"ජයවේවා!" | සිළුමිණ

"ජයවේවා!"

 අබිලිංගෙ කඩේ ඉස්සරහිං මොටෝ බයිසිකල් ත්‍රීවිල් පේළියක් යනවා.

"අපේ සිංහයට ජයවේවා"

ඒක ගෙහුං ඩිංග වෙලාවකින් තව පේළියක්... බුදු අම්මෝ කාන්තාවියො පිරිලා.

"අපේ සිංහ දේනුවට ජයවේවා"

පාරෙං එකයි වාහන. යකඩ මරං මීහරක් දක්කගෙන අනික් පැත්තෙං එද්දි පාර බොලොක් උණා.. මීහරක් අස්සෙ ත්‍රීවීල් බයිසිකල් අස්සෙ මී හරක්. ගිනි විජුම්බරයයි..

"අයින් කරගනිං ඩෝ මීහරක්"

නාගසලං වෙන්ඩ ගහපු ගොබිලෙක් යකඩ මරංගෙ බෙල්ලෙං අල්ලගත්තා.

"මීහරක් අයිං කරන්නෙ කොහොමද ඩෝ?" යකඩමරංට මල පැන්නා..

ඒ අව් අස්සෙ මී නාම්බෙක් අඟ වනෝලා මනුස්ස නාම්බෙකුගෙ පස්ස පැත්තෙං ගිනි විසිවුණා.....

"ජයවේවා."

පෙළපාළිය නවතින්නැතිව යනවා.

"කොහාටද උන්දලා ඔය යන්නෙ?

මං නිමලෙගෙං ඇහුවා.

"නොමිනේසං දීලා ගංරටවල සංචාරේ."

"ඒකෙන් මොකද වෙන්නෙ?"

"ජනතාව දැනුවත් වෙනවා"

"මොකක් ගැනද?"

"ඒ උදවිය කරන්ඩ හදන ජනතා සේවෙ ගැන"

"ඉතිං අපිත් දැනුවත් වෙමුකො"

නිමලෙගෙ ඇස් දිලිහෙන්ඩ පටංගත්තා.

අපි ගියා දැනුවත්වීමේ සුදුසුකම් ලබාගන්ඩ. කූරටියා ගාලට...සීනි කරිඤ්ඤං පොළට...

ආයෙත් වාහන පෝලිම. ජනතා පුත්තරයො, ජනතා දුවලා, ආදාරකාරයො වාහනඔලිං ඔලු එලියට දානවා...

"ජයවේවා"

ඉවසන්ඩම බැරි තැන මාත් කෑ ගැහුවා. නැහ්නං අපි ජනතාවට ද්‍රෝහී වෙනවනෙ........ නිමලෙ තව දෙකක් දාගෙන ආවා.

"ජයවේවා"

බොක්කෙන්ම කීවා.

"අපි කාටද ජයවේවා කීවෙ?

නිමලෙ අහනවා.

"දන්නෙ නෑ. කාට වුණහම මොකද. කියන්ඩනෙ ඕනෑ."

Comments