![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2018/01/12/galaha-handiya-tag.jpg?itok=9qM1kadA)
උතුරේ ද දකුණේ ද පැවැති ජන ඝාතක කැරැළි නිසා විශාල බුද්ධිමය හිඟයක් රටේ ඇති වූ අතර එය බරපතල ලෙස බලපා ඇත්තේ දේශපාලන ක්ෂේත්‍රයට ය. දකුණේ ද උතුරේ ද විශාල දේශපාලන නායකයන් පිරිසක් එකල අකාලයේ මිය ගිය අතර එහි හිස්තැන පිරවීමට හැකි වේගයකින් නායකයන් බිහි නොවුණි. එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ විශාල රික්තයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇතිවීමයි.
රජයට එරෙහිව ඇති වූ උතුරේ ද දකුණේ ද කැරැළි නිසා ඒ ඒ සටන්කාමී සංවිධානයන්ට අයත්ව සිටි විශාල තරුණ පිරිස අතර සිටි නිර්මාණශීලීන් පිරිස අපමණ ය. ඔවුන් තමන් විශ්වාස කළ දේශපාලන දර්ශනය අනුව සටන් කළත් රටේ මානව සම්පතට අයත්ව සිටි නිර්මාණශීලින් පිරිසකි. ඔවුන්ගේ අහිමිවීම නිසා රටට සිදුවූ පාඩුව පිරිමැසිය නොහැකිය.
එසේම සටන්කරුවන්ගේ ප්‍රහාරයට ලක්වී මිය ගිය උතුරේ ද දකුණේ ද ප්‍රභූ දේශපාලන නායකයන් අතර සිටි පරිණත දේශපාලකයන් පිරිසක් ද සිටියහ. ඔවුන් දීර්ඝ කාලීන අත්දැකීම් ඇති මහ පොලොවේ දේශපාලනය කළ පිරිසකි. ඔවුහු සමහර විට දකුණේ සිංහල නායකයෝ විය හැකිය. උතුරේ දෙමළ නායකයෝ විය හැකිය. නැගෙනහිර මුස්ලිම් නායකයෝ විය හැකිය. ඔවුන් කවරෙක් වුවද අහිමි වී ඇත්තේ රටේ මානව සම්පතට අයත්ව සිටි පිරිසකි. ලාංකික සමාජයේ සිටි නායකයන් කොහොමත් කල්පනා කළේ වාර්ගිකව ය. එය උතුරේ වේවා දකුණේ වේවා නැගෙනහිර වේවා නායකයන් සියල්ලට පොදු සත්‍යයකි. එහෙත් එසේ කල්පනා නොකළ අතලොස්සක් ද සමාජ නායකයන් අතර සිටියහ. සමහරු වාර්ගිකව කල්පනා කළ ද අනෙකාගේ අදහස් තේරුම් ගන්නට උත්සාහ ගත් ස්වෝත්තමවාදීහු වූහ. වාර්ගිකත්වය ඉක්මවා ගිය පොදු ඇසකින් කල්පනා කරන නායකයන් බිහි නොවන්නට ඇත්තේ එවැනි දේශපාලන ව්‍යාපාරයක් රටේ නොතිබූ නිසා විය හැකිය. එහෙත් සියලු නායකයන් මිය ගිය කලක මේ පොළොව මුඩු බිමක් බවට පත්වීම කනගාටුදායකය.
දැන් දකුණේ නායකයන් උතුර හා නැගෙනහිර දෙස බලන්නේ සැකමුසුවය. උතුරේ නායකයන් දකුණ හා නැගෙනහිර දෙස බලන්නේ සැකමුසුවය. නැගෙනහිර නායකයන් උතුර හා දකුණ දෙස බලන්නේ සැකමුසුවය. එහෙත් රටකට අවශ්‍ය වන්නේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව සැකය බැහැර කළ නායකයන් ය. එවැන්නන් අහිමිවීම රටක පැවැත්මට බරපතල තර්ජනයකි.
වාර්ගිකව සිතන පටු නායකයන් නිසා රටකට යන්නට පුළුවන් උපරිමයට දැන් පැමිණ තිබේ. ඒ නිසා සිදුවී තිබෙන හානිය යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට බරපතල ය. එනිසා පවතින සමාජ දේශපාලන ව්‍යුහය ආකෘතිමය ලෙස පුපුරා යාමකින් තොරව රටට ඉදිරියට යා නොහැක. ඒ පුපුරායෑම කළමනාකරණය කර ගැනීමට හැකි ශක්තිමත් පරිණත නායකයන අවශ්‍යය. ඔවුන් වාර්ගිකව නොව ජාත්‍යන්තරව සිතා කටයුතු කරන පිරිසක් විය යුතුය.
වර්ෂ 2025 වනවිට ලාංකික සමාජයේ අංක එකේ ප්‍රශ්නය වන්නේ පරිනත නායකයන් නොවීමයි. ඒ නිසා ආධුනික නායකයන්ගෙන් උතුරේ ද දකුණේ ද නැගෙනහිර ද දේශපාලන අවකාශය පිරීයෑම සිදුවේ. ඔවුන්ට ලාංකික දේශපාලනයේ මූලික අර්බූදයන් නොතේරෙන නිසා පවතින සමාජ ව්‍යාකූලතාව තවත් උග්‍ර විය හැකිය. සමහරු ජාතිකවාදීව නායකයන් දෙස බලා සිටින අතර සමහරු ජාත්‍යන්තරවාදීව නායකයන් දෙස බලා සිටිති. එහෙත් රටට අවශ්‍යව ඇත්තේ ජාතික ප්‍රශ්න තේරුම් ගත් ජාත්‍යන්තරව කල්පනා කරන නායකයන් ය. එවැන්නන් මුඩු දේශපාලන බිමක රෝපණයවීමට තරම් අප වාසනාවන්ත නැත.
ප්‍රබුද්ධ නායකයන් බිහිවන්නේ ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයන් තුළිනි. පවතින වෙළෙදපළකරණය වූ දේශපලාන අවකාශය තුළ ශක්තිමත් දේශපාලන ව්‍යාපාර නොමැත. එය ජාත්‍යන්තර දේශපාලනයේ ද තාර්කිකයකි. මේ නිසා සමාජයක බුද්ධිමතුන්ට පැවරෙන කාර්යභාරය අපමණය. එහෙත් බුද්ධිමතුන් පවා අනාගතය දෙස නොබලා පවතින හිස් දේශපාලනයේ අතු අල්ලාගෙන සිටීම ශෝචනීය ය.
මේ යුගය තුළ නායකයන් බිහිවන්නේ ලෝක දේශපාලන රටාවට අනුව ය. පවතින ලෝක දේශපාලන රටාව වන්නේ නව ලිබරල්වාදයයි. ලාංකික සමාජය මුහුණ දී ඇති අර්බූදය වන්නේ නව ලිබරල්වාදය ව්‍යුහාත්මකව තේරුම් ගත් ධනපති නායකයන් ද ඊට විකල්ප දේශපාලනයක විමුක්ති නායකයන් ද නොවීම ය. පාර්ශ්වයන් දෙකම අඳුරේ අතපත ගාමීන් ජාතිකවාදී භාවිතාවක සිටින අතර ඒ කිසිවෙක් නව ලිබරල්වාදයත් ඒ නිසා ධ්‍රැවීකරණය වී ඇති සමාජ දේශපාලන පරිසරයත් තේරුම් ගන්නේ නැත.
ඒනිසා නව ලිබරල්වාදී දේශපාලනයට බාධාවක් නොමැතිව ලාංකික දේශපාලන පිටිය යටත්ව තිබේ. ඒ බාධාව එල්ල නොවන්නේ විකල්ප විමුක්ති දේශපාලනයක් තුළින් පමණක් නොවේ. ශක්තිමත් හා නිර්මාණශීලී ධනේශ්වර පන්තියක් නොවීම නිසා ද ඒ බාධාව එල්ල නොවේ. මේ තත්ත්වයට බලපෑවේ ලාංකික දේශපාලන රාමුව තුළ සිදුවූ බිහිසුණු පසුගාමීත්වයයි.
මේ මොහොත තුළ ලාංකික දේශපාලනය යොමුවිය යුත්තේ මේ අර්බූදය තේරුම් ගැනීමට ය. එහෙත් කණගාටුවට කරුණ වන්නේ කිසිම පාර්ශ්වයකින් ඊට යහපත් ප්‍රවේශයක් නොදැක්වීමයි. සමහරු ආණ්ඩු බලයට විත් කීයක් හෝ හොයා ගැනීමේ හිඟන දේශපාලනයට නතුවී තිබෙන අතර සමහරු ඒ අවස්ථාව නොලැබීම නිසා වෛරී දේශපාලනයක යෙදෙති. තවත් සමහරු පාදඩ ධනපතියන්ගේ හැසිරීම නිවැරැදි කිරීමට උත්සාහ ගනිමින් සිටිති. එහෙත් සමාජ අර්බූදය ජය ගැනීමට නම් කළ යුත්තේ අලුතින් කල්පනා කරන අලුතින් තේරුම් ගන්නා නායකයන් බිහිවීමට ශක්තිමත් ජවයක් සහිත දේශපාලන බිමක් නිර්මාණය කර ගැනීමට මහන්සි වීමයි.
එසේ නොමැතිව වසර 2025ට මුහුණදීම දුෂ්කර බව කල් ඇතිවම පැවසිය යුතුය.
අබරන්