මිනීමරුවන් තවමත් නිදැල්ලේ හැසිරෙන රටම හෙල්ලූ පාණදුරේ චන්ද්‍රසේකර ඩයස් අබිරහස් මිනීමැරුම | සිළුමිණ

මිනීමරුවන් තවමත් නිදැල්ලේ හැසිරෙන රටම හෙල්ලූ පාණදුරේ චන්ද්‍රසේකර ඩයස් අබිරහස් මිනීමැරුම

 

 වසර 40ක් විදේශයන්හි ගත කර මෙරටට එන්නේ විශ්‍රාම සුව ලබන්න

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික විශේෂඥයකු වූ චන්ද්‍රසේකර ඩයස් පාණදුර 'අමිර්තගිරි' නිවසේදී අබිරහස් ලෙස මියයාම ඉතිහාසයට එක්වුණු අනූවේදනීය සිද්ධියකි. 1979 අගෝතු 30 දින සිදු වූ මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගන්නේ ඔහුගේ ඇවැස්ස නෑනා, විවාහක බිරිය වන රෝහිණී ඩයස් සහ තරුණ රියැදුරු නිමල් ෆොන්සේකාය. ඔහු සිය දිවි නසා ගත් බවට තීන්දුවක් නොමැත. ඔප්පු කිරීමට නොහැකි වුවත් මිනීමැරුමක් බවට හේතු වූ කරුණු කාරණා රැසක් ඇතත් ඔහු මරා දැමූ බවට තීන්දුවක්ද නොමැත. කොළඹ බෞද්ධාලෝක මාවතේ නව මහාධිකරණයේ රොබට් සිල්වා මහාධිකරණ විනිසුරු ප්‍රමුඛ සිංහල කතා කරන ජූරි සභාවක් ඉදිරියේ 1983 ජුනි 01 සිට දින 50ක් විභාග වූ නඩුවේදී ජූරිය ඒකමතිකව තීන්දු කළේ රෝහිණී සහ නිමල් මෙම මිනීමැරුම කළෝ කවරහුද? මීට වසර 43 කාලයේ වැලි තලාවෙන් වැසී යමින් පවතින මෙම මිනීමැරුම ඔප්පු කිරීමට එදා ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොතිබීණි. මුළු නඩුවම රඳා පැවතුණේ පර්යේෂණීය සාක්ෂි මත පමණි. එම නිසා චන්ද්‍රසේකර ඩයස් මිනීමැරුම තවමත් නොවිසඳුණු අබිරහසකි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආතර් චාල්ස් අලස් විසින් මෙම නඩු විභාගයෙන් පසු චන්ද්‍රසේකර ඩයස් සිය දිවි නසා ගත්තාද ඔහු මරා දැමුවාද යනුවෙන් පොතක් සම්පාදනය කළේය. එයින් තමාට අපහාසයක් වූ බව පවසමින් මිය ගිය චන්ද්‍රා ඩයස්ගේ බිරිය රෝහිණී ඩයස් රුපියල් ලක්ෂ 10ක් වන්දි ඉල්ලා නඩු පැවරුවත් විත්තියේ සාක්ෂි සැලකූ කොළඹ දිසා විනිසුරු මහානාම තිලකරන්න පැමිණිල්ල නිෂ්ප්‍රභ කළේය.

රට හෙල්ලු පාණදුර අමිර්තගිරියේ චන්ද්‍රා ඩයස් නඩුව සබැඳුණු කථා පෙළේ පළමුවැන්න මෙලෙසිනි.

 

 

සදාකාලයටම අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගත නොහුනු කාලයේ වැලි තලාවෙන් වැසී යමින් සදා කාලයටම අබිරහසක්ව පැවතෙන අපරාධයන්ද නැතුවාම නොවේ. මිනීමැරුම සිදුවී අඩ සියවසකට ආසන්න කාලයක් ගතවී ඇති මුත් තවමත් අබිරහසක්ම වන මුළු රටේම අවධානය දිනාගත් පාණදුර "අමිර්තගිරි නි‍ෙවසේ" චන්ද්‍රසේකර ඩයස්ගේ ඝාතනයද එවැන්නකි. 1979 අගෝස්තු 30 දින පානදුර "අමිර්තගිරි" නි‍ෙවසේ අයිතිකරු වූ චන්ද්‍රසේකර ඩයස්ගේ මෘත ශරීරය එම නිවස තුළම එල්ලී තිබිණි. ඔහු එසේ මෙසේ පුද්ගලයකු නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික විශේෂඥයෙකි. දිවියේ මෙහෙවර අහවර කරමින් 1979 අප්‍රේල් 22දා මෙරටට පැමිණියේ විශ්‍රාම සුවයෙන් ජීවිතයේ සැඳෑ සමය ගෙවීමටය. එහෙත් ඔහුට සිදු වූයේ අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යන්නටය. අන්තර්ජාතික කීර්තියට පත්ව සිටි මේ සම්භාවනීය පුද්ගලයාගේ මරණයට වගකිව යුත්තේ කවුද යන්න තාමත් නොවිසඳුනු ප්‍රශ්නාර්ථයකි.

චන්ද්‍රසේකර ඩයස් මරා දමා සිරුර එල්ලුවාද? නැත්නම් ඔහු ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගත්තාද? සිය දිවි හානි කර ගැනීමට හේතු මොනවාද? මරා දැමීමට අවශ්‍ය වූයේ කාටද? ඊට හේතු කවරේද? අපරාධය සිදුව වසර 43ක් ගත වී ඇතත් පැන නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත.

දෙනෝදාහක් ගමන් කරන ජනාකීර්ණ පාණදුරයේ මහ දවාලේ එවක මෙවන් මරණයක් ගැන ඇසීම ඉතාම විරල, මෙන්ම කලාතුරකින් සිදු වූවකි. නිහඬවම මෙම අපරාධය සිදුවීම ප්‍රදේශයේ කාගේත් මවිතයට හේතුවක් විය. එය මවිතයෙන් මවිතයට පත් වූයේ අපරාධකරුවන් තාමත් නිදැල්ලේ පසු වීමය.

කුඩා චන්ද්‍රසේකර ඩයස් උපත ලැබුවේ පරම්පරාගතව පැවතෙන විශාල දේපළක් හිමි පවුලකය. උගත්, වැදගත්, ධනවත් පවුලක එකම දරුවා වූ චන්ද්‍රසේකර පාසල් අධ්‍යාපනය හදාරන යුගයේ ‘හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ‘ යන කියමන පසක් කරමින් හැම අතින්ම අංකුර දක්ෂතා මේ යැයි පෙන්වීය.

වයස අවුරුදු 18 පමණ වන විට ඔහු යා යුතු නියම මඟට පිළිපන්නේය. 1953 මහ බැංකුවේ සාමාන්‍ය පත්වීමක් ලද චන්ද්‍රසේකර වැඩිකල් නොගොස්ම මාණ්ඩලික සහකාර, මාණ්ඩලික නිලධාරී ආදී ලෙසින් ඉහළටම පියවර තැබුවේය. 1957 කොළඹ ක්‍රමය යටතේ බ්‍රිතාන්‍ය ශිෂ්‍යත්වයක්ද ලැබුවේය.

නැවත 1959 ශිෂ්‍යත්වයක් ලද ඩයස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු පුහුණුවට වොෂින්ටනයට ගියේය. 1960 මහ බැංකුවේ ජේෂ්ඨ ආර්ථික උපදේශක තනතුරට පත් වූ අතර 1964 දී එක්සත් ජාතීන්ගේ ආර්ථික උපදේශකවරයා ලෙස සෝමාලියාවේ විනිමය පාලන කටයුතු බාරව ඔහු කටයුතු කළේය.

'1970 දී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ක්‍රම සම්පාදන ඒකකයේද සේවය කර එම වසරේදීම එම සංවිධානයේ උපදේශකව පිලිපීනයේ කටයුතු කළේය.

චන්ද්‍රසේකර ඩයස් උපන්නේම කෝටිපති ධනයකට හිමිකරුවකු වෙමිනි. ඔහුට බණ්ඩාරගම ප්‍රදේශයේ අක්කර 80 විශාල රබර් ඉඩමත්, පානදුර නල්ලුරුව, දික්බැද්ද පාරේ "අමිර්තගිරි" දෙමහල් නිවසක් දායාද වූයේ මාපියන්ගෙනි.

ජගත් ආර්ථික කටයුතුවලට රට රටවල කරක් ගහන චන්ද්‍රසේකර ඩයස් කොයි රට ගියත් බාල සන්ධියේ සිටම සිත්ගත් පෙම්වතියක් ඔහුට සිටියේය. ඒ වෙන කිසිවකුත් නොව තමන්ගේම ඇවැස්ස නෑනා වූ රෝහිණී ප්‍රනාන්දුය. නෑනා අයිති මස්සිනාටයි කියමනට දෙපැත්තේ මවුපියන්ගේත් විරුද්ධත්වයක් නොමැති විය. චන්ද්‍රසේකර රෝහිණී පෙම් යුවලට 1951 දී මංගල සීනු හැඬ විණි. ඔවුන්ගේ විවාහයට අරුතක් එක් කළේ ලලිතා හා අජිත් දරු දෙදෙනාය.

චන්ද්‍රසේකරගේ බිරිය රෝහිණීටත් දරු දෙදෙනාටත් නොමද රැකවරණය ලැබුණේ චන්ද්‍රසේකරගේ දෙමාපියන්ගෙනි. ඩයස් පවුල පාණදුරේ කීර්තිමත් පිළිගත් පවුලක් ලෙස ප්‍රකටව සිටියේ ඔවුන් පාණදුරේ සමාජ කටයුතුවලදීත් නගරයේ සහ ගමේ කාගේත් උවමනා එපාකම්වලදී ඉදිරිපත් වීමට තිබු කැමැත්තත් සොයා බලා අතහිත දීමේ පුරුද්දත් නිසාය. ඩයස් පවුලේ දේපළ පාලනය කළේ චන්ද්‍රසේකරගේ දෙමාපියන් විසිනි. චන්ද්‍රසේකරගේ මව මිය යන්නේ ඔහු සෝමාලියාවේ සිටියදීය.

මවගේ ආදාහනයට ලංකාවට පැමිණි ඔහු මවගේ තුන් මස දානය නිම වීමෙන් පසු නැවත සෝමාලියාවට ගියේ දරුවන් හා රෝහිණී සමඟිනි. චන්ද්‍රසේකර නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයට වාර්තා කරන විට ඔහු එම සංවිධානයේ ගමනාගමන ඒකකයට මාරු කෙරිණි. අමෙරිකාවේ නිව්යෝක් නුවරට සිදුවූ මාරුව ඔවුන්ගේ ජීවිතය වෙනස් මඟකට යොමු කිරීමට හේතු විය.

මෙම අලුත් තනතුරත් සමඟ චන්ද්‍රසේකර පවුලට නිව්යෝක් නුවර තට්ටු නි‍ෙවසක් ලැබිණි. 1970 - 1979 දක්වා ඩයස් පවුලට නිරතුරුවම අමෙරිකාවත් - ලංකාවත් අතර එහා මෙහා යෑමට කාලය මිඩංගු කිරීමට සිදු වූයේ පවුලේ දේපළ සම්බන්ධයෙන් ඉඩම් කාර්යාලය සමඟ කටයුතු කිරීමට හේතු වූ හෙයිනි.

ඩයස් යුවළගේ එකම දියණිය ලලිතාට 1979 වන විට වයස අවුරුදු 27ක් පිරී තිබිණි. අමෙරිකානු පෙළැන්තියට හුරුව හැදුණු වැඩුණු ලලිතා අමෙරිකාවේ ශිෂ්‍යත්වයක් ලැබ ඉගෙන ගත්තාය. ඇය අමෙරිකානුවෙක් වන පීටර් ප්‍රැන්ක්ලීන්ට පෙම් බැන්දාය. ඔවුන්ගේ විවාහයට මාපිය ආශිර්වාදයද ලැබිණි. විසි එක් හැවිරිදි අජිත් පුතු ඒ වන විට හවායි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැකියාවෙන් ලැබුණු ඉහළ ආදායමෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර නිවසක හිමිකරුවන් වීමට ඩයස් පවුලට හැකි වූයේ දෛවෝපගත ලෙසිනි. ශ්‍රී ලංකාවේ ඉපිද බටහිරට ඇදුණු ඔවුන් අමෙරිකාවේ පරවේණි ඉඩම් හිමිකරුවන් වුවාක් මෙන්ම දියණිය ලාලනී අමෙරිකානුවකු සමඟ විවාහ වීමෙන් අමෙරිකානු වංශ කථාවට එක් වීමටද සුදුසුකම් ලැබූහ.

ජගත් සංවිධානයන්හි මහා වියතුන්ව සභා මැද වැජඹෙමින් ලක් මවට ඉමහත් කීර්තියක් ගෙන දුන් චන්ද්‍රසේකර ඩයස් 1979 අප්‍රේල් 22 දා යළිත් මෙරටට පා තබන්නේ යුග මෙහෙවරක් ඉටු කළ අයකු ලෙස ජීවිතයේ සැඳෑ සමය උපන් රටේ ගත කරන්නටය.

ඒ තවත් චිරාත් කාලයක් සුව සේ ජීවත්වන්නට මිස අකාලයේ මිය යන්නට නොවේ. එහෙත් 1979 අගෝස්තු 30 දින පාණදුර අමිර්තගිරියේදී ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී යන්නේ පුදුම සහගත ලෙසය. ඩයස් අවසාන වරට ලංකාවට පැමිණ මාස 4ක් වැනි කෙටි කලක් තුළදී අබිරහස් ලෙස මියයාම මේ ලිපිය ලියැවෙන අදටත් අබිරහසකි. ඔහුගේ දෛවය ඔහුට සරදම් කළේ පුදුමාකාරයෙනි.

සාක්ෂි සටහන්වලට අනුව ඩයස් මියගොස් ඇත්තේ 30 දින දහවල් 2.00 පමණය. එහෙත් ඩයස්ගේ බිරිය රෝහිණී ඩයස් විසින් තම සැමියා මිය ගොස් ඇති බව දැනගෙන ඇත්තේ සවස 4.00 ට පමණය. මීට අදාළ මරණ පරීක්ෂණය අතිරේක වෛද්‍ය නිලධාරිවරයා සිදු කළේ සැප්තැම්බර් 1 දිනය.

මරණයෙන් පැය 40 පසු පැවැත්වු පරීක්ෂණයෙන් මරණය පිළිබඳ ප්‍රයෝජනවත් කරුණු සොයා ගත නොහැකි විය. එදින නිවසේ සිටියේ චන්ද්‍රා ඩයස්ගේ බිරිය රෝහිණී සහ 27 හැවිරිදි රියදුරු නිමල් ෆොන්සේකා පමණි.

(මීළඟ කොටස ලබන සතියේ)

 

 

Comments