
ලෝකයේ භයානකම සත්ත්වයා කවුරුදැයි අපේ ගුරුතුමී (ටීචර්) නිකම් සද්ද බද්ද දමා ඇසුවාය.
කොටියා, සිංහයා, වලහා, අලියා අපේ පට්ට යාළුවෝ... එක දිගටම පිළිතුරු දෙන්නෝය. ඒත් අපේ ගුරුතුමී (ටීචර්) ඒ හැම එකකටම කියන්නේ ‘නෑ.. නෑ‘ කියාය.
එයා “පුංචිම සතෙක්, පුළුවන්නම් කියාපල්ලා“ ගුරුතුමී තව තවත් සද්ද දැම්මාය. ඇට්ටරයාට මේවා බලා ඉන්නට නම් බැරිය.
ඔහු සුළු දිය බරක් අමාරුවෙන් උහුලාගෙන ඉන්නකු මෙන් හිමීට නැඟිට්ටේය. මගේ යාළුවෝ මගේ පිටට තට්ටුවක් දැම්මෝය.
ටීචර් “කිඹුලා“ ගිය සුමානෙත් කුණු ඇළේදි අපේ ගමේ දෙන්නෙක්ම කෑවා... ඇට්ටරයා බය නැතිව කීවේය.
මගේ පට්ට යාළුවෝ ටික සිනාසුණහ. ටීචර්ද කැකිරි පැළුවාය.
මදුරුවා. එයා තමයි ලෝකේ භයානකම සතා... ටීචර් එසේ කියා තවත් දිග වාර්තාවක්ද කියෙව්වාය.
දැන් ලංකාවේ ඩෙංගු මදුරුවන් නිසා ලක්ෂයක් විතර ජනතාවෝ පීඩාවට පත්වන්නාහුය.
තවත් බොහෝ පිරිසකට යන එන මං නැති වී ගියේ මේ ‘ඩෙංගි‘ මදුරුවා නිසාය. ඩෙංගි කියන්නේ අප්‍රිකාවෙන් ආපු නියම ගෝත්‍ර වචනයටය. කටවහරට එය අපේ රටේදී ඩෙංගු වූවා විය හැකි යැයි ටීචර් කිව්වාය.
“ඒක වැරැදියි. ඩෙංගුවාගේ බිරිය ඩෙංගි. ඕනෑම මදුරුවෙකුගේ ගෑනු සතා තමයි ලේ උරා බොන්නේ. සමහරු ‘ඩෙංගි‘ රෝගය කියන්නෙ ඒකයි. අපේ පංතියේ කටකාර ළමිස්සිය එසේ කියා මෙසේද කීවාය.
“ටීචර් ඔය වැහි පීලි, පරණ ටයර්, ටින් කබල්, පොල් කෝම්බ වළලන්න නැත්නම් පුච්චන්න කියලනේ අපට කියන්නේ. අපේ වතුවල එහෙම ඩෙංගු බෝ කරන තවාන් තිබ්බොත් නඩු දාලා දඩ ගහනවා කියලත් දැන් හැමතැනම කියනවානේ.
ඔව්, ඉතින් ඩෙංගු වළක්වන්න අපි අපේ ගෙවල් දොරවල්, මල් බඳුන්, වැහි පීලි මේ හැමතැනම ශුද්ධ කරන්න ඕනෑ...
ටීචර් එබසට මේ ආකාරයට කතා දැම්මාය.
එතකොට ටීචර් රජයේ ලඳු කැලෑ, පිට්ටනි, කානු යට නගර සභාවට අයත් සමහර දේපළවල ඕනෑ තරම් කුණු කඳු තියෙනවානේ...
ඒ අයට එතකොට නඩු දාන්නේ නැද්ද? ඇට්ටරයා ඇසුවේය.
ඒවාත් ශුද්ධ කරන්න ඕනෑ. සමහර උසාවි භූමිවල නවත්වා තිබෙන වාහනවල වගේම පාසල්වලත් ඩෙංගු කීටයෝ. නැත්නම් මුකුත් වැවිල්ලක් කරන්නේ නැති අර පිට්ටනිවලට ඉඩම්වලට ගහන බද්දවත් අයිතිකාරයන්ට ගහන්න ඕනෑ... ඒ වතාවේ නම් ටීචර්-
මොළේ ඇති කතාවක්ම කීවාය.
එත් ඉතින්! ඒකත් තාම මහ ඇමතිගේ යෝජනාවක් විතරය.
ටීචර්, ඒ කාලේ සෞඛ්‍ය ඇමැති කෙනෙක් කීව්වා එදා හිටියේ ඩෙංගු ලෙඩ්ඩු නවදාහයි. දැන් ලක්ෂයක් ඉන්නවා. එදා මං පාසල් ළමයින්ට දිගට අඳින්න කියලා කිව්වාම කට්ටිය හිනා වුණා කියලා... කප්පරයා දිගටම දෝස්මුරම ගෙනෙයි.
“සත්තු ඇති වුණාම මරන ක්‍රමයයි. ඒකට හැංගෙන ක්‍රමයයි නොවේ අප හොයන්න ඕනෑ. ඒක නැති කරන්න කියුබාව වගේ රටවල් ගත්තු ක්‍රියා මාර්ගය ගැනයි කවුරුත් එකා වගේ හිතන්න ඕනෑ... එතැනදි ජාති ආගම් කුල මල භේද තිබෙන්නත් බෑ...
ටීචර් ඒ වතාවේ දිගටම මොළේ පාවිච්චි කළාය.
ඔව්, ටීචර් ඩෙංගුවා ඩියුටි කරන්නේ උදේ සවස විතරයි. රාත්‍රියට නෑ. අනෙක ඩෙංගු මදුරුවා ඇතිවෙන්න දවස් හතක් යනවා. දවස් හතකට සැරයක් අපි එක පැය දෙකක් අපේ වත්ත ශුද්ධ කළොත් ඩෙංගුවා අතුරුදන් කළ හැකියි... කප්පරයා දිගටම කෑ ගැසුවේය.
ඊළඟට ටීචර් කතාව මාරු කර ගන්නටත් කම්මැළිකමටත් පංතියේ ඇති රූප පෙට්ටිය සුසර කරන්නට කල්පනා කළාය.
අපේ රටේ විතරක් නෙවෙයි. බංගලාදේශයේ, ඉන්දියාවේ හා ආසියාවේ රටවල් ගොඩක දැන් ඩෙංගු තියෙනවා. මේ මදුරුවෝ ඇති වුණේ අපේ කාලේ නෙවෙයි. විජය රජ්ජුරුවන්ගේ කාලෙත් මදුරුවා හිටියා. මේක අපට විතරක් තිබෙන තර්ජනයක් නෙවෙයි...
රූප පෙට්ටියේ පෙනී සිටින දේශපාලකතුමා ජවය දමා කියන කතාව ඇත්තය. ඒ නිසා ඩෙංගු ගැන ලොකුවට බය වන්නටද දෙයක් නැත.
ටීචර්, ඩෙංගු නැති අපේ කලාපයේ තවත් රටක් නැද්ද? මම නිකමට මෙන් ටීචර්ගෙන් ඇසුවෙමි. යාළුවෝද ඒ පැනයට කන් දැම්මෝය.
ළමයිද එසේම ඇසුවෝය. ටීචර්ද උත්තර දුන්නාය.
“එහෙම රටක් තියෙනවා“
“ඒ මොකක්ද?“
“භූතානය“
“ඒ ඇයි?“
“ඒ රට තාම ලොකුවට නාගරීකරණය වෙලා නෑ. නාගරීකරණයත් එක්ක තමයි කුණු ප්ලාස්ටික්, පොලිතීන් එන්නේ. භූතානයේ තවම කරත්තවලින් ගමන් යනවා. ගහ- කොළ, සතා- සීපාවා, කඳු- ගංගා ඒ ආකාරයටම රැක ගන්නවා. ඩෙංගු මදුරුවන් බෝ වන්නට අවශ්‍ය පරිසරයක් එහෙ නෑ.“
“ අපේ රටේ නම් කුණු දාන්නෙම ගංගා, ඇළ, දොළවලට. පහුගිය දවස්වල කට්ටිය හමුදාවෙන් බුරුතු පිටින් ඇල්ලුවේ. එක්තරා මහාචාරියෙක් තමන්ගේ නුගේගොඩ කුණු තමන්ගේ රථාචාරියට කියලා හෝමාගමට දාන්න ගිහින් මාට්ටු වුණා.“
ඇට්ටරයා ඒ කතාවට අලගු තැබුවේ ඒ ආකාරයටය.
හිටිගමන් පංතියම නිශ්ශබ්ද වුණෝය. කප්පරයා කතා කරයි. ඔහුට යකා නැඟ තිබේ. ඒ තවෙකෙක් කී කතාවක් නිසාය. ඌට අවශ්‍ය වුණේ ඩෙංගු වළක්වන්නට නොවේ. කප්පරයා නැවතත් කෑ ගසයි. ගිරිය පුප්පා ගුගුළයි.
“ඇයි? මේ කලබලේ“
“නෑ, ඒගොල්ලෝ මගෙන් අහනවා. භූතානයට කොහොම හරි ඩෙංගු මදුරුවන් දෙතුන් දෙනෙක් ගිහින් දාන්න බැරිද කියලා“