විශ්වවිද්‍යාල දරුවන් හා සංස්කෘතික විලිරුදාව | සිළුමිණ

විශ්වවිද්‍යාල දරුවන් හා සංස්කෘතික විලිරුදාව

 පසුගිය දිනක මුහුණු-පොත ඔස්සේ මට කතා කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙක් අපූරු දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය. ඊට පෙරදා විශ්වවිද්‍යාලයේදී ඔහුට ආරංචි වී ඇත්තේ ඔහු ඉතා වැදගත් සම්මුඛ පරීක්ෂණයකට තෝරාගෙන ඇති බවකි. මේ ආරංචියෙන් ප්‍රීතිප්‍රමෝදයට පත් මේ තරුණයා තම සතුට බෙදාගැනීම සඳහා තම පෙම්වතියට එන ලෙස පවසා, ඈට ඒ ආරංචිය ප්‍රකාශ කර ඇත. එම ආරංචියෙන් ආහ්ලාදයට පත් ඈ ක්ෂණිකව තම පෙම්වතාගේ නළල සිපගෙන ඇත.

එය මළ හිරු බැස යමින් තිබූ සැඳෑවකි. අඩ අඳුර වටින්-පිටින් ගලා ආවත් එකිනෙකා හඳුනාගැනීමට අපහසුවක් නොවීය. විශ්වවිද්‍යාලයේ මල් පඳුරු අතර බංකුවක් මත වාඩි වී උන් මේ පෙම්වතුන් යුවළ අතර වූ ගනුදෙනුව සෞන්දර්යාත්මක වන්නට ඇත. ඒ සෞන්දර්යාත්මක මොහොත ආදරයේ භක්තිමත් අවස්ථාවක් විය. පෙම්වතා තම ජීවිතයේ එක් වැදගත් අවස්ථාවක් තම ජීවිතයට අතිශය සමීප පෙම්වතියට නොපවසා කාට නම් පවසන්නද? ඒ සොඳුරු මොහොත කෝපාග්නියෙන් යතුරු හිල්වලින් බලා සිටි පිරිසක්ද වූහ. පෙම්වතිය විසින් තම පෙම්වතා ආදරයෙන් සිපගැනීම ඉවසන්නට නොහැකි වූ ජීවිතයේ සෞන්දර්යාත්මක වටිනාකම් නොහඳුනන අශ්ලීලයන් පිරිස පෙම්වතුන් යුවළ කරා කඩාපැන ඇත. ඒ, මේ තරුණ පෙම්වතුන්ට සදාචාරවාදී පාඩමක් උගැන්වීමටය.

ඔවුන් තරුණ පෙම්වතුන් කරා පැමිණ විශ්වවිද්‍යාල උප-සංස්කෘතිය තුළ සිපවැලඳගැනීමට අවකාශයක් නොමැති බව පැහැදිලි කර ඇත්තේ ඔවුන්ට අඩන්තේට්ටම් කරමිනි. එක් අතකින් එවැනි උප-සංස්කෘතියක් අයත් වන්නේ ගෝත්‍රික යුගයට බව ඉඳුරාම පැවසිය යුතුය. එසේම එය අශ්ලීල හා ග්‍රාම්‍ය උප-සංස්කෘතියකි. විශේෂයෙන් දැනුම නිෂ්පාදනය කිරීමට පිහිටුවා ඇති විශ්වවිද්‍යාල පද්ධතියක මෙවැනි ලාමක හා නොමේරූ සිද්ධීන් සිදු වීම පහසුවෙන් අමතක කළ හැක්කක් නොවේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබන්නට තරම් මේරූ පිරිසකට තරුණ ජීවිතවල සෞන්දර්ය හා කැකෑරෙන අනුරාගය හඳුනාගැනීමට නොහැකි වීම කණගාටුවකි. උප-සංස්කෘතිය කෙසේ වුවද, සමාන වයස් මට්ටම්වල අවශ්‍යතා හා ආවේග හඳුනාගැනීමට මොවුන්ට නොහැකි වීම බරපතළ කරුණකි. උප-සංස්කෘතිය මත මතවාදී වෙනස්කම් පැවතුණත් තම සහෝදර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුට ඒ වෙනුවෙන් අඩන්තේට්ටමකට ලක් කිරීම කොතරම් නම් අශ්ලීලද?

තරුණ පෙම්වතුන් යුවළ අඩන්තේට්ටමට ලක් කළ පිරිස ශිෂ්‍ය සංවිධානයක සිසුහුය. ඔවුන් බොරු සදාචාරයක් රකින්නට සංස්කෘතික පොලීසි පවත්වාගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනද නිතර සිහි කරමිනි. විශ්වවිද්‍යාල සිසුන් තරම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් උනන්දු වන තවත් පිරිසක් නොමැති තරම්ය. ඔවුන් පවතින හැම රජයකින්ම ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත් ඔවුන්ගේ අවකාශය තුළ භාවිත ප්‍රජාතන්ත්‍රවාදයට අල්ප හෝ ඉඩකඩක් නොතැබීමට ඔවුහු වගබලාගනිති. ශිෂ්‍ය සංවිධානයන්ගේ මේ කුහක හා දෙබිඩි හැසිරීම කොතරම් නම් අප්‍රසන්නද?

ශිෂ්‍ය සංවිධානවල ක්‍රියාකාරී සාමාජිකයෝ ගම්බදින් පැමිණෙන පහළ මැද පාන්තික දෙමවුපියන්ගේ දරුවෝය. ඔවුන් සංස්කෘතික වශයෙන් පෝෂණය වී ඇත්තේ අවම ලෙසිනි. ඔවුන් බොහෝ විට උත්සාහ ගන්නේ අධ්‍යාපනය ලබා සමාජයේ කැපී පෙනෙන රැකියාවක් ලබාගෙන ඉහළ මැද පාන්තික සමාජ ස්තරයට පොළාපැනීමේ අරමුණෙනි. ඒ ඉලක්කය තුළ මහා සංස්කෘතික තරුණයකු හෝ තරුණියක හෝ බිහි වන්නේ නැත. තමන්ගේ විෂය සීමාව තුළ විභාගය සමත් වීමට අවමය ලබාගන්නවා මිස පුළුල් රාමුවක දැනුම සමඟ සාකච්ඡාවකට ඔවුහු සූදානම් නොවෙති. විශේෂයෙන් ඉතිහාසය හා සෞන්දර්යාත්මක විෂයයන් කෙරේ ඔවුන් දක්වන ඇල්ම අල්පය. එසේම රසවිඳීම ප්‍රගුණ කරගැනීමට අවශ්‍ය අධ්‍යයන කටයුද සීමා කරගනිති. එවැනි අවකාශයක පෝෂණය වන තරුණ පෙළ ජීවිතයේ මිහිර හා පාරිසරික සෞන්දර්යය ගැන දක්වන ඇල්ම සීමාකාරීය.

තරුණ-තරුණියන් මේ අන්දමින් මුහුණදෙන සන්තෑසිය මුළුමනින්ම අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදකි. අද දරුවන්ට විෂය උගන්වමින් තරගකාරී වෙළෙඳපළ තුළ පරිපූර්ණ වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන්නට තැත් කරයි. ඒ වෙළෙඳ භාණ්ඩය ශ්‍රමය ලෙස මහ විශාල සමාගවලට අලෙවි වේ. මේ ක්‍රමයෙන් බාහිර අධ්‍යාපන ක්‍රමයක් අපට නොමැත. මේ බරපතල තත්වය නිර්මාණය කර ඇත්තේ වෙළෙඳපළ විසිනි. පවතින වෙළෙඳපළ තුළ ඉහළ මිලකට අලෙවි වීමට උත්සාහ ගන්නවා මිස සංස්කෘතික මිනිසකු ලෙස හැදී-වැඩීමට දරුවන් පවා උනන්දු නොවේ.

ග්‍රාමීය දරුවන් ඉපදී හැදී වැඩෙන ලෝකය ඉතා පටු සංස්කෘතික අවකාශයකි. ඒ තුළ මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් තියා අලගිවන්න මුකවෙටි ගැන වත් දන්නේ අල්ප දෙනෙකි. ඒ නිසා පුද්ගල චරිතයක සංස්කෘතික අවකාශය පවතින්නේ කළු කුහරයක් ලෙසිනි. ඒ හිස් අවකාශයෙන් යුතු දරුවන් සමාජයට මුදාහළ විට අග-මුල අමතක වීම තාර්කිකය. අවසන සංස්කෘතික ලෝකයක් නැති දරුවෝ සමාජයේ නන්නත්තාර වෙති.

අපේ සමාජයට සංස්කෘතික විප්ලවයක් අත්‍යවශ්‍ය බව බොහෝ දෙනෙක් අමතක කරති. එහෙත් සංස්කෘතික විප්ලවයකින් තොරව මේ සමාජය අඟලකින් හෝ ගොඩ ගැනීම බොරුය. විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය සංගම් මහන්සි විය යුත්තේ අපේ තරුණ පරපුර සංස්කෘතිකව වෙනස් කිරීමටය. එහෙත් ඒ සදහා ඔවුන්ට පවා දැනුම තිබේද යන්න බරපතළ ප්‍රශ්නයකි. අද සමාජය මුහුණදෙන උභතෝකෝටිකය එයයි.

අබරන්

Comments