
සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීම සඳහා ස්වයංක්‍රීයව ධාවනය වන ඩ්‍රෝන යානා යොදාගන්නට ස්විට්සර්ලන්තය සැරසෙයි. රොබෝ ක්‍රියාකාරිත්වයක් සහිතවූත් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නාවූත් ඩ්‍රෝන යානා මේ සඳහා යොදාගන්නට එරට බලධාරීහු සැලසුම් කරති. සෞඛ්‍යය පහසුකම් සැපයීම සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානා යොදා ගැනෙන ලොව පළමු අවස්ථාව මෙය බව වාර්තාවල දැක්වේ.
මේ පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා යානය නවතා තැබිය හැකි මෙවලම් පද්ධතියක් සහිත නැවතුම් අංගනයක් අවශ්‍යය වේ. එය වර්ග අඩි හයක පමණ වපසරියක් වසා පැතිරෙන අඩි හතරක් පමණ උසැති මධ්‍යස්ථානයකි. මධ්‍යස්ථානය නම් කර තිබෙන්නේ මැටර්නෙට් මධ්‍යස්ථානය යන නමිනි. මධ්‍යස්ථානයේ නවතා තැබෙන යානය ගුවන් ගත කරවිය හැකි වන්නේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයකිනි. පාරවිලයනයකට අවශ්‍ය වන රුධිරය, පරික්ෂාවන්ට ලක් කළ යුතු රුධිරය, මල, මුත්‍රා සාම්පල වැනි දෑ යානය යොදාගෙන ප්‍රවාහනය කළ හැකිය. වරකට ප්‍රවාහනය කළ හැකි වන්නේ කිලෝ ග්‍රෑම් දෙකක - එනම් රාත්තල් 4.4ක බරකින් යුක්ත ද්‍රව්‍යය පමණි. ප්‍රවාහනය කළ යුතු දෑ, යානා නැවතුම් ස්ථානයක ඇති මංජුසාවක් හා සමාන මෙවලමක නොහොත් පෙට්ටියක ඇසිරිය යුතුය. එය රතු පැහැයෙන් යුත් එකකි. පෙට්ටිය යානය තුළ ස්ථාන ගත කෙරෙන්නේ ස්වයංක්‍රියව බව දැක්වේ. අනතුරුව යානයට ගමන් කිරීමට අවශ්‍ය දත්ත ලබාදීම සිදු කළ යුතුව ඇත. ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් එහිදී භාවිතයට ගැනේ.
මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් තුළදී ස්විට්සර්ලන්තයේ නාගරික සීමාවේ තිබෙන රෝහල් කරා ළඟා වන්නට මේ යානයකට හැකියාව ඇති බව දැක්වේ. යානයක් ගමන් ගන්නා මඟෙහි වෙනත් යානා ආදී අවහිරයන් වේ නම් එය යානයේ ධාවන කටයුතුවලට බාධාවකි. එම බාධක මඟ හරවා ගෙන යානයට ගමන් කිරීම සඳහා සංඥා ලබාදීමට අවශ්‍ය මෘදුකාංග පහසුකම, සියලුම ඩ්‍රෝන මධ්‍යස්ථානවල ඇත. යානය ගොඩබෑමකට ලක් කරන සෑම වාරයක් පාසා ම එහි ඇති බැටරිය ආරෝපණය කරන්නට (චාර්ජ් කරන්නට) සිදු වේ. යානය ගමන් ගන්නේ පැයට කිලෝමීටර 70ක (පැයට සැතපුම් 43.5ක) පමණ උපරිම වේගයකිනි. බැටරිය වරක් ආරෝපණය කළ විට කිලෝමීටර 20ක (සැතපුම් 12.4ක) පමණ දුරක් ගමන් කළ හැකිය.
ස්විට්සර්ලන්තය, මේ පහසුකම සිය රටේ සෞඛ්‍යය සේවාවන්ට එකතු කරගන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාහි ස්ථාපිත සමාගමක මූලිකත්වයෙනි. එය නමින් මැටර්නෙට් නමැති සමාගමකි. ස්වයංක්‍රිය ඩ්‍රෝන යානා ස්විට්සර්ලන්ත සෞඛ්‍යය පහසුකම් සමඟ ඈඳා ක්‍රියාත්මක කරමින් නුදුරු කාලයේදී අත්හදා බැලීම් කටයුතු සිදු කිරීමට මැටර්නෙට් සමාගම සැලසුම් කර ඇත. ලබන මාර්තු මාසය වනවිට එම පහසුකම ස්විට්සර්ලන්ත සෞඛ්‍ය සේවාවට ස්ථිරවම ඇතුළත් කර ගැනෙනු ඇති බව වාර්තා වේ. රුධිරයත්, පරික්ෂාවන්ට ලක් කළ යුතු සාම්පලත් ස්වයංක්‍රිය ඩ්‍රෝන යානා භාවිතයෙන් ප්‍රවාහන කිරීම එක්සත් රාජධානියටත්, ජර්මනියටත් අනතුරුව හඳුන්වා දෙන්නට මැටර්නෙට් සමාගම සැලසුම් කර තිබේ.