පිටරට ගංවතුර කළමනාකරණය මෙහෙමයි | Page 4 | සිළුමිණ

පිටරට ගංවතුර කළමනාකරණය මෙහෙමයි

 අධික වර්ෂාව, ගංවතුර වගේම එනිසා සිදුවන අවතැන් වීම් ශ්‍රී ලංකාවේ අපට මේ දවස්වල දැනෙන ගැටලු බව අමුතුවෙන් කිවයුතු නොවේ. පසුගිය වසරේ මැයි මාසයේදීත් මේ ගැටලුවලින් මේ අන්දමටම පීඩා විඳි අපි මේ වසරේදීත් ඒ ගැටලු නිසා ඒ විධියටම පීඩා විඳිමින් සිටින්නෙමු. එය බෙහෙවින්ම කණගාටුදායක තත්ත්වයකි. ගංවතුර නිසා සිදුවන ව්‍යයසන මැඩ පවත්වන්නට හැකි වාතාවරණයක් අපට ඇත්තේම නැත්දැයි කියා මේ අතර කෙනකුට සිතෙන්නට පුළුවන. අනෙක් අතට ගංවතුර ගැටලුව බලපාන ලොව එකම එක රට ශ්‍රී ලංකාවද නොවේ. එනිසා ගංවතුරෙන් සිදුවන හානි අවම කරගන්නට ලොව වෙනත් රටවල් අනුගමනය කරන විද්‍යානුකුල සහ සාර්ථක ක්‍රමවේදයන් මොනවාදැයි කියා කෙනකුට නොසිතුණහොත් එය පුදුමයකි.

විවිධ රටවලට විවිධ හේතු නිසා ගංවතුර තත්ත්ව ඇති වේ. ගංවතුර ඇතිවන්නට ප්‍රධානම හේතුව අධික වර්ෂාපතනය බව අපි දනිමු. එසේ වුවත් සමහර රටවලට ගංවතුර තත්ත්ව ඇතිවන්නේ හිම දියවීම නිසාය. ඒ හැරුණුවිට කුණාටු සුළං නිසා ඇතිවන මුහුදු වඩදිය බාදියත්, සුනාමි තත්ත්ව නිසාත් ගංවතුර ඇතිවේ. මේ කුමන ආකාරයකින් ගංවතුර ඇති වුවත් විපත්තීන් ඇතිවීම නොවැළැක්විය හැකිය. වේලි කඩා වැටීම, පිටාර ගැලීම නිසා වගා බිම්වල මඩ තැන්පත්වීම, ගොඩනැඟිලි, පාලම්, මෝටර් රථ, කාණු පද්ධති, මහා මාර්ග ආදිය කැඩී බිඳී යෑම, නාය යෑම් ඇතිවීම, ජල ගැලීම් නිසා හෝ නාය යෑම් නිසා හෝ මිනිස් ජීවිත අහිමි වීම, වසංගත රෝග බෝවීම ආදිය ඒ අතර ප්‍රධානය.

වර්ෂාපතනය නිසා ගංවතුර ඇතිවන රටවල් අතර ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, පාකිස්තානය, ඊජිප්තුව, අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, ආදී රටවල් රැසක් ඇත. ආසියාතික අපට චීනයේත්, බංගලිදේශයේත්, ඉන්දියාවේත් පාකිස්තානයේත් ගංවතුර තත්ත්ව වඩාත් හොඳින් දැනේ. සෑම වසරක් පාසාම වගේ ඒ රටවලට ගංවතුර බලපාන බවත් රහසක් නොවේ. ගංවතුර ඇතිවන මේ සෑම රටකම බලධාරීහු අවදානම අඩු කර ගැනීම සඳහා විවිධ පියවර ගනිති. එයින් සමහර පියවර ඒ ඒ රටවලට සාපේක්ෂව සාර්ථක පියවර බව කිවහැකිය. එනිසා එක් එක් රටක් ගංවතුර අවදානම අඩුකර ගැනීමට අනුගමනය කරන පියවර තවත් රටක් සම්බන්ධයෙන් සාර්ථක නොවන්නට පුළුවන. කොහොම වුණත් ගංවතුර නිසා පීඩාවට පත්වන සෑම රටක්ම ඒ තත්ත්වවලට පැමිණ තිබෙන්නේ වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා බව කිවහැකිය. වනාන්තර විනාශය අවම කිරීම තුළින් ගංවතුරේ දැඩි බව සහ ගංවතුරේ ප්‍රචණ්ඩ බව අවම කරගන්නට පුළුවන් බව විද්‍යාඥයෝ පවසති.

පෘථිවි පෘෂ්ඨයේ භූමි ප්‍රමාණයෙන් 30%ක් පමණ වනාන්තරය. ප්‍රමාණාත්මකව එය වර්ග කිලෝමීටර මිලියන 16ක් පමණ වේ. මේ වනාන්තර ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර මිලියන 2.3ක පමණ ප්‍රමාණයක් වසර 2000 – 2012 අතර කාල පරිච්ඡේදය තුළදී කපා හෙළනු ලැබූ බව වාර්තාවල සටහන්ව ඇත. මේ නිසා අද වනවිට දක්නට ලැබෙන්නේ පෘථිවිය මත පළමුව දක්නට ලැබුණු වනාන්තර ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර මිලියන 6.2ක පමණ වනාන්තර ප්‍රමාණයක් පමණි. එක ගසක අඩුවීම පවා ගංවතුර අවදානම ඇතිවම කෙරෙහි නොසෑහෙන ලෙස බලපාන බව විද්වතුන්ගේ මතයයි. එය සිදුවන්නේ කෙසේද?.

ශාකයක පත්‍ර මතට වැටෙන වැසි ජලය පත්‍ර මත රැඳී තිබීම ගංවතුර තත්ත්ව නිෂේධනය කිරීමට බලපාන කාරණයකි. පත්‍ර මත රැඳී තිබෙන වැසි ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වාෂ්ප වී වායුගෝලයට එකතුවීම හරහා එය සිදු වේ. වැසි ජලය ඍජුවම පොළොවට නොවැටී ශාක පත්‍ර මතට වැටී අනූක්‍රමයෙන් එය පොළොවට කාන්දු වීම වාසිදායක තත්ත්වයකි. එනිසා පස සෝදාගෙන යෑම අවම වේ. ශාක මුල්වලින් ජලය අවශෝෂණය කෙරේ. එනිසා පොළොවට ලැබෙන වැසි ජලයෙන් සැලකිය යුතු තරමේ ප්‍රමාණයක් ශාක අවශෝෂණය කර ගැනීමත් ගංවතුර කපා හරින්නට හොඳ උත්තරයකි. ශාක මුල් මඟින් ජලය අවශෝෂණය කෙරෙන නිසා ශාක අවට පස වියළි තත්ත්වයෙන් පවතී. වැසි කාලයේදී ලැබෙන ජලය ප්‍රශස්ත මට්ටමෙන් පසට අවශෝෂණය වන්නට එය හේතුවකි. ශාක මුල් නිසා පස තදින් බැඳ තැබේ. ගංවතුර තත්ත්ව පාලනය කර ගැනීමෙහිලා ගංගා කළමනාකරණය කර ගැනීම යන කාරණය සැලකිල්ලට ගත්විට ශාකවලින් ඊට ලැබෙන රුකුල ඉතාම වැදගත් බව විද්‍යාඥයන්ගේ මතයයි. අනෙක් අතට කඳු නාය යාම් අවම කර ගැනීමටත් කඳුකර ප්‍රදේශවල ශාක වැවීම තරම් හොඳ පිළිතුරක් තවත් නැති තරම්ය.

වන විනාශය ගංවතුර හානි ඇතිවම කෙරෙහි ඍජුව බලපාන බව පාකිස්තානය, චීනය වැනි රටවල උදාහරණ ඇසුරෙන් පැහැදිලි කර දෙන්නට පුළුවන. පාකිස්තානයට අයත් ස්වත් නිම්නයේ වනබද පෙදෙස් මහා පරිමාණ වශයෙන් විනාශ කළෝ තලේබාන් ත්‍රස්තයෝය. මේ නිසා ස්වත් නිම්නය ආශ්‍රිත පෙදෙසට අද බලපාන ගංවතුර තත්ත්ව මින් පෙර කිසිදාක දක්නට නොලැබුණ තරමේ ඒවාය. චීනයේ වන විනාශය ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ කාර්මිකකරණය සහ නාගරීකරණය හේතු කරගෙනය. වැඩිවන ජනගහනයට වාසස්ථාන, ආහාර පාන, රැකියා ආදී පහසුකම් සපයන්නට වැඩි භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ නිසා වනාන්තර එළිපෙහෙළි කර අවකාශය සලසා ගැනීම හැර වෙනත් විකල්පයක් නැත. එය ලෝකය පුරාම දැකිය හැකි ප්‍රවණතාවකි. කාම්බෝජය, නයිජීරියාව, තායිලන්තය, වියට්නාමය, ජපානය, මැලේසියාව, පිලිපීනය, බ්‍රසීලය, කොලොම්බියාව යනාදි රාජ්‍ය සම්බන්ධයෙන් සලකා බලන විට මේ තත්ත්වය සත්‍යකි. මේ කාරණා සැලකිල්ලට ගත් විට වසරක් පාසා ගංවතුරෙන් පීඩාවට පත් වන රාජ්‍යය අනිවාර්යයෙන්ම නැවත වන වගාව කෙරෙහි යොමු විය යුතුව ඇත.

ගංවතුර අවදානම සහිත රටවල් බොහෝවිට ඊට හේතු වන ගංඟා ඉතා හොඳින් කළමනාකරණය කරනු දකින්නට පුළුවන. එහිලා වඩාත් කැපී පෙනෙන්නේ ඉවුරු කඩා වැටීම් වැළැක්වීමට පියවරක් ලෙස ඉවුරු බැඳීමය. ඒ හැරුණු විට ජලාශ, ජල ටැංකි සහ අමුණු තැනීම ද කෙරේ. වේලි බැඳ ගංගා ජලය හරස් කරමින් ගංවතුර පාලනයට ගංඟා කළමණාකරණය කළ අවස්ථාත් ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි ජෙනෙසී ගඟ හරස් කරමින් බඳින ලද මවුන්ට් මොරිස් වේල්ල එහිදී කදිම උදාහරණයකි. සෙවන් ඕක්ස් වේල්ලද එවැනිම වේල්ලකි. එය ඉදිකර තිබෙන්නේ කැලිෆෝර්නියාවේ සැන්ටා ඇනා ගඟ හරස් කරමිනි.

ගංවතුර පාලන ඇළ මාර්ග ඉදිකිරීම, ගංවතුර පාලනයට ඇති තවත් විසඳුමකි. ගංවතුර තර්ජන ඇති නගරවලට පහළ මට්ටමෙන් මෙවැනි ඇළ මාර්ග තැනීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නකි. එවැනි ඇළ මාර්ග බොහෝවිට ඉදි කෙරෙන්නේ කොන්ක්‍රීට් යෙදීමෙනි. කැලිෆෝර්නියාවේ ටුජුංගා වොෂ් යන නමින් ඇති ගංවතුර පාලන ඇළ මාර්ගය ඊට දිය හැකි හොඳම නිදසුනකි. ගංවතුර පාලන මේ ඇළ මාර්ගය සැතපුම් 13ක් පමණ දිගැති එකක් බව දැක්වේ. ලොස් ඇන්ජලිස් ගංගාවේ ජලයෙන් පහෙන් එකක පමණ ජල ධාරිතාවක් ගලායන්නට සලස්වමින් මේ ඇළ මර්ගය තනා ඇත. මේ හැරුණු විට බටහිර කැන්ඩාවේ රෙඩ් රිවර් ගංවතුර මඟ, පිලිපීනයේ මැනිලා නුවර මැන්ගහාන් ගංවතුර මඟ යන ඇළ මාර්ගත් නිදසුන් හැටියට දක්වන්නට පුළුවන.

පිටාර තැනිතලා සැකසීම, භූගත ජලය නැවත ආරෝපණය කිරීම වැනි ක්‍රියාදාමත් ගංවතුර පාලනය සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි අනෙක් ක්‍රමවේදයන්ය. භූගත ජලය නැවත ආරෝපණය කිරීමේ ක්‍රමවේදය හරහා තැන්පත් කෙරෙන වැඩි ජලය, ජලය හිඟ කාලවලදී භාවිතයට ගන්නට හැකියාව ඇත. මේ ක්‍රමවේදය කැලිෆෝර්නියාවේ ඇතැම් ස්ථාන තුළ දැනට පාවිච්චියට ගැනෙන බව වාර්තා වේ. මේ හැරුණු විට ගංගා ආශ්‍රිතව ඇතිවන වැඩිපුර ජලය පාලනය කිරීමට ගං කණ්ඩි සැකසීම, ගංඟා ආශ්‍රිතව ජලාශ ඉඳිකිරීම ආදිය සිදු කෙරේ. මෙම ක්‍රම කිසියම් විධියකින් බිඳ වැටුණහොත් ඒ සඳහා වැලි පිරවූ බෑග හෝ සුළං පිරවූ නල භාවිතයට ගෙන ආරක්ෂාව සැලසීමේ උපාය මාර්ගත් අනුගමනය කෙරේ.

ගංවතුර නිසා ඇතිවන උපද්‍රවවලින් මහජනතාව මුදා ගැනීමට ගත හැකි පියවර රැසක්ද තිබේ. ඒ අතර ප්‍රධාන වන්නේ ගංවතුර ගැන මහජනයාට පූර්වයෙන් දැනුම්දිට හැකි යන්ත්‍රණයක් සැකසීමය. බලධාරීන් එවැනි යන්ත්‍රණයක් භාවිතයට ගන්නේ නම් මහජනතාවට අන්තරායකාරී ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත් වන්නට එය ආධාරයක් වේ. ගංවතුරෙන් හානි සිදුවන ප්‍රදේශවල ඉදිකරන නිවාස සහ ව්‍යාපාරික ස්ථාන විශේෂ සැලසුම් යටතේ ඉඳිකිරීම ඉතා වැදගත්ය. කොන්ක්‍රීට් කුලුනු යොදා ඒ මත නිවාස ඉදිකිරීම නිදසුනක් හැටියට දක්වන්නට පුළුවන. නිතර භූ කම්පනවලට මුහුණ දෙන ජපානයේ ඇතැම් ප්‍රදේශවල නිවාස තැනෙන්නේ එකී අන්තරායකාරී තත්ත්වයට සරිලන විධියටය. මේ අන්දමටම ගංවතුර තත්ත්ව ඇතිවන ස්ථානවල ඉදිකරන නිවාසවල විද්යුත් පරිපථ, විදුලිය බැහැරට කාන්දු නොවන අන්දමට සකසන්නටද පුළුවන. සාමාන්‍යයෙන් ගංවතුර එන ප්‍රදේශ මෙන්ම සාමාන්‍යයෙන් ගංවතුර එන මට්ටම ගැනද සලකා බලා ඒ ප්‍රදේශ සහ එකී මට්ටම් බැහැර කර ගොඩනැඟිලි තැනීම තවත් උපායකි. ගංවතුර පාලනය සම්බන්ධයෙන් කටයුතු කරන බොහෝ විද්වතුන් කියන්නේ ගංවතුරක් එනතුරු නොසිට හැමවිටම නරකම ගංවතුර තත්ත්වයට මුහුණදීමට සැරසී සිටින ලෙසයි. එය හුදෙක් නිෂේධනාත්මක සිතුවිල්ලක් නොව ඉදිරියේ ගංවතුරට මුහුණදීම සඳහා සකසනු ලබන හොඳම සැලසුම සැකසීමයි. විද්වතුන් එය දක්වන්නේ Hope for the best, but plan for the worst යනුවෙනි.

මංජුලා විජයරත්න

Comments