
කෘත්‍රිම බුද්ධිය එබ්බ වූ මෙවලම් හෙවත් රොබෝවරුන් නව නිර්මාණ ලෙස එළි දැක්වීම කලාවක් බවට දැන් පත්ව තිබේ. කෘත්‍රිම බුද්ධිය සහිතව එලෙස නිර්මාණය කෙරෙන කිසියම් මෙවලමක් මිනිසාට අනාගතයේදී තර්ජනයක් විය හැකිද? මේ පැනයට නිශ්චිත පිළිතුරක් තවමත් නැත. රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් මොස්කව් නුවර පිහිටි යැන්ඩෙක්ස් තාක්ෂණ ආයතනයෙහි සංචාරයක යෙදෙමින් එකී ආයතනයේ ප්‍රධානි ආර්කැඩි වොලෂ්ගෙන් මේ ගැන පසුගිය දා විමසා සිටියේය. කෘත්‍රිම බුද්ධිය සහිත මෙවලම් නිර්මාණය කිරීමෙහි පුරෝගාමී සමාගමක් ලෙස රුසියාවේ යැන්ඩෙක්ස් තාක්ෂණ ආයතනය හඳුන්වන්නට පුළුවන. සංචාරයේදී, යැන්ඩෙක්ස් තාක්ෂණ ආයතන ප්‍රධානියා සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුරදී ජනාධිපතිවරයා ඍජුවම ප්‍රශ්න කර තිබෙන්නේ, තාක්ෂණය දිනෙක අප සියල්ලන්ම කා දමන්නේදැයි යනුවෙනි.
“... මම හිතන්නේ එවැන්නක් සිදු වන එකක් නෑ” ආර්කැඩි වොලෂ්, ජනාධිපතිවරයාගේ ගැටලුවට පිළිතුරක් ලබාදෙමින් ප්‍රකාශ කර තිබේ. උදාහරණයක් ගෙන හැර පාමින් ආර්කැඩි වොලෂ් මෙය තවදුරටත් විස්තර කර තිබුණු බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඒ අනුව ආර්කැඩි වොලෂ් පෙන්වා දී තිබුණේ සවල් ආදී උපකරණ භාවිතයට ගෙන මිනිසුන් පොළොව කණිනවාට වඩා හොඳින් පොළොව හෑරීමේ යන්ත්‍රයක් හාවිතයට ගෙන එම කාර්යය කර ගත හැකි නොවේද යන්නයි. “... ඒ වුණත් පොළොව කණින යන්ත්‍ර අපව කා දමන්නට එන්නේ නැහැනේ ?..” යනුවෙන් ද ආයතන ප්‍රධානියා ජනාධිපතිවරයාට පවසා තිබිණ. රුසියා ජනාධිපතිවරයා ආර්කැඩි වොලෂ්ගේ පිළිතුරෙන් සහ උදාහරණ ගෙන හැර දැක්වීමෙන් සෑහීමකට පත් වුණු ආකාරයක් දැකිය නොහැකි වූ බව රුසියාවේ රාජ්‍ය මාධ්‍යය ආයතනයක් වන “රෂියා ටුඩේ” විකාශය කළ පුවතකින් ඇඟවුණේය.
මෙයට දෙමසකට පමණ ඉහතදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසා තිබුණේ කෘත්‍රිම බුද්ධි සහිත තාක්ෂණය රුසියාවේ පමණක් නොව මනුෂ්‍ය සංහතියේම අනාගතය තීරණය කරනු ඇති බවකි. එසේ වුවත් එම තාක්ෂණයට අසීමිත අවස්ථාවක් හිමිව තිබීම භයානක තර්ජනයක් ඇති කරන්නක් බවත් එලෙස ඇතිවන තර්ජන කවරේද යන්න අනුමාන කිරීම පවා බෙහෙවින් අසීරු බවත් ජනාධිපතිවරයා එවර ප්‍රකාශ කර තිබිණ. කෘත්‍රිම බුද්ධිය සහිත උපකරණ නිර්මාණය කිරීම, අත්හදා බැලීම සහ නිෂ්පාදනය කිරීම යන ක්ෂේත්‍ර තුළ නායකත්වය ගන්නේ කවරෙකුද, හෙතෙම ලෝකය පාලනය කරන්නා බවට දිනෙක පත්වනු ඇති බව රුසියා ජනාධිපතිවරයාගේ අදහසයි. මේ නිසා එකී විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රුසියාව අත්පත් කරගන්නා දැනුම් සම්භාරය, අනාගත ලෝකයට තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය නොකළ යුතු බවත් ව්ලැද්මියර් පුටින් එවර පවසා තිබිණ.
කෘත්‍රිම බුද්ධිය දිගින් දිගටම වර්ධනය කිරීම අශුභවාදී දෘෂ්ටියකින් විග්‍රහ කරන පිරිස්, අද බටහිර රටවල පවා සුලබ වී තිබේ. තාක්ෂණය ආශ්‍රය කරගත් කටයුතු ව්‍යාපාරික මට්ටමට රැගෙන ආ බිලියනපතියකු වන එලන් මස්ක් කියා සිටින්නේ කෘත්‍රිම බුද්ධිය සහිත මෙවලම් (රොබෝවරුන්) දිනෙක මිනිසාට එරෙහිව අත ඔසවනු ඇති බවකි. එවැනි අදහස් සමඟ සැසඳෙන පුටින්ගේ ප්‍රකාශය අනාගත ලෝකයේ ඉරණම ගැන තවත් පැහැදිලි කිරීමක්දැයි කියා නොසිතා සිටීමට නොහැකිය.
මංජුලා විජයරත්න