
සුරනිමල විසිපස් හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි. ඔහු ගාල්ල නගරයේ සිට කිලෝමීටර් පනහක් හැටක් පමණ ඈතින් පිහිටි ගම්මානයක පදිංචිව සිටියේය.
සුරනිමල පවුලේ එකම දරුවාය. ඔහුගේ පියාට හරිහමින් රැකියාවක් නොතිබූ අතර ගොවිතැන් කිරීමෙන් තම දරු පවුල නඩත්තු කළේය. මව ද රැකියාවක් නොකළ අතර ඇය ගොවිතැන් වැඩවලට උදව්පදව් වූවාය. ඔහු අ.පො.ස උසස් පෙළ විභාගය ද සමත්ව සිටියේය. රජයේ රැකියා සඳහා අයැදුම්පත් ගණනාවක් යොමු කළ ද සුරනිමලට රජයේ රැකියාවක් ලැබුණේ නැත. පවුලේ ආර්ථික ප්‍රශ්න ද එන්න එන්නම වැඩි වන්නට විය. මේ නිසා ඔහු ඇඟලුම් කම්හලක රැකියාවට යාමට තීන්දු කළේය. මෙකී ඇඟලුම් කම්හල පිහිටා තිබුණේ සුරනිමල පදිංචිව සිටි ගම්මානයට මඳක් දුරිනි. මේ නිසා සුරනිමල එම ඇඟලුම් කම්හලේ රැකියාවට ගියේ තම මිතුරකුගේ යතුරු පැදියෙනි.
රාත්‍රි සේවා මුර තිබෙන අවස්ථාවලදී ඔහු ඇඟලුම් කම්හලේ සිට නිවසට පැමිණියේ පා ගමනිනි. එක් දිනක රාත්‍රි සේවා මුරය සඳහා සුරනිමල ඇඟලුම් කම්හලට ගියේය. එදින ඔහු සිය සේවා මුරය නිමවී යළි නිවසට පැමිණියේ නැත. මේ නිසා සුරනිමලගේ දෙමවුපියන් ද කලබලයට පත් වූහ. ඔවුහු පොලිසියට ගොස් පැමිණිල්ලක් ද කළහ. දවල් වන විට සුරනිමලගේ මළ සිරුර ප්‍රධාන මාර්ගයකට ආසන්නයේ ඇති ළඳු කැලෑවක තිබී සොයා ගනු ලැබීය.
ඒ වන විටත් සුරනිමලගේ මරණය පිළිබඳ විවිධ කට කථා ගම පුරා පැතිර ගොස් තිබිණි.
“සුරනිමල මරලා ගෙනත් දමලා... ඇඟේ හැමතැනම තුවාල“ ඇතැමුන් පැවසූහ.
“මේක හෙණගහන අපරාධයක්...“ තව අයෙක් කීවේය.
සුරනිමලගේ සිරුරෙන් ගලා ගිය ලේ පැල්ලම් වශයෙන් මාර්ගයේ තැනින් තැන දක්නට විය.
“මෙයාව පාර දිගේ ඇදගෙනවිත් මේ කැලෑවට දමන්නට ඇති“ යැයි ගම්මුන් කීවෝය.
පොලිස් නිලධාරින් ද මේ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළෝය.
කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂා හැන්නදි මහත්මිය එම ස්ථානයට ගොස් පරීක්ෂණයක් ද කළාය. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි, සුරනිමලගේ මළ සිරුර විච්චේදනය කළාය. ඉක්බිති සිරුරේ බාහිර පරික්ෂා කිරීම්වලදි ඔහුගේ දණහිසට යටින් එක් පාදයක විශාල පැලුම් තුවාලයක් ඇය නිරීක්ෂණය කළාය. මුහුණේ සහ උරහිස් ප්‍රදේශයේ තැනින් තැන කුඩා කැපුම් තුවාල දැක ගැනීමට හැකි විය. සිරුරේ තැනින් තැන ද කුඩා කැපුම් තුවාල විය. හිස් කබල පුපුරා ගොස් තිබූ අතර මොළයට දරුණු ලෙස හානි වී තිබිණි. අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ඔහුගේ සිරුරේ තිබූ තුවාල වල හැඩය සියුම් ලෙස නිරීක්ෂණය කළාය. පාදයේ දණහිසට පහළින් තිබූ තුවාලය දරුණු එකකි. අස්ථි ද බිඳී තිබුණි. තුවාලවල හැඩය සහ අනිකුත් පරීක්ෂණවලට අනුව සුරනිමල මිය ගොස් ඇත්තේ රිය අනතුරකින් බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තීන්දු කළාය.
“සුරනිමලගේ පාදයේ තිබූ තුවාලය අනුව වළලුකරේ සිට තුවාල වූ ස්ථානයේ දුර අනුව ඔහු ගැටී තියෙන්නේ මිටි වාහනයක බවට තීන්දු කැරිණි. අනතුරට අදාළ රථය කාරයක්. ඒ විතරක් නෙවෙයි ඔහුගේ මුහුණේ තිබූ තුවාල අනුව මෙම තරුණයා කාර් රථයේ බොනට්ටුවේ හැපිලා ඉදිරිපස වීදුරුවෙත් වැදිලා තියෙනවා. මොළයේ තුවාල සහ හිස් කබලේ තිබූ තුවාල අනුව මෙම තරුණයා මෝටර් රථයේ හැපිලා විසිවෙලා තියෙනවා. තරුණයාගේ සිරුරේ තිබූ පොඩි පොඩි තුවාලවල පොඩි පොඩි සුදුපාට සායම් කෑලි තිබුණා. ඒ අනුව මෙය සුදු පැහැති වාහනයක් බව කියන්නට පුළුවන් වුණා. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හොයන්න පුළුවන් මේ සායම් කැබලි ගළපලා අනතුරට අදාළ වාහනය. ඇත්තටම පශ්චාත් මරණ පරීක්ෂණයේදී බාහිර හා අභ්‍යන්තර තුවාල පරීක්ෂා කරලා කියන්න පුළුවන් වුණා මේ මරණය රිය අනතුරකට ලක්වීමෙන් සිදුවූ එකක් බව. මෝටර් රථයේ විස්තරත් කියන්න පුළුවන් වුණා. මෙම මෝටර් රථයේ අනිවාර්යෙන්ම ඉදිරිපස වීදුරුව කුඩුවෙලා තියෙන්න ඕන. බොනට්ටුව තැළෙන්න ඕන. මොළයට සිදුවූ තුවාල නිසා තමයි සුරනිමලගේ මරණය වෙලා තිබුණේ“ යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂා හැන්නදි මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණයේ අනාවරණය කරගත් තොරතුරු විස්තර කළාය.
මාරක රිය අනතුරක් සිදු කර පලා ගිය මෝටර් රථය ගරාජයක තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය. එම වාහනයේ කොටස් ඒ වන විටත් ගලවා තිබිණි. එමෙන්ම එම මෝටර් රථයේ බොනට්ටුව අතර මියගිය තරුණයාගේ හිස කෙස් කිහිපයක් ද රැඳී තිබිණි. ඒ අනුව මිය ගිය පුද්ගලයා සුරනිමල බව ස්ථිරවම තීන්දු කිරීමට හැකි විය. එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ද සිදු කරනු ලැබීය.
රිය අනතුරක් කර පලා ගියත් කෙදිනක හෝ එම තොරතුරු අනාවරණය වෙන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළාය. සුරනිමලගේ මරණය මිනීමැරුමක් බවට මුලදි කට කථා පැතිරී ගියද එය රිය අනතුරකින් වූ මරණයක් බවට අනාවරණය වූයේ පශ්චාත් මරණ පරීක්ෂණයෙනි.
ගාල්ල කරාපිටිය
වෛද්‍ය පිඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ජානකි වරුෂාහැන්නදි මහත්මියගේ
අත්දැකිම් ඇසුරෙනි