වාරියපොළ පෝර උරේ බිලිඳා දැන් සුවෙන් | Page 2 | සිළුමිණ

වාරියපොළ පෝර උරේ බිලිඳා දැන් සුවෙන්

 

සොයා ගත් කාන්තාවට ප්‍රදේශවාසීන්ගේ ප්‍රණාමය

කැලෑවේ දමා ගිය අය මෙතෙක් සොයාගෙන නෑ

බිලිඳා හුස්ම ගත්තේ පෝර උරේ තිබුණු වී ඇටයක තරම් සිදුරෙන්
 

 

ලෝක ළමා දිනය යෙදී තිබුණේ ඊයේ (01) දිනයේය. ළමා අයිතිවාසිකම් සහ ළමයින් පිළිබදව බොහෝදෙනා වැඩි වැඩියෙන් කතා කරන සතියක් ගෙවී ගියේය. එක් එක් සුවිශේෂී දේ සඳහා වෙන් කරන ලද දිනයන් ඇතත් එම දිනය නිම වනවාත් සමඟම ඒ පිළිබඳ අවධානය අපෙන් ගිලිහී යයි. එහෙත් සෑම තත්පරයකදීම ළමුන් පිළිබඳව අප තුළ ඇති සෙනෙහස එලෙසින්ම නොඅඩුව පවතී.

ළමා දිනය යෙදී තිබුණු ගෙවී ගිය සතියේ සිදුවුණ එක් අනුවේදනීය සිද්ධියක් පිළිබඳව අද හැමදෙනාගේ අවධානය යොමුව ඇත. ඒ පසුගිය 25 වැනිදා අලුත උපන් දරුවෙකු පොහොර උරයක දමා කැලෑ රොදක දමා යාමේ සිද්ධියයි. වාරියපොළ පොලිස් වසමට අයත් බණ්ඩාරකොස්වත්ත, උගුරැස්ස වැව ප්‍රදේශයේ වැවක් ආසන්නයේ මෙම දරුවා සහිත පොහොර බෑගය දමා ගොස් තිබිණි.

තම ගවයින් බැඳීමට ගොස් නැවත නිවසට යන කාන්තාවකට දරුවා සහිත පොහොර බෑගය හමුවී තිබිණි. එම ප්‍රදේශයේම පදිංචිව සිටින කාසි ලෙබ්බේ රෆීෂා නම් එම කාන්තාව තමන් මුහුණදුන් එම අත්දැකීම ගැන කියන්නේ මෙවැනි කතාවකි.

"මම හැමදාම උදේ මගේ ගවයින් බැඳීමට යනවා. සමහර දවසට වැව උඩහ පැත්තෙන් යනවා. තවත් දවස් වලට පාර දිගේ මගේ අයියලගේ ගෙදර ළඟට ඇවිත් එතනින් ගවයින් ඉන්න තැනට යනවා. ආපහු යන්නෙත් එහෙමයි. එදා උදෙත් මම ගවයින් බැඳලා නෑනත් එක්ක කතා කරමින් ඉඳලා ගෙදරට යන්න ගියා. එතකොට කැලෑව දෙසින් ශබ්දයක් ඇහුණා. මම මුලින් හිතුවේ කවුරුහරි බලු පැටවුන් දාල ගිහින් කියලයි. මම නෑනාට කතා කළා. අපි දෙන්නම ඒ වත්ත ඇතුළට ගිහින් බැලුවා. එතකොට තමයි කට බැඳපු පෝර උරයක් තියෙනවා දැක්කේ. ශබ්දය ආවේ ඒක ඇතුළෙන්. ඒ ළමයෙක් හඬන ශබ්දයක් බව අපට තේරුණා. ඒත් උරය ඇරලා බලන්න අපි බය වුණා.

එතකොටම වැවට එහා පදිංචිව ඉන්න අක්ක කෙනෙක් එයාගෙ පුතා එක්ක එයාලගෙ ලොරියෙන් එතනින් යන්න ආවා. ඒ අක්කා තමයි බැහැලා ඇවිත් දරුවා එළියට ගත්තේ. මගේ නෑනා දරුව ඔතන්න රෙදි ගෙනාවා. ඊට පස්සෙ අපි 119 වලට ඇමතුමක් දුන්නා. 1990 ඇම්බියුලන්ස් එකටත් කතා කළා. ඉස්සර වෙලාම ඇම්බියුලන්ස් එක ආවා. ඒ ගොල්ලො ළමයව අරගෙන පිහදාලා දරුවගේ පෙකණිවැල අයින් කළා. ඊට පස්සෙ දරුවා අරගෙන ගියා. ඒ දරුවා අරන් හදාගන්න මටත් ආසයි. මගේ මහත්තයා රට ඉන්නේ එයා කිව්වා කැමතිනම් දරුවා අරන් හදාගන්න කියලා. මට වයස අවුරුදු 18 සහ 14 පිරිමි දරුවන් දෙදෙනෙක් ඉන්නවා. එදා මම අනිත් පාරෙන් ගියානම් අද දරුවා නොයින්නත් තිබුණා. ඔය කැලේ සත්තු ඉන්නවා. දරුවගේ වාසනාවට තමයි මම ඒ පාරෙන් ගියේ. හරිම ලස්සන දරුවෙක්. හොඳට වැඩිල හිටියා."

මේ සිද්ධියත් සමඟ පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ වාරියපොල පොලිසිය විසිනි. මාර්ගය අසලම පිහිටි කැලෑ රොදක දරුවා සහිත පොහොර බෑගය දමා ගොස් තිබිණි. එහෙත් පොලිසිය සැක කරන්නේ වාහනයකින් පැමිණ බිලිඳා එහි දමා ගොස් ඇති බවයි. මේ වන විට ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන ද ලබාගෙන පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාරියපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් බණ්ඩාර තල්වත්ත පැවසීය.

1990 ගිලන් රථයෙන් ගෙන ගිය බිලිඳා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි. එම රෝහලේ වෛද්‍ය නිලධාරී පමිල අධිකාරි කියා සිටියේ 25 වන දින උදෑසන 10.30ට පමණ කැලෑ රොදක දමා ගිය බව පවසන අලුත උපන් පිරිමි දරුවෙකු තම රෝහලට ඇතුළත් කළ බවයි. එම දරුවා ඇතුළත් කරන මොහොත වන විට ඉතාමත් අපිරිසුදු තත්ත්වයෙන් පසු වූ බවත් දරුවා පිරිසුදු කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් දරුවා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

බිලිඳා නිකවැරටිය මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කළ අතර දරුවා බැලීමට කිසිවෙකුටත් අවසර ලැබුණේ නැත.

මේ අතරතුර පසුගිය 26 දින සවස වාරියපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

එහිදී වාරියපොළ වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී රාජපක්ෂ දරුවා සමඟ හමු වූ රෙදි කැබලි සහ පෙකණිවැල ඇතුළු ඉවත් කළ කොටස් කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා බාරයට පත් කරන ලෙස පොලිසියට නියෝග කරන ලදී.

වැඩ බලන මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝගයක් නිකුත් කරමින් පරිවාස හා ළමා අධිකාරියට දන්වා සිටියේ දරුවා පරීක්ෂා කර බාර ගත හැකිදැයි දන්වන ලෙසයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබන්නේ වාරියපොළ පොලිසියේ ළමා සහ කාන්තා කාර්‍යාංශයේ නිලධාරින් විසිනි. එහි ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂිකා ඩී.ආර්.ඒ. සුභාෂිනී කියා සිටියේ මේ වන විටත් දරුවාගේ මව හෝ දරුවා දමා ගිය අයෙකු පිළිබඳව කිසිම තොරතුරක් ලැබී නැති බවයි.

වාරියපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් බණ්ඩාර තල්වත්තගේ උපදෙස් මත ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක සුභාෂිනී, සැරයන් 58049 ඒකනායක, කාන්තා සැරයන් 2117 නිරෝෂිනී සහ කාන්තා කොස්තාපල් 1260 කුමාරි යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මේ අතර පෝර උරයේ දමා සිටි බිලිඳා හුස්ම ගෙන තිබුණේ පෝර උරයේ තිබුණු වී ඇටයක පමණ කුඩා සිදුරකින් බවට තොරතුරු හෙළි වී ඇත.

බිලිඳා බහා තිබුණු උරයේ කට මුලින් ගැට ගසා තිබිණි. දරුවා ප්‍රසූත කළ අවස්ථාවේ මව ඇඳ සිටි ඇඳුමෙන්ම ඔතා තිබෙන බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මේ බිලිඳා පරිවාස බාරයට පත්කිරීම ගැන සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පරිවාස දෙපාර්තමේන්තුවට සහ වාරියපොළ පොලිසියට දැනුම් දී ඇත.

Comments