![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/07/07/Page-12-1.jpg?itok=exEoXdBG)
සයිටම් ප්රශ්නයේදී ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාළිකා අනුගමනය කරන්නේ අපක්ෂපාතීව හා සමබරව රජයේ අදහස් හා G.M.O.A විසින් අත්කොළුවක් කරගත් අන්තර් විශ්ව විද්‍යාලයීය සිසු දරුවන් (ඔවුන් අතර තරුණ භික්ෂූන්) ඇතුළත් පිරිස ගේ අදහස් ඉදිරිපත් කිරීම නොව අරෙහෙන් මෙහෙන් අහුලාගත් පවතින රජයට අපකීර්තියක් වන පරිදි විරෝධතා පිරිසට පක්ෂපාතීව කරුණු ඉදිරිපත් කිරීම බව පැහැදිලිය.
රජයේ මුදලින් පවත්වාගෙන යන පාසල් හා විශ්ව විද්‍යාලවලින් නොමිලේ තම අධ්‍යාපනය ලබා රජයේ වෛද්‍යවරුන් මෙන් රජයේ සේවයට බැඳී රජයෙන් ඉහළ මාසික වැටුපක් ලබමින් රජෙය් දේපොළ විනාශ කරමින් නගරයේ පාරවල් මහජනයාට පාවිච්චි කිරීමට ඉඩ නොදී හා ශ්‍රී ලංකා අධිකරණ දුන් තහනම් නියෝග කඩකරමින් මේ ගෙන යන හා ඉදිරියටත් ගෙන යෑමට අදහස් කරන රජයේ වෛද්‍ය නිලධාරින් සංගම් සාමාජිකයන්ගේ හා එම වෘත්තීය සමිතියට මුක්කු ගසන අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ (සමහර බෞද්ධ තරුණ භික්ෂූන් ඇතුළත්) හා ඔවුන්ගේ සමහර දෙමවුපියන්ගේ ක්‍රියා කලාපය මේ රටේ අභිවෘද්ධියට බලවත් පහරකි.
තමන්ගේ මතයම බාර ගන්නා ලෙස පවතින රජයට වැඩවර්ජන හා විරෝධතා මඟින් බල නොකර නම්‍යශීලීව උගත් පිරිසක් වශයෙන් රජයත් සමඟ මේ ප්රශ්නය සුහදව සාකච්ඡා නොකර පවතින රජයටත් ශ්‍රී ලංකා අධිකරණයටත් විරුද්ධව මෙසේ කටයුතු කිරීම හා එයට අනුබලදීම අප විසින් තදින් හෙළා දැමිය යුතු අතර මේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සමහර භික්ෂූන් ඇතුළුව විශ්ව විද්‍යාලීය සිසුන් මේ අයුරින් තමන්ගේ මතය රජයට බාරගන්නා ලෙස බලකිරීමට යොදා ගැනීම නින්දිතය.
ඉතා අසීරුවෙන් මේ රට උපයාගන්නා විදේශ විනිමයෙන් සෑහෙන කොටසක් වාර්ෂිකව දැනට වැය කරන්නේ මුදල් සුලබ පවුල්වල දරුවන් විදේශීය විශ්ව විද්‍යාලවලට යැවීම සඳහාය. මේ ළමුන් සියලු දෙනා මෙරට විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නුපුළුවන් වූ අයය. මෙයට වෛද්‍ය විෂය හැදෑරීමට යන ළමුන් ද වේ. අප දන්නා තරමින් අවුරුද්දකට පමණක් එක සිසුවෙකුට ඩොලර් 5000 - 10,000 පමණ වැය කිරීමට සිදුවේ. මෙසේ විදෙස්ගත සිසුවන්ගෙන් වැඩි දෙනෙක් උපාධිය ලබාගෙන එම රටවල පුරවැසිභාවය ලබාගෙන රැකියාවල යෙදෙති. මෙ රටට ආපසු පැමිණ මෙරට සේවය කරන්නේ අතළොස්සකි. අද මොවුන් පිටරට යවන ලද වයස්ගත දෙමවුපියන් ඉතා අසරණ වී ඇත.
මධ්‍යම පන්තියට අයත් පවුල්වල දරුවන්ට මේ වරම් අහිමි වේ. සුදුසුකම් ඇතත් පිටරට යැවීමට මේ දෙමවුපියන්ට වත්කම් නොමැත.
එබැවින් සෙසු බොහෝ රටවල් මෙන් ම ශ්‍රී ලංකාවේ ද රජයේ අනුමතිය හා අධීක්ෂණය යටතේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යා පීඨ පිහිටුවීම අත්යාවශ්යවී ඇත. දැනට පිටරටවලට සිසුන් ඇදගන්නා මෙරට විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමටත් විදේශීය වෛද්‍ය සිසුන් මේ ආයතනවලට ඇතුළත් කර ගැනීමෙන් මෙරටට ද විදේශ විනිමය ලබාගැනීමේ මාර්ගයක් මෙයද වේ.
දෙවෙනි කරුණ නම් ඇතැම් රූපවාහිනී නාළිකා ඔවුන්ගේ ප්රවෘත්ති කාලය යොද ගන්නේ පවතින රජය විවේචනය වන පරිදි කරුණු දැක්වීමටය. උදාහරණයක් වශයෙන් සිංහල ප්රවෘත්ති ආරම්භ කරන්නේ විවිධ පෙළපාළි, විරෝධතා, කඳුළුගෑස්, ගල්මුල් වලින් පහර ලබන පොලීසිය පෙන්වීමටය. මේ දිනපතා කාලයක් තිස්සේ හැමදාම නොකඩවා පෙන්වයි. ඔවුන්ගේ අභිප්‍රාය වශයෙන් අපට තේරුම් යන්නේ ශ්‍රී ලංකාව හා පවතින රජය විදේශීය ආයෝජකයන්ට නුසුදුසු රටක් පෙන්නුම් කිරීමට බව පැහැදිලිය.
තවද මේ නාළිකා නියමිත වැඩසටහන් අතර සෑමදාම වැඩි කාලයක් යොදා ගන්නේ විවිධ වාණිජ දැන්වීම් පෙන්වීමටය. මිනිත්තු 30 ක වැඩසටහනක් මිනිත්තු 20 ක් ම ගත කරන්නේ මේ වාණිජ දැන්වීම්වලටය. නියමිත වැඩසටහනට වැය කරන්නේ මිනිත්තු 10 කි. මේ වැඩසටහන් බලන අයට මෙය මහත් හිසරදයකි. නාළිකාවක් පවත්වා ගැනීම සඳහා සෑහෙන මුදලක් අවශ්‍ය වූවත් මේ අන්දමින් ආදායම් සෙවීම යුක්ති සහගත නැත.
තවද සතියේ දිනවල සවස එක් රූපවාහිනියක් පෙන්වනු ලබන ටෙලි නාට්‍යයක ඇමතිවරයෙක් ඔහුගේ අනුගාමිකයන් සමඟ පැරැණි පන්සලක තිබේ යයි සිතන නිධානයක් ලබා ගැනීමට හිතවත් ගැහැනියක් මුදල්වලට පන්සලේ ළමා සාමණේර නමක්, තමා එම සාමණේර නමගේ ‘අම්මා’ යයි කියමින් පැහැර ගැනීමත් යන්ත්‍ර මන්ත්‍ර මඟින් එම ගමේ වැදගත් පවුලක පිරිමි ළමයෙක් බිල්ලට දීමටය.
මෙරට දාමරික කොටසකට ක්ෂණික පොහොසත්වීමට මෙය කදිම උපදෙස් මාලාවක් විය හැකි අතර අපගේ නායක ස්වාමීන්වහන්සේ නිහඬව සිටීම අපට ප්රහේලිකාවකි. මේ වැඩසටහන දැනට ප්රේක්ෂකයනට පිළිකුල් වී ඇත. මේ ගැන පාලකයින්ට ලිපියකින් දන්වා ඇතත් ඔවුන් දිගටම මේ අයුරින් එම ටෙලිනාට්‍ය පෙන්වීමට ක්‍රියා කරති.
මේ නාළිකා අනුන් ගැන කියන්නේ එහෙමයි. නමුත් ඔවුන් කරන්නේ මෙහෙමයි.
ආචාර්ය පී.එච්.ඩී.එච් ද සිල්වා