටක් යොදා හය ලක්ෂ පනස් දහසකට මුංහේන ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබුණේ ගුණේ විසිනි. මේ වන විට එම වෑන් රථයද පොලිසිය බාරයට ගෙන විජේරත්නගේ දියණියට බාර දී ඇත්තේ වසර 19 ක් තිස්සේ මෙම ඝාතනයට අදාළව අතුරුදන්ව සිටි මේ වන විට 42 හැවිරිදි වියේ පසු වෙන සැකකාරියත් අත් අඩංගුවට ගැනීමේ කාර්යද නිමාවට පත් කරමිනි. දක්ෂ පොලිස් නිලධාරියෙකු වන පොලිස් සැරයන් 49514 විජේවන්තට එහි ගෞරවය මෙන්ම ප්‍රශංසාවද හිමි විය යුතුමය. මන්ද තම රාජකාරිය දේවකාරිය ලෙස සලකන මෙවැනි නිලධාරින්ද සිටින්නේ අතළොස්සක් වැනි පිරිසක් වන බැවිනි.

කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එස්. ඩී. එස්. පි. සන්දනායක සහ කළුතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත මෙහි විමර්ශන කටයුතු සිදු කෙරිණි.

( ගුණේ, වීරේ හා සුජා ව්‍යාජ නම් වේ )

Comments