කොස්මෝදර ධනුෂ්කගේ සිරුර තේ වත්තේ | Page 2 | සිළුමිණ

කොස්මෝදර ධනුෂ්කගේ සිරුර තේ වත්තේ

 

සිරුරේ පහරදීමෙන් සිදු වූ තුවාල

රුපියල් 120000/-ක මුදල් ආරවුලක ප්‍රතිඵලයක්

 

මාතර දිසාවේ කොස්මෝදර පොලිස් වසමේ ඉලුක්පිටිය තුන්බැවුලහේන පිහිටි කරඳකැටිය වත්ත අක්කර 10කින් සමන්විතය. එය මාතර ප්‍රදේශයේ පුද්ගලයකුට අයිති තේ වත්තකි. වතුයාය පිහිටි ප්‍රදේශයේ නිවාස පිහිටා නැත. බෙංගමුව ගල්දොළ මාර්ගයේ ඉලුක්පිටිය ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ පිහිටි මාර්ගයෙන් මේ තේ වත්තට යා හැකිය. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයක පමණ දුරක් යතුරු පැදියක්, ට්‍රැක්ටරයක් වැනි වාහනයක් යා හැකි අතර අනිකුත් වාහන දැඩි අසීරුවෙන් යා යුතුය. මේ මාර්ගය කරඳකැටිය වත්ත දලු මඩුවට යාමට පමණක් තිබෙන අතර එතැනින් එහා ඉඩම්වලට යා හැක්කේ පා ගමනිනි. ඒ සඳහා අඩි පාරක් ඇත. සතියකට දිනක් දෙකක් දලු මඩුවට සේම සෙසු ඉඩම්වලටත් මහජනතාව සහ වාහන ගමන් කරතත් සෙසු දිනවල මේ ප්‍රදේශය පාළුය. රිළවුන්, වඳුරන් ඇතුළු වන සතුන් නිතර ගැවසෙන ප්‍රදේශයක් වන එම ප්‍රදේශය වන සතුන්ගේ වාස භූමියක් බවට පත්ව ඇත්තේ කලක සිටය.

කරඳකැටිය වත්තේ දැනට පිහිටා ඇති දලු මඩුවට අමතරව කොන්ක්‍රීට් කණු යොදා දලු මඩුවක් ඉදි කිරීම සඳහා කොස්මෝදර ප්‍රදේශයේ පුද්ගලයකු ඉදි කිරීම බාර ගෙන තිබිණි. ඒ සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් ගල් ද එම ස්ථානයට රැගෙන ගොස් දමා තිබිණි. ඉකුත් අගෝස්තු 15 දින දලු මඩුව ඉදි කිරීමට අවශ්‍ය කොන්ක්‍රීට් කණු, සිමෙන්ති ඇතුළු අවශ්‍ය උපකරණ රැගෙන ට්‍රැක්ටරයකින් තවත් පිරිසක් සමඟ උදේ 8.30 ට පමණ කොන්ත්‍රාත්කරු අදාළ ස්ථානයට ගියේය. ට්‍රැක්ටරයේ තිබුණු කොන්ක්‍රීට් කණු, සිමෙන්ති කොට්ට ඇතුළු රැගෙන ගිය ද්‍රව්‍ය ඉදි කිරීම සිදු කරන පිරිස බිමට බා ගැනීමෙන් පසු ට්‍රැක්ටරය හැරවීමට යාමේදී එහි රියදුරු පුද්ගලයකු බිම වැටී සිටිනු දුටුවේය. පසුව එලෙස බිම වැටී සිටී පුද්ගලයා පරීක්ෂා කරද්දී ඔහු මිය ගොස් ඇති බවට දැන ගෙන ඒ පිළිබඳව කොස්මෝදර පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය.

කොස්මෝදර පොලිසියේ නිලධාරීහූ පිරිසක් වහාම අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ. ඒ අනුව මියගිය පුද්ගලයා කවුද? ඔහුගේ පදිංචිය කොහේද? යන්න අනාවරණය කර ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය.පොලිස් නිලධාරින් මියගිය පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ සිරුරේ කිසිම තුවාලයක් දක්නට නොතිබූ බැවින් ඔහු කිසියම් පිරිසකගේ පහර දීමක් හේතුවෙන් මිය ගොස් ඇති බවට සැක කරන්නේ ඉන් අනතුරුවය.

මෙසේ ඝාතනය කර සිටියේ කොටපොළ, කොස්මෝදර, අරඹ කඩේ පදිංචි 36 හැවිරිදි කොරවගේ ධනුෂ්ක ප්‍රියශාන්ත නමැති අයෙකි. ඔහු කොස්මෝදර, ඉලුක්පිටිය ප්‍රදේශයේ මිය යාමට පෙර දින එනම් අගොස්තු 14 දින රාත්‍රී පැවති පිංකම් ගෙදරකටද යහළුවකු සමඟ සහභාගි වී ඇත. එහිදී රාත්‍රි ආහාර ගෙන සිටින අතරතුරු පිරිසක් සමඟ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් ඇති වී තිබුණු බවද හෙළි විය. පසුව ඔහු එම ස්ථානයෙන් නික්ම ගොස් ඇති බවට ඔහු සමඟ ගිය මිතුරා පොලිසියට පැවැසීය. ධනුෂ්ක විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට රැකියාව දෙන බවට පවසා ඔවුන්ගෙන් මුදල් ගෙන ඇති අයකු බවද ඔහුට විරුද්ධව පොලිසි කිහිපයකම පැමිණිලි ඇති බවද හෙළි වන්නේ කොස්මෝදර පොලිසියේ නිලධාරින් කළ විමර්ශනවලිනි.

මාතර පොලිස් අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් අදාළ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලෙස පොලීසියට නියෝග කළේය.

ඝාතනයට ලක් වූ ධනුෂ්කගේ නි‍ෙවසේ සිට කිලෝමීටර් තුනක පමණ ඈතින් ඔහුගේ මළ සිරුර තිබිණි. ඔහු වෙනත් ස්ථානයක ඝාතනය කර සිරුර මේ ස්ථානයට රැගෙන ආවේද එසේ නොමැති නම් ඔහු මේ ස්ථානයට කැඳවාගෙන විත් එතැනදී ඝාතනය කළේද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මළ සිරුර තිබූ ස්ථානය ආසන්නයේ ස්ථාන කිහිපයකම ලේ පැල්ලම් තිබිණි. මේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් කීප දෙනකුගෙන්ම ප්‍රකාශ ප්‍රකාශ ලබා ගෙන ඇති බවටත් ඝාතනය සම්බන්ධයෙන් සැක කරන ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට කොස්මෝදර පොලිසිය සඳහන් කරයි. ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් ඉකුත් 26 වැනිදා වෙද්දී සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කොස්මෝදර පොලිසිය සමත් වුවත් සැකකරුවන්ගෙන් ධනුෂ්කගේ ඝාතනය සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරිය කියන්නේ මෙවැනි කතාවකි. “ධනුෂ්ක මල්ලිට සිරෝසිස් රෝගය තිබෙන බවට මල්ලී අපිට කියලා නෑ. ඒ බව දැන ගත්තේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී. මල්ලි මහතයි එයාගේ මළ සිරුර මල් ශාලාවට රැගෙන ඒමෙන් පසු විශාල කොටස් ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවෙලා තිබෙනවා. ඒකට හේතුව සිරෝසිස්. එයා ඒක අපිට හංගලා තමයි ඉඳලා තියෙන්නේ.“

ඝාතනයට ලක් වූ පුද්ගලයා රැකියා දෙන බවට විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ගෙන ඇති බවටත් එම මුදල් සමහරුන්ට අයගේ නැවත දී ඇති බවත් ඇතැම් පුද්ගලයන්ගේ මුදල් ලබා නොදීම නිසා පොලිසිවලට පැමිණිලි කර ඇති බව කොස්මෝදර පොලිසිය පවසයි.මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන ප්‍රධාන සැකකරුගෙන්ද රැකියා දෙන බවට රුපියල් 150000.00 ක මුදලක් ගෙන ඇති බවත් එයින් රුපියල් තිස්දහසක මුදලක් නැවැත දී ඇති බවත් ඉතිරි රුපියල් 120000.00 ක මුදල නොදීම නිසා දෙපාර්ශ්වය අතර පින්කම් ගෙදරදී බහින් බස් වීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවට පොලිසිය පවසයි.රුපියල් 120000.00 ක මුදල නොදීම නිසා මෙම පුද්ගලයා ඝාතනය කරන්නට ඇත්දැයි පොලිසිය සැක කරයි.

ඒ අනුව කොරවගේ ධනුෂ්ක ප්‍රියශාන්ත යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ දී පැවැත්වීමෙන් පසු මරණයට හේතුව පහර දීමකින් ඇති වූ බහුවිධ තුවාල සහ සිරෝසිස් රෝගය උත්සන්න වී බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සී.ටී.මහානාම මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බවට කොස්මෝදර පොලිසිය පැවැසීය.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත්ද සිල්වාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක හේමන්ත ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Comments