මහමඟදී මිය ගිය ගුණදාසගේ සිරුරේ ටයරයක සලකුණු | Page 2 | සිළුමිණ

මහමඟදී මිය ගිය ගුණදාසගේ සිරුරේ ටයරයක සලකුණු

 

ගුණදාස හතළිස් එක් හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි. ඔහුගේ බිරිය සෝමලතාය. මොවුන් වතු ආශ්‍රිත ගම්මානයක පදිංචිව සිටියහ. ගුණදාස වතු කම්කරුවකු ලෙස සේවය කළේය. බිරිය සෝමලතා ද වත්තේ දලු කැඩීමට ගියාය. මෙකී යුවළ දරු පවුල සමඟ වහලයට කටුමැටි ගැසු කුඩා නිවසක පදිංචිව සිටියහ. ගුණදාස මත්පැන් පානය කිරීමට දැඩි ලෙස ඇබ්බැහි වී සිටියේය. ඔහු දිනකට දෙතුන් වතාවක් මත්පැන් පානය කළේය. ගුණදාස කුලී වැඩ කිරීමෙන් උපයා ගනු ලැබූ මුදලින් වැඩි පංගුවක් මත්පැන් පානය කිරීමට වියහියදම් කළේය. මේ නිසා සෝමලතාට දරු පවුලේ බඩවියත රැකගැනීම සඳහා දැඩි අරගලයක නිරත වීමට සිදු වූවාය.

ගුණදාස සවස් කාලයේ දී නිවසට පැමිණියේ කට ගොන්නක් බීගෙනය. මේ නිසා ගුණදාස සහ බිරිය අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවිය. ඇතැම් අවස්ථාවලදී ගුණදාස පරුෂ වචනයෙන් බැණ වදිමින් බිරියට පහර දුන්නේය. දරු දෙදෙනා ගැන සිතා ඇය ගුණදාසගෙන් සිදුවන සියලු හිරිහැර ඉවසාගෙන සිටියාය.

"මේ දරුවෝ දෙන්නා ගැනවත් හිතලා ඔයාට ඔය දහජාරව නොබී ඉන්න බැරිද?" යැයි ගුණදාස මත්පැන් පානය නොකර සිටින අවස්ථාවලදී බිරිය සෝමලතා ඉල්ලීම් කළාය. එහෙත් ගුණදාස ඒ ගැන කිසිම තැකීමක් කළේ නැත.

ගුණදාසට මිතුරන් පිරිසක්ද සිටියහ. ඇතැම් අවස්ථාවලදී ඔහු මිතුරන් සමඟ එක්වී මත්පැන් පානය කෙළේය. මත්පැන් පානය කිරීමෙන් පසු මිතුරන් සමඟ ද ගුණදාස ගැටුම් ඇති කරගනු ලැබීය. එක් දිනක් ගුණදාස මිතුරන් සමඟ මත්පැන් පානය කරමින් සිටියේය. එහිදී පැරණි කතාවකට මත්පැන් පානය කරමින් සිටි තම සමීපතම මිතුරකු සමඟ ගුණදාස ගැටුමක් අතිකර ගත්තේය. මෙම ගැටුම ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගියද අනික් මිතුරන්ගේ මැදිහත් වීමෙන් ගැටුම සමථයකට පත්විය. එහෙත් ගුණදාසගේ හොඳම මිතුරා ඔහු සමඟ වෛර බැඳ ගත්තේය.

"මම උඹට කරන දේ පස්සේ බලාගන්න පුළුවන්" යැයි මිතුරා, ගුණදාසට තර්ජනය කොට යන්නට ගියේය. ගුණදාස ද මිතුරාට පරුෂ වචනයෙන් බැණ වදිමින් යන්නට විය.

මේ සිද්ධිය ගුණදාසගේ බිරිය සෝමලතාට ද ආරංචි වී තිබිණි. "ඔයා බීගෙන දැන් යාළුවෝ එක්කත් රණ්ඩු වෙනවා." සෝමලතා ගුණදාසට කීවාය. “තමුසෙගේ වැඩක් තමුසේ බලා ගන්නවා. මම දන්නවා එයාට කරක දේ“ කියමින් ගුණදාස වහසිබස් දෙඩුවේය.

පසුදින උදෑසන ගුණදාස වත්තේ වැඩට යමින් සිටියේය. ඒ යන අතරමඟදී ඔහුට පෙර දින රාත්‍රියේ ආරවුලක් ඇතිකර ගත් මිතුරා හමුවිය.

"උඹ හම්බවෙනකම් තමයි මම හිටියේ. පරණ කුණු කේස් අදින්න ඇවිල්ලා උඹ මගෙන් මැරුම් කන්න එපා" ගුණදාසගේ මිතුරාට එලෙස තර්ජනය කෙළේය.

"උඹ මට මොනවා කරන්නද?" එසේ කියමින් ගුණදාස යන්නට ගියේය.

දෙ‍ෙදනා අතර අතරමඟදි ඇතිවු ගැටුම තවත් මිතුරකු විසින් ගුණදාසගේ නිවසට පැමිණ සෝමලතාට කීවේය. වත්තේ වැඩට නොගොස් ගුණදාස එදින උදෑසන දහයට පමණ යළි නිවසට පැමිණියේය. හේ නිවසට පැමිණ මත්පැන් පානය කළේය. ඒ වන විට ගුණදාස පදමට වෙරි වී සිටියේය.

පදමට වෙරි වී සිටි ගුණදාස වහසිබස් දොඩවමින් ගෙවත්තේ ඒ මේ අත ඇවිදිමින් සිටියේය. සෝමලතා හෙමින් සීරුවේ ගුණදාස මඟහැර නිවසින් පිටතට ගියාය. හෝරා දෙක තුනක් නිවසේ ගත කළ ගුණදාස කඩ මණ්ඩිය දෙසට පිටත්ව ගියේය. සෝමලතා ද ඇඳිරි වැටිගෙන එන විට නිවසට පැමිණියාය. ඇය නිවසට පැමිණ වැඩි වෙලාවක් ගත වූයේ නැත. ගුණදාසගේ මිතුරෙකු කඩිමුඩියේ ගුණදාසගේ නිවසට පැමිණියේය.

“අන්න ගුණදාස අයියා පාරේ වැටිලා මැරිලා ඉන්නවා. නළලෙන් ලේ ගලනවා“ මිතුරා එක හුස්මට කියාගෙන ගියේය. මින් සෝමලතා ද දැඩි කලබලයට පත්වුවාය.

"උඹ මගෙන් මැරුම් කන්න එපා" ගුණදාසගේ මිතුරා කී කථාව සෝමලතාට එකවර මතකයට ආවාය. ඕ විලාප තබමින් ගුණදාස මැරි වැටි සිටි ස්ථානයට දිව ගියාය. ගුණදාසගේ නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වංගුවක් සහිත මාර්ගයේ ගුණදාස බිම වැටී සිටියේය.

"අනේ මගේ මහත්තයා මරලා" බිරිය කෑගසන්නට වූවාය. ගම්මුන්ද මෙම ස්ථානයට එක්රොක් වන්නට වූහ. ඒ වන විට මෙම සිද්ධිය පොලිසිටයද ආරංචිවී තිබිණි. ගුණදාසගේ මරණය සම්බන්ධ සැකය ඔහුගේ මිතුරා වෙත එල්ල වී තිබිණි.

පොලිස් නිලධාරින් සහ සොකෝ නිලධාරින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. පොලිසිය ගුණදාසගේ මළ සිරුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන එනු ලැබීය. පශ්චාත් මරණ පරික්ෂණය පවත්වනු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි පී.ඒ. කිරිඇල්ලය.

අළු පැහැති සරමකින් සහ සුදු පැහැති කමිසයකින් මියගිය පුද්ගලයා සැරසී සිටියේය. මොහුගේ නළලේ සෙන්ටිමිටර් 07ක් පමණ දිගින් යුත් හා අඩි 02ක පමණ පළලින් යුත් ඉරීම් තුවාලයක් දක්නට විය. පසුව අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය පුද්ගලයාගේ මළ සිරුර බාහිරව පරික්ෂා කළේය. මොහුගේ සිරුරේ එක් ස්ථානයක තිබු ටයර් පහරක් අධිකරණ වෛද්‍යවරයාගේ තියුණු පරික්ෂාවට ලක්විය. එය තැළීම් තුවාලයකි. සිරුරේ තැලීම් තුවාලයේ සටහන්ව තිබු ටයර් කට්ටවල දුර මැනීමට ද අධිකරණ වෛද්‍යවරයා කටයුතු කළේය.

පසුව අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය පුද්ගලයාගේ සිරුර අභ්‍යන්තරව පරීක්ෂා කළේය. ඔහුගේ ඉලඇට කැඩීගොස් තිබිණි. දකුණුපස අක්මාව ඉරී ගොස් තිබූ අතර අභ්‍යන්තරව රුධිරය වහනය වී තිබිණි. මොහුගේ සිරුර මතින් කුඩා ලොරි රථයක් ධාවනය වී ඇති බැව් අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. මොහු ඝාතනය කොට මෙම ස්ථානයට ගෙනවිත් දැම්මාද යන්න ඥාතින් තුළ සැකයක් ඇති විය. එම සැකයද අධිකරණ වෛද්‍යවරයා විසින් දුරු කොට දැමුවේය. මියගිය පුද්ගලයකුගේ සිරුරේ මෙවැනි වර්ගයේ තැලීම් තුවාලයක් ඇතිවිය නොහැකි බව අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණය විය. මෙවැනි තැලීම් තුවාල ඇති වන්නේ පණපිටින් සිටින අවස්ථාවකදී වූ අනතුරකින් බව අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය කරගනු ලැබීය.

“ඇත්තටම මේ පුද්ගලයා හැපිලා තියෙන්නේ කුඩා ලොරි රථයක බව තැළීම් තුවාලයේ තිබු ටයර් ‘මාක්‘ එක අනුව අනාවරණය කරගත්තා. ටයරයේ කට්ට රටාව අනුව ලොරි රථය වැඩිය උස වෙන්න බැහැ. මියගිය පුද්ගලයාගේ නළල තුවාල වෙලා තිබුණා. මොහු කුඩා ලොරි රථයේ හැපුණු විගස දඟලන්න ඇති. ඒ අවස්ථාවේ තමයි නළල තුවාල වන්නට ඇත්තේ. මියගිය තැනැත්තාගේ පාද දෙක තිබුණේ මාර්ගයෙන් පිටත“ බවද අධිකරණ වෛද්‍ය නිලධාරි පී.ඒ. කිරිඇල්ල කීවේය.

පසුව පොලිසිය විසින් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළේය. තේ දලු අදිනු ලබන කුඩා ලොරි රථයක හැපීමෙන් මොහු මියගොස් ඇති බව පොලිසිය විසින් අනාවරණය කර ගනු ලැබීය. මොහු ලොරි රථයේ හැපුණු විගස ලොරි රථය මඳ වේලාවක් එහි නතර කොට යළි ධාවනය කළේය. අනතුර සිදුකොට පලා ගිය ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්විය. අනතුරකින් වූ බහුවිධ තුවාල නිසා අක්මාවට ඉලඇටවලට හානි වීමෙන් මරණය වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළේය.

ත්‍රිකුණාමලය රෝහලේ

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි

පී. ඒ. කිරිඇල්ල ගේ අත්දැකිම් ඇසුරෙනි.

Comments