
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය, මෙක් එක්ස් (Mech X) 2018 වාර්ෂික ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වූයේය. අවසන් වසරේ ඉංජිනේරු සිසු සිසුවියන් වාර්ෂිකව මේ ව්‍යාපෘතිය සිදුකරන්නේ ඔවුන්ගේ උපාධි සම්පුර්ණ කිරීමට අවශ්‍ය කුසලතා ඇගැයීම් වෙනුවෙනි. එකසිය තුන් දෙනකු විසින් ව්‍යාපෘති තිස් තුනක් ඉදිරිපත් කර තිබිණි. එක් කණ්ඩායමකට තිදෙනෙක් හෝ සිවු දෙනෙකි.
ආචාර්ය රුවන් ගෝපුර මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ප්‍රධානියාය. ඔහු මේ ප්‍රදර්ශනය සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
“මොරටුව විශ්වවිද්‍යාලය ප්‍රසිද්ධ ඉංජිනේරු පීඨයන් හේතුවෙන්. ඉංජිනේරු තාක්ෂණයට පමණක් ප්‍රසිද්ධියක් ඇති මොරටුව විශ්වවිද්‍යාලය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබු අයගේ පළමු තේරීමයි. එය ජාතික වශයෙන් ලැබූ ජයග්‍රහණයක්. නමුත් අද අපට විශ්වවිද්‍යාලයක් ලෙස ජාත්‍යන්තරය ජය ගැනීමේ අවශ්‍යතාව තදින් දැනෙනවා. බොහෝ අයගේ මැවිසිල්ලක් තිබෙනවා මොරටුව ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන්ට සීමා වූවක් ලෙස. එය වැරදි මතයක්. මම යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ඉහළම තනතුරට පත් වූයේ ගමේ පාසලක සිට මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත් වූ නිසයි. ජාතික වශයෙන් ඉහළම ස්ථානයක අපි වැජඹුනත් ජාත්‍යන්තරය ජය ගැනීම සඳහා තවත් විවිධ වූ අධ්‍යාපන පීඨ කිහිපයක් පවත්වාගෙන යෑම අවශ්‍යමයි. කලාව, ව්‍යාපාරික මෙන්ම වෛද්‍ය පීඨයන් ලඟදීම ආරම්භ කිරීමට කටයුතු කරනවා. දැනටමත් වාණිජ විෂයට සම්බන්ධ කාලීන විෂය මාලවන්ට අදාළ ඉගැන්වීම් කෙරෙනවා.වෛද්‍ය පීඨයක් ආරම්භ කිරිම සඳහා සම්මත වී තිබෙනවා. සියලුම විෂය මාලාවන් ආවරණය වන පරිදි විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක විමෙන් අංගසම්පුර්ණත්වයකට පත්වෙනවා. ඒ අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතර පවතින ස්ථානය (Rank) ඉහළ අගයක් ලබා ගැනීමට හැකි වෙනවා. එමගින් ඉහළ ප්‍රමිතිය සහතික වනවා මෙන්ම ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිබිදීමකට ලක්වී ජාත්‍යන්තර තරගකාරිත්වයට මුහුණ දීමට හැකි වනවා. ජාතික වශයෙන් අපට තරගකාරීත්වයක් අවශ්‍ය නැහැ. ලංකාවේ පවතින සියලුම විශ්වවිද්‍යාල ඉතා උසස් තත්ත්වයෙන් පවතිනවා. අධ්‍යාපනඥයන් ගැන විශ්වාසය උපරිමයි. සෑම අධ්‍යාපනඥයෙක්ම තමන්ගේ අංශයන් ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යෑමට වෙහෙසෙනවා. අධ්‍යාපනය ලබන සිසුන්ගේ උනන්දුව හා ඉලක්කගත අරමුණු සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් මෙන්ම අධාර විශ්වවිද්‍යාලවලින් ලබා දෙනවා. මොරටුව විශ්වවිද්‍යාලය අවසන් වසර ව්‍යාපෘති සඳහා මුල්‍ය ආධාර, ද්‍රව්‍යමය ආධාර මෙන්ම උපදෙස් ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කරනවා.
රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන් විවිධ කණ්ඩායම් වෙත නැඹුරු වීම සහ දේශපාලනය කරට ගැනීම මත අධ්‍යාපනයට බාධා සිදුවන්නේ නැද්ද? යන ප්‍රශ්නයට ගෝපුර මහතා ප්‍රතිචාර දැක්වූයේ මේ ආකාරයටය.
“විශ්වවිද්‍යාලවල විවිධ කණ්ඩායම් මෙන්ම කලාව, දේශපාලනය, ආගමික, මෙන්ම සංස්කෘතික හා ක්‍රීඩා අංගයන් පවතිනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී පාසල්වල විෂය මාලා සංවර්ධනය මෙන්ම විවිධ මාවත් වෙතින් ඔවුන්ගේ පෞරුෂත්වය ගොඩ නැගීම සිදු වෙනවා. මේවා අතරින් බහුතරය ධනාත්මකයි. එහෙත් ඇතැම් එ්වා දරුවන් නරකට ද යොමු කරනවා. යහපත් පුරවැසියෙකු වීමට, ජාතියට සේවාවක් සිදු කිරීමට පළමුව අධ්‍යාපනය සහ දෙවනුව විවිධ ක්‍රියාකාරකම් වෙනුවෙන් සිත් යොමු කරන්නේ නම් උගතුන් වශයෙන් සාර්ථකත්වයක් අත් කර ගැනීමට පුළුවනි. දෙමාපියන්ගේ සිහින බොඳ නොකිරිමට අවබෝධය ශිෂ්‍ය පරම්පරාව ලබාගත යුතුයි, මන්ද ලංකාවේ පවතින්නේ තරගකාරි අධ්‍යාපනයක්. විශ්වවිද්‍යාලවලට තේරෙන්නේ අල්ප ප්‍රමාණයක් නිසා. ජාතික ධනය විශාල වශයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙතට බැර වෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත නැඹුරුවන්නන් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. බොහෝ අය විදෙස් ගත වෙනවා. සමහරු ලංකාවේ විදෙස් විශ්වවිද්‍යාල වෙත යොමු වෙනවා. ඒ අය තමන්ගේ ඉලක්ක වෙත යොමු වීම අපට වළක්වන්න බැහැ. පාසල් අධ්‍යාපනයේදීම තමන් හඹායන ඉලක්ක සහ අරමුණු පිළිබඳව සිසුන් දැනුවත් කිරිම් සිදු කිරීම අවශ්‍යමයි. නමුත් විශ්වවිද්‍යාලවල සිදුකෙරෙන ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීම අනුමත කරන්න බැහැ. එය අවම කර ගැනීමට මාර්ගෝපදේශනයක් දිය හැකියි. එය ඔවුන්ගේ අයිතියක්.."
ප්‍රදර්ශනයට එක්ව සිටි ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉදිිරිපත් කර ඇති ව්‍යාපෘති විස්තරාත්මකව නරඹන්නන්ට පැහැදිලි කිරීමට සූදානමින් සිටියහ. යාන්ත්‍රික ඉංජිනේරු විෂය වෙනුවෙන් සකසු මෙවලම් කිහිපයක් අතරින් පළමුව විස්තර ලබාගැනීමට යොමු වූයේ Bio Medical ආශ්‍රිතව Compatible Joint Robotic Ankle Exoskeleton නමින් හැදින්වෙන ව්‍යාපෘතියක් ඉදිරිපත් කර තිබූ කණ්ඩායම වෙතය. ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුණේ ඇවිදීමට අපහසුතාවන් ඇති සහ වයසක, වැඩිහිටි අයගේ පාද වළලුකර ආබාධිතයින්ට සහායකයක් ලෙස ඇවිදීම ක්‍රමවත් කළහැකි සහාය උපකරණයකි. අවශ්‍ය නම් මේ උපකරණය යොදා ගනිමින් පියගැට පෙළ නැගීම සහ බැසීම කිසිදු ආයාසයක් නොමැතිව සිදු කල හැකිය. ස්නායු සහ මාංශ පේශින් අක්‍රිය වීම නිසා සිදුවන ආසාදන හේතුවෙන් පාදයේ වළලුකර අක්‍රිය වීම හේතුවෙන් මතුවන ගැටලු නිරාකරණය කිරිමට මේ උපකරණය පාදයට එක් කිරිමෙන් පහසුවේ. මේ ඇමුණුම් උපකරණය මගින් කකුලේ චලන ස්වභාවය නිවැරදි කර පහසුවෙන් ඇවිදීමට හැකියාව ලබාදෙයි. මෙය අමාශි වීරසිංහ, කේසර විතානගේ, කසුන් හර්ෂණ යන අයගේ නිපැයුමකි.
අමාශි වීරසිංහ මෙනවිය අප සමග මෙසේ අදහස් දක්වා සිටියාය. "මේ උපකරණය නිපදවීමට රුපියල් එක්ලක්ෂ හැටදාහක පමණ මුදලක් වැය වුණා. විද්යුත් පද්ධතිය සඳහා මයික්‍රෝ කොන්ට්‍රෝල් ජංගම ක්‍රියාකාරි විදුලි මෙවලමක් වෙනුවෙන් මුදලක් වියදම් කළා, ෆයිබර් සහ ලෝහ ආශ්‍රිත නිමැවුම් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික උපකරණ අංශයෙන් ලබා දෙමින් අනුග්‍රහය දැක්වූවා. ක්‍රියාවලිය සාර්ථකයි. මේ ක්‍රියාවලිය දියුණු කර නිශ්පාදනයක් කරන්නේ නම් අපිට සහයෝගය නොමිලයේ දෙන්න පුළුවනි."
මොළයේ ක්‍රියාකාරිත්වය ඇති එහෙත් ශරිරයේ අනෙකුත් අවයව අක්‍රිය කොටින්ම කියනවා නම් අංශභාග රෝගය වඩාත් දරුණු ලෙස පවතින රෝගීන් වෙනුවෙන් නිර්මාණය කළ, ගමන් කළ හැකි රෝද පුටුවක්ද ප්‍රදර්ශනයට ඉදිරිපත් කරතිබුණි. එය හඳුන්වා තිබුණේ BMI හෙවත් Brain Machine Interface යනුවෙනි. නිවෙසේ වෙසෙන රෝගී අයකුට එහාමෙහා ගමන් කිරිමට කදිමය. මෙහි අසුන්ගෙන සිටින ආබාධිත පුද්ගලයාගේ සිතුවිල්ලක් මත පියවි ඇසෙන් නිකුත් කෙරෙන සංඥාවන් මගින් ආසනයේ සවි කර ඇති මොනිටරය මගින් රෝද පුටුව ක්‍රියාත්මක වේ. ඒ අනුව සමහර දෛනික අවශ්‍යතාවන් සිදු කරගැනීමට හැකියාවක් මේ පුටුව මත සිටින ආබාධිත පුද්ගලයාට ලැබේ. මේ උපකරණය ගොඩ නැගීම සඳහා ඉංජිනේරු ශිෂ්‍යයන් වන හෂාන් ප්‍රබුදිත, කේ.පී. නිතින සහන්, ඉදුවර මුණසිංහ යන අය එක්ව ක්‍රියා කර තිබේ. මේ විදුලි පුටුවේ ක්‍රියාකාරිත්වය විස්තර කලේ ඉංජිනේරු ශිෂ්‍ය යෂාන් විසිනි. ඔහු කියා සිටියේ නිවසේ හුදකලා වු අයට මේ පුටුව වැදගත් වන බවයි. ක්‍රියාත්මක වීමේ දී පුටුව ගමන් කරන්නේ දුර මීටරයෙන් මීටරය දක්වා වන ආකාරයට බවත්ය. එය රෝගියාගේ ආරක්ෂාව මෙන්ම අවශ්‍යතා පියවරෙන් පියවරට සිදු කර ගැනීමට පහසුවක්ද වන බවය.
කෘෂිකර්මය පිළිබඳ දැනුමක් නොමැති ඕනෑම අයකුට ගෘහස්ථ හෝ එළිමහන් වගාවක් ආරම්භ කිරිමට හැකියාව ලබා දෙන නුතන පරිසර පද්ධතියක්ද ප්‍රදර්ශනයේ විය. ඒ සඳහා නිවෙසේ ඉඩ ඇති තැනක් හෝ ගෙවත්තේ යම් ඉඩකඩක් මේ සඳහා යෝග්‍යය. මේ ව්‍යාපෘතිය උමේෂ් සාරංග, සිකීර වීරතුංග, නදිත් ලලින්ද යන ඉංජිනේරු ශිෂ්‍යයන්ගේ නිර්මාණයකි. උමේෂ් සාරංග ව්‍යාපෘතිය සම්බන්ධ විස්තර ඉදිරිපත් කළේය.
"වැස්ස හෝ සෙසු කාලගුණය මේ ව්‍යාපෘතියට අදාළ වන්නේ නැහැ. අවශ්‍යතාව මත ස්වයංක්‍රීයව උෂ්ණත්වය, ජල සැපැයුම සහ පොහොර යෙදීම පාලනය කළ හැකියි. අවශ්‍ය නම් ආලෝකය පවා කෘත්‍රීමව ලබා දීමේ හැකියාව තිබෙනවා. සිසුන්ට මෙය නිර්මාණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් Data base සඳහා උපදෙස් දුන්නා. මේ අනුව නිවසක් තුල වුවත් ඕනෑම පලදාවක් ලැබෙන හෝ කොළ එළවළු වගා කරන්න පුළුවනි. මහල් නිවාස හෝ හිරු එළිය නොමැති ඕනෑම ස්ථානයක වගාව සිදු කරන්න හැකියි. මේ ගෘහය නිමවන්න අවශ්‍ය රේල්න්ස් ඇමරිකාවෙන් ආනයනය කරන්න සිදුවුණා. දේශියව මිල දී ගැනීමට නොහැකියි. නමුත් අමුද්‍රව්‍ය උපකරණ එතරම් මිල නැහැ. තමන් කැමති බීජ ස්වයංක්‍රීයව සිටුවීමත් වල්පැළෑටි නිරික්ෂණය වුවහොත් ඒවා පස් යට කර විනාශ කරන්න හැකියාව තිබෙනවා. සවිකර ඇති කැමරා පද්ධතියේ රුපමය කොටස් ජංගම දූරකතනය වෙතින් බලා ගන්නටත් පුළුවන්."
විද්‍යාව සහ තාක්ෂණය මූලික සිද්ධාන්ත ලෙස යොදාගනිමින් ශ්‍රී ලාංකීය ඉංජිනේරු ශිෂ්‍ය ප්‍රජාව සිය උපාධිය සඳහා කොතරම් ව්‍යාපෘති සිදු කරන්නේද, නව නිපැයුම් බිහි කරන්නේද යන්නට මේ ප්‍රදර්ශනය සාක්ෂියක් විය . මෙවැනි ව්‍යාපෘති ශ්‍රි ලංකාවේ සංවර්ධනයට බෙහෙවින් උපකාර වේ. මේවා ඇතැම්විට විදේශ විනිමය ඉතිරි කිරීමට සහය වේ. තවත් පැතිකඩකින් බැලූවහොත් විශාල ලෙස විදේශ විනිමය උපැයීමට පවා පුළුවන. ඉන්දියාව වැනි රටක විශ්වවිද්‍යාල සිසුන්ගේ නිර්මාණ මිලදී ගැනීමටත් ඒවා නිර්මාණය කරන්නන් වෙත රැකියා අවස්ථා ලබා දීමටත් ව්‍යාපාරික ප්‍රජාව විමසිලිමත් වේ. මෙවැනි ව්‍යාපෘති ප්‍රදර්ශන පැවැත්වීමේදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරිමද යෝග්‍යය වේ. තරුණ ජවය තුලින් රටේ නිශ්පාදන ක්‍රියාවලියට දායකත්වය ලබා ගැනීම මෙන්ම එමගින් තරුණ තරුණියන්ගේ අනාගතය ජයගැනීමට සුදුසු ක්‍රමවේදයක් සැකසීමද විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදු විය යුතු අතර ඒ සඳහා ආයතනයක් වහාම බිහිවිය යුතු වන්නේය. මාධ්‍ය ආයතනයක් ලෙස අපට හඩගා කිවහැක්කේ එපමණකි.
අනිල් ලසත් පෙරේරා