'මමි' රහස් සෙවීමට නව උපකරණයක් | සිළුමිණ

'මමි' රහස් සෙවීමට නව උපකරණයක්

 පුරාණ ඊජිප්තුවේ පිරමීඩ පිළිබඳ ගවේශනයේ යෙදුණු හොවාර්ඩ් කාටර් ඇතුළු පර්යේෂක කණ්ඩායම තුතන්කාමන්ගේ සොහොන් ගැබ විවෘත කිරීම ඔවුන් ශාපයට ලක්වීමට කාරණයක් වූ බවට මතයක් ඇතිවිය. ඒ කෙසේවුවද ඊජිප්තු මමි පිළිබඳ අගනා තොරතුරු සමුදායක් ඉන් නිරාවරණ කෙරිණි.

එවක් පටන් දශක ගණනාවක් ගතවී ඇතත් ඊජිප්තු මමිවල අබිරහස් සොයා යෑමේ කුතුහලය පුරාවිද්‍යාඥයන්ගෙන් ගිලිහී නොමැත. තවදුරටත් ඒවා පර්යේෂණයට ලක් කෙරෙමින් පවතී. මින් පෙරද එම අධ්‍යයන සඳහා ස්කෑන් තාක්ෂණය උපයෝගී කර ගැණිනි. එම පර්යේෂණ තවදුරටත් ඉදිරියට ගෙනයමින් මමිවල අභ්‍යන්තරය ගවේශණය කිරීම සඳහා නව උපකරණයක් හඳුන්වා දීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. එය අධි ශක්ති අංශුමය ඇක්සලරේටයකි.

පර්යේෂණය සඳහා යොදාගත් 'හ්බාඩ්' මමිය ඊජිප්තු දැරියකගේය. වයස අවුරුදු පහක් පමණ වෙතැයි පැවසෙන ඇය ක්‍රි.පූ. පළමුවැනි සියවසේදී මියගොස් ඇත. නයිල් නදියේ බටහිර මිටියාවතේ කෘෂිකාර්මික ප්‍රජාවට අයත්ව සිටි ඇය මියයන්ට ඇත්තේ වසූරියට හෝ මැලේරියාවට ගොදුරුවීමෙන් බව අනුමාන කෙරේ.

පර්යේෂකයන් මේ මමිය එය තැන්පත් කර තිබූ නෝර්ත්වෙස්ටන් සරසවියේ ගැරන් ඉවැන්ජලික දේවධර්ම සෙමනේරියෙන් තාවකාලිකව ඉවත් කළහ. එය රැගෙන ආවේ ආගන් ජාතික පර්යේෂණාගාරයටය. එය චිකාගෝ නුවරින් බැහැර‍ පිහිටි පර්යේෂණාගාරයකි. එහිදී මමියට කිසිදු හානියක් සිදු නොකොට X කිරණ භාවිත කරමින් ඉහළ මට්ටමේ පර්යේෂණ කළ හැකි විය. මීට පෙරද විද්‍යාඥයෝ X කිරණ මෙවැනි කාර්යය සඳහා භාවිත කළහ. 2016 වසරේදී වාර්තාවූයේ මිනී පෙට්ටියක් තුළ බහා තිබූ මමියක ඇතුළත වූ පුරාණ ලියවිල්ලක් විද්‍යාඥයන් X කිරණ භාවිත කරමින් කියැවීමට ලක්කළ බවය. එලෙසම ස්කෑන් පරීක්ෂාවන්ද මේ පර්යේෂණවලදී යොදා ගත හැකි විය. ‍

කෙසේවුවද අධිශක්ති අංශුමය ඇක්සලරේටයක් මෙවැනි කාර්යයක් සඳහා භාවිත කළ පළමු අවස්ථාව මෙය වේ. වෛද්‍ය හෝ විද්‍යාත්මක පර්යේෂණයක් වෙනුවට භෞතික විද්‍යාව පදනම් කර ගත් පර්යේෂණයක් යොදා ගනිමින් මමියක අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීම මෙමගින් සිදු විය.

ආගන් ජාතික පර්යේෂණාගාර වාර්තා දක්වන පරිදි මමියේ බර රාත්තල් පනහක් පමණ වේ. එය තනිකරම දැරියගේ බර නොවේ. මමියේ සෙසු කොටස්ද සමග බරය. මෙහිදී නිරීක්ෂණය වූ ඇයගේ හිස් කබල අභ්‍යන්තරයේ ඇති වස්තුව කුමක්ද යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට පැහැදිලි අදහසක් නොවීය. දැරියගේ සිරුරත් සමග තැන්පත් කර තිබූ විවිධ දෑ හඳුනා ගැනීමට X කිරණ උපයෝගී කර ගැනිණි. තාර වැනි ද්‍රව්‍යකින් නිමැවූ වළං කැබැල්ලක් ඇයගේ හිස් කබල තුළ තැන්පත් කර ඇති බව එහිදී ඔවුන්ට නිරීක්ෂණය කළ හැකි විය. එය වීදුරු බඳුනක කොටසක් නොවන බව තහවුරු විය. මමිකරණයේදී මොළය ඉවත්කරනවිට ඒ වෙනුවට මෙය තැන්පත් කර තිබේ. ඇයගේ දත් අතර තිබී ස්වභාවය හරි හැටි නොදන්නා දේ ද හමුවිය. කුස තුළින් ආවරණය කර තිබූ අබිරහස් වස්තුවක් හඳුනාගැනීමට ද ඔවුහු සමත් වූහ. දැනට තමන්ට කළ හැකි වන්නේ CT ස්කෑනරය ආධාරයෙන් එහි හැඩය නිර්ණය කිරීම පමණක් බව ඔවුන්ගේ අදහස විය. එය ගල් කැබැල්ලක් විය හැකි බවට අනුමාන කළ හැකි වුවද නිශ්චිතව තහවුරු කළ නොහැකි විය.

නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලය පවසන පරිදි මමියක අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීම සඳහා අධිශක්ති අංශුමය ඇක්සලරේටයක් භාවිත කළ පළමු අවස්ථාව මෙය වේ.

හ්බාඩ් මමියේ විශේෂත්වයක්ද තිබේ. එහි මුහුණු පෙදෙස මුහුණක සිතුවමක් මඟින් ආවරණය වී තිබීම එහි විශේෂත්වයයි. එය ලී පුවරුවක් මත සිත්තම් කර තිබේ. මමි පිළිබඳ ප්‍රසිද්ධ එක් කාරණයක් නම් ඒවායේ මුහුණු පෙදෙස මූර්තියක් ලෙස නිර්මාණය කර තිබීමය. එහෙත් මෙහිදී ඒ වෙනුවට රූ සටහනක් පමණක් උපයෝගී කරගෙන ඇත. ඉන් තවත් කාරණයක් පැහැදිලි වේ. එනම් එය කිසිලෙසකින් හෝ විවෘත නොකළ මමියක් බවය. යම් විවෘත කිරීමක් සිදුව තිබිණි නම් එමගින් මුහුණු සිතුවමට හානි සිදුවීම වැළැක්විය නොහැකිය. එබැවින් එය එක්තරා මුද්‍රා තැබීමක් ලෙසද සැලකිය හැකි වේ. එය මෙම පර්යේෂකයන්ගේ දැඩි අවධණායට ලක්වූ කාරණයක් විය.

"මමි කලාවේ තාක්ෂණික පැත්ත විමසීමට භෞතික විද්‍යාව යොදා ගැනීම මෙහිදී අපේ ප්‍රධාන අභිලාශය වුණා. මෙහිදී මේ කලාකරුවන්ගේ මනස ක්‍රියාකර ඇති ආකාරය වටහා ගැනීමට අපට පුළුවන්කමක් ලැබෙනවා. ඔවුහු ඇතැම් අමුද්‍රව්‍ය යොදා ගන්නේ ඇයි? මෙහි ස්වරූපය තීරණය කළේ කොහොමද? වැනි ප්‍රශ්න ගණනාවකට මෙහිදී පිළිතුරු සොයා ගැනීමට පුළුවන්. ඒ ඔස්සේ ඉතිහාසය අලුතෙන් ලිවීමට පවා හැකිවේ යැයි අප විශ්වාස කරනවා." යනුවෙන් මේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු ද වන ද්‍රව්‍ය විද්‍යාඥ මාර්ක් වෝල්ටන් පවසයි.

ධම්මික සෙනෙවිරත්න

Comments