අල්ලපියෝ අල්ලපියෝ | සිළුමිණ

අල්ලපියෝ අල්ලපියෝ

 ‘පව්කාරයට ගල් ගැහීමෙන් විතරක් ප්‍රශ්න විසඳෙන්නේ නෑ’

‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ ගෑස් හිටපු සභාපතිතුමා බැංකු හොරකමට අහුවෙලා විදුලි හොරකමටත් අහුවුණා’

‘කෝටි ගණන් තිබිලා මදිවෙලා තව කෝටි ගණන් හොරකම් කරනවා’

‘අනේ ඉතිං රටේ විදුලියත් හොරකම් කරනවා කියන්නේ මොනවා හොරකම් නොකරයිද?’

‘හැබැයි ඉතිං සිරීපාදෙට කුණු ගිහිං දාන්නනං ගොඩාක් කට්ටිය හවුල්’

‘පිට හොරු අල්ලන එක හොඳයි. හැබැයි ඒත් එක්කම තමන්ගේ ඇතුළේ ඉන්න හොරාත් අල්ලන්න’

’ඔතන තමයි අර්බුදේ තියෙන්නේ. ඒකට කවුරුවත් ලෑස්ති නෑ’

’දේශපාලනය තුළදී බොරුවක් කියනවා කියන්නේ හොරකමක්’

’මට තේරුණේ නෑ’

’දේශපාලනේ දී බොරුවක් කියන්නේ ජනතාවගේ කැමැත්ත මං කොල්ල කන්න’

’ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙකුට විතරයි එතනදි හොරෙක් කියන චෝදනාවෙන් ගැලවෙන්න පුළුවන්’

’ඒකයි හොරකම විවිධාකාරයි. අපට එක්කෙනෙක් විතරක් පෙන්නලා අන්න හොරා කියලා පෙන්නන්න බෑ’

’තමන්ගේ ඉස්කෝලේ පංතියේ දී උගන්වන්නේ නැතිව ටියුෂන් පංතියේ දී විතරක් හරියට ඉගැන්වීමත් එක්තරා හොරකමක්’

’හොරකම කියන්නේ ඔඩු දුවපු ප්‍රශ්නයක්’

’විගණන පනතකින් විතරක් නවත්වන්න බෑ’

‘නීතියෙන් පමණක් හොරකම් වළක්වන්න යෑමේ දී වෙන එකදෙයක් තමයි හොරකම සඳහා යන වියදම වැඩිවීම. හොරකම නවතින්නේ නෑ හොරකම

කරන්න යන වියදම වැඩිවෙනවා’

‘ඒ කියන්නේ හොරකම් වැඩියෙන් ම සල්ලි තියෙන අයට විතරක් පුළුවන් දෙයක් බවට පත්වෙනවා’

‘දැන් බොහෝ ටෙලි චැනල් කරන්නෙත් හොරකමක්. ඒකියන්නේ නැති ප්‍රශ්න හදනවා. බොරු ප්‍රශ්න හදනවා. කන්දකෙන් තද කරලා විකුණනවා.

රේටිංස් හැදෙන්නේ එතකොට. ඒවත් හොරකම්’

‘හොරකම විවිධා කාරයි. සංකීර්ණයි’

‘තමන් දන්න තරම් මුළාවල් දාලා ශිෂ්‍යන්ව කඬේ යවන ශිෂ්‍ය නායකයෙක් කරන්නේ සත්‍යය හොරකම් කිරීම’

‘සත්‍යය හොරකම් කිරීම අද මහා පරිමාණයෙන් කෙරෙන ජනප්‍රිය හොරකමක්’

‘මාධ්‍යවලට හිතක් පපුවක් නෑ’

‘හිතක් පපුවක් තියෙන මාධ්‍ය බිහිවෙන තුරු හොරකම් නවත්තන්නත් බෑ’

‘හිතක් පපුවක් තියෙන මාධ්‍ය බහිවෙන තුරු හිතක් පපුවක් තියෙන ජනතාවක් බිහි වෙන්නෙත් නෑ’

‘අන්තෝ ජටා බහිජටා. ඇතුළෙත් ගැට පිටත් ගැට’

‘හොරකම වංචාව අපි හිතන තරම් සරල නෑ’

‘එහෙම සරල කරන්න හදන අයත් කරන්නේ හොරකමක්’

‘මං මේ හදන්නේ හොරකම ගැනහොර නැතුව හිතන්න’

මා සිහිනෙන් උත්සාහ කර ඇත්තේ හොරෙක් නොවී හොරකමට මුහුණ දීමට යැයි අවදි වු පසුව මට සිතිණි. එසේ වුවත් අවදියෙන් එසේ කිරීමට මට හැකියාවක් ඇති ද යන්න මට ම සැක සහිතය.

මගේ හිත මා ගැන කොමිසමක් බවට පත්කර නොගන්නේනම් කොමිසන්වලින් පමණක්ම හොරකම් නැවැත්විමට නොහැක.

Comments