“සයිටම්” විරෝධි නාඩගම | සිළුමිණ

“සයිටම්” විරෝධි නාඩගම

 මාගේ මේ කෙටි ලිපියේ අරමුණ වන්නේ දැනට වර්ෂ ගණනාවක් ඔස්සේ නොයෙකුත් වෙස් ගන්වමින් රජය හා මහජනතාව පීඩාවට පත්කරමින් රඟ දක්වන මේ සටන ගැනයි. එක් පැත්තකින් සයිටම් පාලන අධිකාරිය සහ එයට එරෙහිව නැඟී සිටින දෙවන පාර්ශ්වය වන රජයේ වෛද්‍ය සභා දොස්තරවරු ද මහජන මුදලින් නඩත්තු වෙන රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍ය, ශිෂ්‍යාවන් පිරිසක් ද මේ දෙපාර්ශ්වය මඟින් ඉදිරිපත් කරනු ලබන සියලු හේතු කාරක පදනම්කර ගෙන විග්‍රහයක ‍යෙදෙන අයෙකුට පෙනී යන්නේ මේ දෙපාර්ශ්වයම අඩුවැඩි නැතිව මේ ප්‍රශ්නයට අධිතක්සේරුවක් එක්කර සත්‍ය අනාගෙන තිබෙන බවයි. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා හා පුරා කරළියට එන්නේ අඩුපාඩු රැසක් මධ්‍යයේ බව කිව යුතුය.

යම් ආයතනයක් පටන් ගැන්මේදී එවන් තත්ත්වයක් උදාවෙනු ඇත. යමෙක් පෞද්ගලික ආයතනයක් සඳහා මුදල් ආයෝජනය කරන්නේ ලාභයක් මෙන්ම එහි ඉදිරි පැවැත්ම පුළුල්ව නඟා සිටුවීමේ බලාපොරොත්තුවෙනි.

රජයකට ප්‍රමාණවත් තරමින් වෛද්‍ය විදුහල් ඇරඹීමට හැකියාවක් නැති බව සියල්ලෝ දනිති. අවශ්‍ය තරම් නව රෝහල් ඉදිකිරීමට ධනසම්පත් නොමැති අප රටට වෛද්‍ය විදුහල් අවශ්‍ය තරම් ස්ථාපනය කිරීම හිතන තරම් පහසු කාර්යයක් නොවේ. එසේ නම් කළ හැක්කේ, කළ යුත්තේ ප්‍රායෝගික වශයෙන් කුමක්ද? හැකි අයට පෞද්ගලික හෝ වේවා ඒවට ඉඩකඩ සලසාදීම නොවේද? මෙතනදී බෝලය රැඳී තිබෙන්නේ අප රටේ වෛද්‍යවරුන‍්ගේ අතේය.

පටු ආකල්ප, වෘත්තීය බිය, වරප්‍රසාද, චැනල් සේවය, රහස්‍ය අනිකුත් න්‍යාය පත්‍ර යනාදිය මත පිහිටා ක්‍රියා නොකර රටක් වශයෙන්, එම රටට අත්‍යවශ්‍ය ම සේවයක් උදෙසා ආත්මාර්ථකාමිත්වයෙන් තොරව ආධාර, උපකාර, උපදෙස් කෙටිකලකට හෝ සයිටම් ආයතනයට ලබාදිය නොහැක්කේ මන්ද? එසේ ඉදිරිපත් නොවීමෙන් ඔවුනගේ අභිමානය දිනෙන් දින දියාරුවී ගොස් ඇති බව වටහා ගත යුතුයි. අද රෝගීන් නඟන හඬ, මැසිවිලි, චෝදනා කෙතරම්ද? ඒවා ශාප බවට පත්විය හැක.

පසුගියදා මගේ දෙනෙත්වලට ලක්වූ ආසන්නම කනගාටුදායක සිදුවීම නම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙනුවට පත්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වැඩ භාරගත් දින එතුමාට දැක්වූ අශෝභන ප්‍රචාරයයි. ඒ සිද්ධිය අනුමත කරමින් වෛද්‍ය සභා නියෝජිතයන් කළ ප්‍රකාශ පිළිකුලින් හෙළා දැකිය යුතු නොවන්නේද?

රටේ උගතුන්, වියතුන් වශයෙන් කලඑළි බැසීමට සිටින මේ පිරිසගේ හැසිරීම බිංදුවට බැස ඇති බව එහිදී මැනවින් ප්‍රදර්ශනය විය. සයිටම් විරෝධි නාඩ‍ගමේ පරම සත්‍ය වශයෙන් පිළිබිඹුවන්නේ රජයේ වෛද්‍ය සභාව සහ සංගමය ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරය කිසිම ලෙසකින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විදුහල පිළිගැනීමට විරුද්ධ, ඉතා අදූරදර්ශී පිළිවෙතය. එය මස් රාත්තලම ලබා ගැනීමට දරන අවිචාරවත් අධම ක්‍රියාදාමයක් බව පිළිගත යුතුවේ. මේ වන විට මේ පසුබිම යටතේ බැටකා ඇති අපේ ම දූ දරුවෝ ඉතා භයානක ඉරණමකට ගොදුරුවෙමින් සිටිති. සිහිබුද්ධියෙන් මුහුණදී මේ වෛරී, පිළිකුල් මාවතෙන් ඉවත්විය යුතුය. කොණ්ඩ වවාගත්, රැවුල වවාගත්, චණ්ඩීන් මෙන් රටවැසියා ඉදිරියේ පෝස්ටර්, කොඩි ලෙළවමින් මාර්ග බාධා ඇති කරමින් පෙළපාළි යෑම්වලින් වැළැකී තම සුභ සිද්ධියටත්, තම රටේ සුභ සිද්ධියටත්, ඉදිරි පරපු‍ෙර් අනාගතය සඳහාත් ආදර්ශවත් පිරිසක් ලෙස, වැදගත් අන්දමට මෙම මත ගැටුම අවසන් වේවායි අපක්ෂපාති රටවැසියාගේ නිරන්තර බලාපොරොත්තුවයි. අහෝසිකරනු, හකුලාගනු යන වචනවල පවා ඇත්තේ ද්වේෂය, වෛරය, විනාශය, මිථ්‍යාදෘෂ්ටිය වැනි විෂම අර්ථයන්ය.

මහනුවර ඩබ්ලිව්.ඒ. ප්‍රනාන්දු

Comments