
පසුගිය බදාදා තඹුත්තේගම දී උද්ඝෝෂණයේ යෙදුණු ගොවීන් පිරිසකට පොලිස් ප්‍රහාරයක් එල්ල විය. උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වූයේ රාජාංගණය වැවේ ජලය යොදාගෙන සිදු කිරීමට යෝජිත ජල ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස ය. මේ කලබගෑනියත් සමග පානීය ජලය සම්බන්ධයෙන් වන සමාජ අවධානය යළිත් ඇති විය. ඊට හේතුව වන්නේ පානිය ජලය විශාල වශයෙන් හිඟවෙමින් පැවතීමයි.
දැනට වසර දහයක පමණ කාලයක පටන් ක්‍රමිකව ඇතිවෙමින් පවතින කාලගුණ වෙනස ලෝක පරිමාණයෙන් සිදුවන්නකි. එහෙත් ජල පෝෂක තෘප්ත කිරීමට සමත් වර්ෂාවක් පතනය වුවද කෙටි කාලයක් තුළ විශාල ජල පරිමාවක් ඇද වැටීමත් පසුව නියං සමයක් උදාවීමත් නිසා මතුපිට හා පොලොව අභ්‍යන්තරයේ රැදෙන ජල ප්‍රමාණය අවම වේ. ඒ නිසා පානිය ජලය හිඟවෙමින් පැවතීම බරපතළ ප්‍රශ්නයකි.
දකුණේ කැලණි, කළු, ගිං හා නිල්වලා යන ගංගාවල විශාල ජල ධාරිතාවක් ප්‍රයෝජනයකින් තොරව මුහුදට ගලා යයි. එහෙත් වියළි කලාපයේ විශාල ජල හිඟයක් පවතී. එහි ඇති ජලය ද එකතු කළ අගය මත මිල කළ යුතු ජලය වේ. එනිසා දකුණේ විශාල ජලයක් නිකරුනේ මුහුදට ගලා යද්දී වියළි කලාපයේ වෙළෙඳපොළ වටිනාකමක් සහිත ජලය පවා හිඟව පවතී.
ජල කළමනාකරණය සම්බන්ධයෙන් විශිෂ්ට දැනුමක් අතීත සිංහලයාට තිබුණි. එහෙත් ඒ දැනුම ගොඩනැගුනේ තිරසාරභාවය හා පරිසර පද්ධතියේම පෝෂණය මත ය. ඒ දැනුම අවලංගු කර බටහිරින් ගෙනා අලුත් දැනුමට අනුව රජයට උපදෙස් දෙන්නට විදෙස් ආයතන පවා බිහි විය. අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය ශ්‍රී ලංකාවේ බිහි වූයේ ඒ අනුව ය. එය මුලින්ම මෙහි ආවේ අසූවේ දශකයේ මැද භාගයේ දී ය.
අවස්ථා කිහිපයක දී ම පුළුල් ලෙස උත්සාහ කර බලා ජල කළමනාකරණ ප්‍රතිපත්තියක් සකස් කරන්නට එම ආයතනය සමත් විය. පසුව එය ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කෙරිණි. වසර 2000 වන විට ශ්‍රී ලංකා රජය මහන්සි වූයේ එම ජල කළමනාකරණ ප්‍රතිපත්තිය හා යාන්ත්‍රණයට අනුව කටයුතු සිදු කිරීමට ය. ජලය රජයේ දේපළක් ලෙස සලකන්නට එමගින් බල කෙරුණි. එහෙත් ජලය ස්වාභාවික සම්පතක් නිසා එය මහජන දෙපළකි. මහජන දේපළ විකිණිය නොහැක.
එහෙත් එකතු කළ වටිනාකමක් සහිත ඕනෑම භාණ්ඩයකට වෙළෙඳපොළ මිලක් පවතී. ඒ අනුව එකතු කළ වටිනාකමක් සහිත ජලයට ද වෙළෙඳපොළ තුළ වටිනාකමක් ඇත. වියළි කලාපයේ වාරි කළමනාකරණය කළ ජලයට එකතු කළ වටිනාකමක් ඇති නිසා ඊට වෙළෙඳපොළ මිලක් පවතී. සමහර රාජ්‍ය නොවන සංවිධන ද වමේ දේශපලාන පක්ෂ ද කුමක් කීවත් එකතු කළ වටිනාකමක් සහිත වාරි ජලයට මිලක් පවතී
එහෙත් අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය පවසන පරිදි ජලය රජයට අයත් දේපළක් නොවේ. එනිසා එය මහජන දේපළකි. නිවෙසේ ගෙවත්තේ කපන ළිඳට අනුමැතියක් ගත යුතු නැත. එසේම ගෙවත්තේ ළිඳෙහි ජලයට එකතු කළ වටිනාකමක් නොමැති බැවින් වෙළෙඳපොළ වටිනාකමක් ද නොමැත. පුරවැසියකුට ජලය භුක්ති විඳින්නට හැකිවිය යුත්තේ නොමිලයේ ය.
අන්තවාදී අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයට මෙන්ම රාජ්‍ය නොවන සංවිධානයන්ට හා වමේ පක්ෂවලට ද මහජන දේපළක් වන ජලය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගන්නට අයිතියක් මෙන්ම හැකියාවක් ද නොපවතී. මහජන දේපළක ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ මහජනයා ය. ඊට මැදිහත් වන්නට වෙනත් කිසිවකුට නොහැක. ඒ අනුව එකතු කළ වටිනාකමක් සහිත වාරි ජලයට වෙළෙඳපොළ මිලක් තිබිය යුතු ය. එහෙත් නිවසේ ගෙවත්තේ තැනූ ළිඳෙන් ගන්නා ජලයට වෙළෙඳපොළ මිලක් නොපැවතිය යුතුය.
මහජනතාව ලබා ගන්නා ජලයට මිලක් නියම කිරීම සදහා ගෙවත්තේ කපන ළිඳට පවා අවසර ගත යුතු බවට යෝජනා කළේ අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයයි. එහෙත් මහජන දේපළක් භුක්ති විඳීමට මහජනතාව මුදල් ගෙවිය යුතු නැත. නමුත් ජල කළමනාකරණ ක්‍රමවේදයක් සකස් කර ගැනීම සඳහා ළිං කැපීම, නළ ළිං ඉදි කිරීම ආදිය සම්බන්ධයෙන් පාලනයක් තිබිය යුතුය.
ජල කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කර දෙන්නට අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනයට හදිසියක් ඇතිවූයේ වසර 2000 තරම් ඈතක දී ය. එහෙත් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති මත පදනම් වෙමින් ජලය කළමනාකරණය කරන්නට උපදෙස් ලැබුන නිසා ඒවා ප්‍රායෝගික නොවීය. නමුත් ජල කළමනාකරණ ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය. එසේ වන්නේ පරිසරය පද්ධතිය රැක ගන්නට නම් යහපත් ජල කළමනාකරණ ක්‍රමවේදයක් රටට තිබිය යුතු නිසා ය.
රටක් වශයෙන් සිංහලයාට අපූරු ජල කළමනාකරණ ක්‍රමයක් අතීතයේ දී තිබුණි. එය පදනම්ව තිබුණේ පරිසරය පද්ධතිය සමග ඒකාබද්ධ වෙමිනි. සිංහල වාරි තාක්ෂණය එහි දියුණුම නිර්මාණය විය. වැව ගොඩ නැගුණේත් පවත්වාගෙන ගියේත් ඒ තාක්ෂණයේ මහිමයෙනි.
ඒ සිංහල වාරි තාක්ෂණයටත් එනිසා ජල කළමනාකරණයටත් අද අභියෝගයක් එල්ලව ඇත. එනිසා වාරි ශිෂ්ටාචාරයම අහෝසි වෙමින් තිබේ. වාරි තාක්ෂණයේ අහෝසිවීම සිදුවෙමින් පවතින්නේ අලුත් දැනුමක් නිසා නොවේ. සිංහල වාරි තාක්ෂණයට එරෙහිව සුද්දා ගෙන ආවේ තිරසාර තාක්ෂණ දැනුමක් නොවේ. එනිසා එය සිංහල වාරි තාක්ෂණයට බුද්ධිමය අභියෝගයක් ද නොවීය. එබැවින් සිංහල වාරි තාක්ෂණය අවලංගු වෙමින් පවතින්නේ ඇයි දැයි බුද්ධිමතුන් කල්පනා කර බැලිය යුතුය.
අබරන්