වෘත්තීය සමිති හා මැද පන්තියේ අභියෝගය | සිළුමිණ

වෘත්තීය සමිති හා මැද පන්තියේ අභියෝගය

 වැඩවර්ජන රැල්ලක් ඇති වෙමින් තිබෙන අතර, ඒ වැඩවර්ජන මුළුමනින්ම ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන ඇති වන වෘත්තීය සමිති ක්‍රියාකාරකම්ය. ඔවුන් එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට පැමිණ ඇත්තේ හුදු පඩිපත වැඩි කරගැනීමේ අරමුණකින් නොවේ. ඔවුන්ට ඇත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය කාරණා පිළිබද ගැටලුවකි.

නව ලිබරල්වාදී ව්‍යාපෘතියට එකඟ නොවන වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයක් ඇතිව තිබීම අරුමයක් නොවේ. ලංකාවේ වාමවාදී වෘත්තීය සමිති තම මවු පක්ෂ අනුගමනය කරමින් ගන්නා වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ගේ පදනම වන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් වූ වැඩවර්ජන, පිකටිං, උද්ඝෝෂණය කිරීම, පෙළපාළි යෑම ආදි සටන් ක්‍රියාමාර්ගය.

ඒ අනුව යමින් පසුගිය කාලයේ ඇති වූ වෘත්තීය අරගල මූලිකව අනුගමනය කළ සටන් උපක්‍රමයන්ගේ හැඩතල වූයේද එවැනි සම්ප්‍රදායික සටන් ක්‍රියාමාර්ගයන්ය. වෛද්‍යවරුන්ගේ සංගමය රෝහල්වල රෝගීන් සුවපත් කිරීමේ සේවා අඩපණ කරමින් වැඩ වර්ජනය කළේය. තැපැල් සේවා, ඛනිජ තෙල් සැපයුම් සේවා ආදි විෂයයන්ට අදාළ වෘත්තීය සමිතිද අනුගමනය කරන්නේ හුදු සාම්ප්‍රදායික සටන් ක්‍රියාමාර්ගය. මේ නිසා ජන ජීවිතයට ඇති වූයේ බරපතළ අසාධාරණයකි.

ඉතිහාසය පුරා වෘත්තීය අයිතීන් දිනාගැනීමේ අරගලයන්ගේ ස්වභාවය වූයේ මෙවැනි සම්ප්‍රදායික සටන් උපක්‍රමය. ඒ තුළ සමාජය අපහසුතාවට පත් කිරීම මෙන්ම රජයට ආර්ථික අතින් බරපතළ පාඩුවක් කිරීමද සටන් උපක්‍රමයන්ගේ ඉලක්කය විය. 1978ට කලින් යුගයේ ඇත්තටම ආණ්ඩු මට්ටු කිරීමේ ක්‍රමවේදය වූයේ වැඩවර්ජන වූ අතර ආණ්ඩු ඒවාට බිය විය. එනිසා වෘත්තීය සමිති පවා ආවට ගියාට වැඩ වර්ජනයන්ට නොඑළඹුණු අතර වඩා ක්‍රමවත් සටන් ක්‍රියාමාර්ගයන්ගේ අවසන් උපක්‍රමය වූයේ වැඩ වර්ජනයයි.

එහෙත් 1978න් පසු නව ලිබරල්වාදී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවටද පැමිණි පසු මේ දේශපාලන සංස්කෘතියට අභියෝග ඉල්ල විය. නිතර නිතර ඇති වන කාර්මික ආරවුල් නව ලිබරල්වාදී ව්‍යාපෘතියට බාධා එල්ල කරන්නක් විය. එනිසා කාර්මික සාමය නව ලිබරල්වාදයේ අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. බොහෝ විට ඇති වූ වැඩ වර්ජන මර්දනය මගින් අඩපණ කිරීමට ආණ්ඩු යොමු වූයේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ තම ඉලක්කයන්ට යා යුතුව තිබූ නිසා ය. එහෙත් 1978න් පසු උදා වූ යුගය තුළ වැඩ වර්ජනයන්ට ආණ්ඩු දැක්වූ අලුත් හා රළු ප්‍රතිචාරය තේරුම් ගැනීමට හා ඒවා නව උපාය උපක්‍රමයන්ගෙන් මුහුණදීමට වෘත්තීය සමිතිවලට නොහැකි විය. 1980 යෝධ වැඩවර්ජනය මර්දනයෙන් විනාශ කරදැමීමට එවකට ආණ්ඩුවට හැකි වූයේ එබැවිනි.

නව ලිබරල්වාදය තුළ සමාජයේ ඇති වන වැඩවර්ජනයන්ට මුහුණදීමේදී රාජ්‍යය වඩවඩාත් මර්දනීය වීමට සමාන්තරව සමාජයෙන්ද ඒ සම්බන්ධයෙන් එල්ල වූයේ වෘත්තීය සමිතිවලට වාසිදායක ප්‍රතිචාරයක් නොවේ. වෘත්තීය සමිති වැඩවර්ජනයන්ට තල්ලු වන සමාජ කොටස් ඒවාට ඍජුවම එරෙහි විය. තමන් වැඩවර්ජනයන් හමුවේ මුහුණ පාන්නට සිදු වන අපහසුතා ඔවුන් දුටුවේ රජයේ වරදක් ලෙස නොව වෘත්තීය සමිතිවල වරදක් ලෙසිනි. වෘත්තීය සමිත් මෙතෙක් අනුගමනය කළ උපාය උපක්‍රමයට එය ප්‍රබල දේශපාලන අභියෝගයක් විය.

ලාංකික සමාජයේ ප්‍රසාරණය වෙමින් තිබූ මැද පන්තිය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙන්නට පටන් ගත්තේ 1978 දී ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් පසුවය. ආර්ථිකයේ ඇති වූ ව්‍යූහාත්මක වෙනස්කම නිසා එතෙක් කෘෂිකර්මාන්තයට හා කාර්මික අංශයට ලැබී තිබූ ආංශික දායකත්වය අඩු වී සේවා අංශයේ ආංශික දායකත්වය ප්‍රසාරණය වෙන්නට පටන් ගත්තේය. මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයට සේවා අංශය දරන දායකත්වය 60%ක පමණ මට්ටමක පවතී. මේ නිසා මූල්‍ය ආර්ථිකයක් ගොඩනැංවී ඇති අතර ඊට සමාන්තරව ශක්තිමත් මධ්‍යම පන්තියක් වර්ධනය වන්නට පටන් ගත්තේය.

සමාජයක මැද පන්තියේ ආර්ථික වර්ධනයට මාක්ස්වාදයේ ඒ හැටි බරතැබීමක් සිදුව නැත. මැද පන්තියේ ප්‍රසාරණය තුළ ඇති වන සමාජ සංස්කෘතියේ වෙනස්කම් ධනපති පන්තියේ හෝ නිර්ධන පන්තියේ හෝ සමාජ සංස්කෘතික ස්වභාවයට වඩා අත්‍යන්තයෙන්ම වෙනස්ය. මේ වෙනස්කම් තුළ ඔවුන් බලාපොරුත්තු වන්නේ නිහඬව ගලාගෙන යන සමාජ ක්‍රමයක් තුළ තම ජීවන පැවැත්මට හානිකර නොවන තත්ත්වයකි. එහෙත් වැඩවර්ජන නිසා ඇති වන කාර්මික ආරවුල් මගින් මේ මැද පන්තියේ බලාපොරොත්තු සිඳබිඳදමයි. එවිට වැඩවර්ජනත් වැඩ වර්ජන කරන වෘත්තීය සමිතිත් තම පන්ති සතුරන් ලෙස තේරුම් ගැනීම තාර්කිකය.

අද සමාජයේ භාණ්ඩ හා සේවා සැපයීමේ ක්‍රියාවලියට එල්ල වන බාධා දෙස ආක්‍රමණිකකාරී ලෙස බලන්නේ ආණ්ඩුව පමණක් නොවේ. මැදපන්තික සමාජ ස්ථරයද ඒවා දෙස බලන්නේ අපුල හා කේන්තිය මුසු හැඟීමකිනි. එය වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය අවබෝධ කරගත යුතු සමාජයේ අලුත් වෙනසකි. එනම් වෘත්තීය සමිතිවලට තවදුරටත් සතුරු වන්නේ ආණ්ඩුව පමණක් නොවේ. ආණ්ඩුවේ තනිකමට සමාජයේ මැද පන්තියද පැමිණ සිටින අතර වෘත්තීය සමිතිවලට මේ මැද පන්තිය අලුත් සතුරෙකි.

තම අලුත් සතුරා වන මැද පන්තිය දේශපාලනිකව කියවීමට වෘත්තීය සමිති අපොහොසත්ය. ඒඳහා ඔවුන්ට අලුත් දේශපාලන දැනුම නැත. එසේම තම උද්දච්ඡ මානසිකත්වය නිසා අලුත් සතුරා තේරුම් ගන්නට උත්සාහ කරනේද නැත. ඒ නිසා වෘත්තීය සමිති විසින් දියත් කරන සාම්ප්‍රදායික අරගලයන් විනාශයට පත්වීමත් එම අරගල සමාජය තුළ විහිළුවකට පත් වීමත් වැළැක්විය නොහැක්කකි. මැදපාන්තිකයන් බහුලව වෙසෙන සමාජයක ඔවුන්ගේ සනීප ජීවිතවල ෆැන්ටසි විනාස කරන්නා වූ සාම්ප්‍රදායික වැඩවර්ජන සාර්ථක වීම උගහටය. මේ දේශපාලන උපක්‍රම නොදන්නා කැලෑ වම්මු ඒ වැඩ වර්ජනයන්ට උදවු කරන්නට යති. එසේ ගොස් මේ යුගය තුළ විමුක්ති අරගලයන්ගේ හැඩතල නොදැන දේශපාලන විහිළුකාරයෝ බවට පත් වෙති.

අබරන් 

Comments