නාගරික අවකාශය ආක්‍රමණය කරන දෘශ්‍ය දූෂණය | සිළුමිණ

නාගරික අවකාශය ආක්‍රමණය කරන දෘශ්‍ය දූෂණය

සංවිධිත නාගරික අවකාශයක් සහිත දියුණු රාජ්‍යවල නාගරික දෘශ්‍ය අවකාශය සෞම්‍ය සංයෝජනයකින් යුක්තයි. නාගරික සංවර්ධනය සැලසුම් සහගත ලෙස සිදුකර තිබීම මෙන්ම විධිමත් ලෙස ඒවා පළාත් පාලන ආයතන විසින් පාලනය කිරීම මෙයට මූලික හේතුවයි. තවමත් සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල ඇති ගැටලුව වන්නේ එවැනි තුලනයකින් යුක්ත නාගරික දෘශ්‍ය පරිසරයක් ඇතිකිරීම නොව නාගරික දෘශ්‍ය දූෂණය පිළිබඳව සංකල්පීය අවබෝධයක් හෝ නොපැවැතීමයි. දශක කීපයක් විශ්ලේෂණය කර බැලූ විට නාගරික දෘශ්‍ය අවකාශය ක්‍රමිකව දූෂණයට ලක්වෙමින් ඇති ආකාරය දකින්න පුළුවන්. විශේ්ෂයෙන්ම තරගකාරී ආර්ථික ක්‍රමය මගින් ඇතිකරන ලද වාණිජ සම්බන්ධතාවලට මූලිකත්වය දුන් සමාජ ආර්ථික ප්‍රවණතා මගින් නාගරික දෘශ්‍ය සංකේතීය පිළිවෙළ විකෘතිකර තිබෙනවා. මෙය බොහෝ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් තුළ දකින්න ඇති පොදු ලක්ෂණයක් බවට පත්වෙලා. දියුණු රාජ්‍යවල නාගරික අවකාශය දෘශ්‍ය දූෂණයට ලක්වී ඇති බව සංකල්පීය වශයෙන් ද හඳුනාගෙන ඒ සඳහා පිළියම් යොදන ආකාරයත් අප දැක තිබෙනවා.

පොදු පාරිසරික දෘශ්‍ය ප්‍රකාශනය තුළ, විවිධ සංස්කෘතීන්ට ආවේණිකව තිබූ ස්වාධීන සංස්කෘතික දෘශ්‍ය විඥානය මෙන්ම දෘශ්‍ය සංයෝජනය, රිද්මය, සුසංවාදය, තුලනය ආදී දෘශ්‍ය මූලිකාංග, දෘශ්‍යමය ආකෘති සහ දෘශ්‍ය සංකේතීය පිළිවෙළ විකෘති කිරීමක් මෙහි දී සිදුවනවා. පුද්ගලයන්ට දර්ශනය වන යම් දර්ශන පථයක, භූමි දර්ශනයක ගොඩනගා ඇති සිත් ඇදගන්නා සුළු නොවන, පොදුජනයාගේ චර්යාව අයහපත් ආකාරයෙන් වෙනස් කිරීම සඳහා අවිඥානකව හෝ බලපානු ලබන දෘශ්‍ය මෙන්ම දැනට පරිසරයේ තිබෙන ඒ ඒ සන්දර්භයට නොගැළපෙන්නාවූ දෘශ්‍ය නිර්මාණ සහ දෘශ්‍ය සංඝටක භාවිතය දෘශ්‍ය දූෂණයයි.

උදාහරණයක් ලෙස සමකාලීන සමාජ ආර්ථික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල වන බිල්බෝර්ඩ්, කැළි කසළ, බිත්තිවල ඇඳි චිත්‍ර, පෝස්ටර්, දුරකථන කණු හා රැහැන්, ගොඩනැගිලි, වල් පැළ හා වෙළෙඳ දැන්වීම් ආදිය මූලික වශයෙන් දැක්විය හැකියි. පුද්ගලයන්ට දර්ශනය වන දර්ශන පථයක, භූමි දර්ශනයක හෝ එවැනි අවකාශයක සිත් ඇදගන්නාසුලු නොවන සංඝටක ඇත්නම් ඒවා මඟින් ප්‍රකාශයට පත්කරන්නේ දෘශ්‍ය දූෂණයයි. වර්තමාන වාණිජ සමාජයේ ප්‍රතිඵල වනඉහත සඳහන් දෑ මේ සඳහා නිදසුන්. විශාල ප්‍රදේශයක් වසාගෙන පැතිරී තිබෙන, බලසම්පන්න ලෙස පෙනීසිටින ගෘහනිර්මාණ මෙන්ම ක්ෂණික ආහාර රෙස්ටෝරන්ට් සහ ආහාර සාප්පු මඟින් විවිධ සමාජ තත්ත්වයන්ට අයත් ජනයාගේ දෘශ්‍ය අවධානය පැහැරගැනීමට තරග කරමින් සිටිනවා. ඒ සියල්ල මගින්ම සිදුවන්නේ දෘශ්‍ය දූෂණයක්.

එම දෘශ්‍ය දූෂණය මගින් පොදු ජනයාගේ දෘශ්‍ය පරිසරය දැකීමේ සංස්කෘතික, ප්‍රජාතන්ත්‍රීය, ස්වාධීන අයිතිය සහ සමස්ත ජීවිතයේ යහපත් පැවැත්ම උල්ලංඝනය කරනු ලබනවා පමණක් නොව නගරයන්හි ආර්ථිකමය ස්ථායීතාව සහ ප්‍රජාවේ ආකර්ශනීයත්වය ද, විනාශ කර දමනු ලබනවා. යම් නිශ්චිත සංස්කෘතියකට අයත් ග්‍රාමීය, අර්ධ නාගරික හෝ නාගරික වශයෙන් වාසය කරන ප්‍රජාවක සමස්තය ඉදිරිපත් වන්නේ සංස්කෘතිකමය දෘශ්‍ය ප්‍රකාශනයක් ලෙසයි. මේ ආකාරයෙන් පාරිසරික අවකාශය තුළ සිදුවන දෘශ්‍ය දූෂණය මගින් එම සංස්කෘතික සංයෝජනය විනාශකර දැමීම විශාල ගැටලුවක් බවට පත්වෙලා. බ්‍රසීලයේ සා ඕ පාලෝ නගරයේ නගරාධිපති ගිල්බර්ටෝ කැසබ් නගරයේ භාණ්ඩ ප්‍රවර්ධනය කරනු ලබන නොනවතින ක්‍රියාවලිය අඳුරු දර්ශනයක්, නීතිවිරෝධී කටයුත්තක් ලෙසත්, එය දෘශ්‍ය දූෂණයක් ලෙසත් අදහස් කර ඇත්තේ මේ අනුවයි.

කලකට පෙර එම නගරයේ තිබූ විශාලතම වෙළෙඳ ප්‍රදර්ශන පුවරු දෙක ඉක්මනින් තහනම් කිරීමට ඔහු තීරණය කර ඇත්තේ මෙම දෘශ්‍යමය අපහරණයෙන් නගරය මුදවා ගැනීමටයි. ඒ අනුව කැසැබ් විසින් නගරයේ පාරිසරික දෘශ්‍ය සෞන්දර්ය සාක්ෂාත් කිරීම සඳහා ක්ලීන් සිටි නැමති පනතක් සම්මත කරගෙන තිබෙනවා. ඔහුගේ අදහස වන්නේ බාහිර ප්‍රචාරණ මාධ්‍යයන් ඉතා පහත්, ව්‍යාකූල සහ දූෂිත තත්ත්වයකට පත්වී ඇති බැවින් මේ සම්බන්ධ නීති අන්තගාමී හා මතභේදාත්මක වුවත්, දෘශ්‍ය දූෂණය පිටු දැක නගරයේ දෘශ්‍යමය සෞන්දර්ය රැකගැනීම සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක් වූ බවයි. ලන්ඩන් සහ පැරිස් නගරවල මෙන් සා ඕ පාලෝ හි නගරාධිපතිවරයා ද, වීදිවල ඇති යෝධ වෙළඳ පුවරු, බස් නැවැතුම්, තොරතුරු පුවරු, දුරකථන හල් ආදිය නගරයේ දෘශ්‍ය සෞන්දර්යයට බාධාවක් වන බැවින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය වැනි යුරෝපයේ සංවර්ධිත රටවල පවා ප්‍රචාරණ පුවරු භාවිත කිරීමේ දී රටේ පවතින නීතීන්ට යටත්ව සිදු කළ යුතු වනවා. තමන්ට අවශ්‍ය ආකාරයට ස්වාභාවික අවකාශය කෙළෙසීමට හැකියාවක් නොමැති වන ලෙස එය නියාමනය කර තිබෙනවා.

වෙළෙඳ ප්‍රචාරණයට සමාජමය බැඳීමක් නොමැති බවත්, එය නිෂ්පාදන හා සේවා වීකිණීමට අදාළ ප්‍රචාරණය සඳහා පමණක් තිබෙන බවත් ක්ලීන් සිටී නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් DM9DDB ප්‍රචාරණ ආයතනයේ සර්ජියෝ වැලන්ට් දැරූ මතයයි. ප්‍රචාරකයන්ට තිබෙන්නේ වාණිජමය වගකීමක් බවත්, සමාජ වගකීමක් නැති බවත් ඔහු අදහස් කර තිබෙනවා. එහෙත් ක්ලීන් සිටී නමැති රෙගුලාසි සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ ඔහු ද, ඒ සඳහා ප්‍රසාදය පළකර තිබීම මඟින් මෙහි ඇති වැදගත්කම කෙතරම්ද යන්න පැහැදිලි වෙනවා.

වාණිජ නාගරික සන්දර්භයක් සහිත ප්‍රදේශවලට සුවිශේෂීව වර්ධනය වෙමින් තිබෙන මෙම දෘශ්‍ය වැතිරීම මඟින් පොදුජනයාගේ පෞද්ගලිකත්වය, ඔවුන්ගේ සංවේ දී පරිසරය අඳුරු කරනු ලබනවා. මෙම තත්ත්වය සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමෝපායන් මඟින් ඇතිකර තිබෙන්නා වූ පාරිසරික ගැටලුවක්. ආර්ථික සංවර්ධනයේ හා පරිසර සමතුලිතතාවයේ අන්‍යෝන්‍ය රඳාපැවැත්ම යන්න පරිසර හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම හෙවත් බෲට්ලන්ඩ් කොමිසමේ තේමා පාඨය බවට පත්කර ඇත්තේ මේ අනුවයි. ජෛව විද්‍යාත්මක, ආර්ථික හා සාමාජීය පද්ධතීන්හි ප්‍රශස්ත සංකලනයක් තුළින් පමණක් තිරසාර සංවර්ධනයක් සිදුවන බව එම කොමිසමේ මතයයි. සමාජ සංවර්ධනයේ දී පරිසර සංවර්ධනය මෙන්ම පාරිසරික සෞන්දර්ය ද, තිරසාර සංවර්ධනයේ දී අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ඒ අනුව, අන් කවරදාටත් වඩා දෘශ්‍ය පරිසරය සෘණාත්මක ප්‍රකාශනයක් වෙනුවට ධනාත්මක ප්‍රකාශනයක් කරා මෙහෙයවීම සඳහා මැදිහත්වීමේ අවශ්‍යතාව මතුවී තිබෙනවා. ශිෂ්ටාචාර ගොඩනැඟීමේ දී විවිධ පාරිසරික, සාමාජීය, වෙනස්කම් මෙන්ම සංවර්ධන කාර්යයන්හි දී විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුණ ද, එය සිදුවිය යුත්තේ දූෂණයෙන් තොර තිරසර සංවර්ධනයක් ලෙස වීම මෙහි ඇති න්‍යායාත්මක හරයයි.

විජේසිංහ දිසානායක 

Comments