“වියස්තාව කන්ඩ ද?”
මයික් විජේ ඥාන කතා එකක් හපන ගමං කියනවා. අබිලිංගෙ කඩේ තිබිච්ච එක ම එක ඥාන කතාව.
මයික් විජේ මෙච්චර කල් වියස්තාව වෙනුවෙන් කතා කරලා හිටි ගමං වියස්තාව කන්ඩ ද කියලා අහනවා. අර හෝගාන පොකුණ චිත්තරපටිෙය ගිරාම සේවක සීනි වැඩියි කිය කියා ඉස්කෝල නෝනගෙ තේ එක බිව්වා වගේ ඥාන කතාවක් දිහා ඇස් කොනෙංවත් නොබලපු මයික් විජේ ඥාන කතා කනවා.
“මොකක්ද මලේ විජේ කොලුවට වෙලා තියෙන්නෙ?”
මං නිමලෙගෙං ඇහුවා.
නිමලෙත් කවදක්කත් නැතුව අබිලිංගෙ බක්කියෙං හාල් මැස්සෙක් කටේ දාගෙන හපනවා.
“පහුගිය ටිකේ පොඩි හාමුදුරුවො කොළඹ රැස්සීංඔලට යද්දි තනියට විජේ එක්කරගෙන ගියා. ඒක පොරතිපල තමයි ඔය”
නිමලෙ කීවා.
කිව්වහම මොකද ආයිබොවන්ඩ. ඔය අපේ විජේ ඉන්නොව නේද? අනුන්ගෙ වෑන් එහෙක නොමිලේ යන්ඩ හම්බුවෙනවා නම් රජකම හම්බුණා වගේ තමා.
මෙච්චර කල් හදා වඩා ගත්තු දෙමාපියො උනත් දෙමාපියො නෙවෙයි කියයි ඔය හාදයා. ඊට හපන් මයික් එක දුන්නොත්. කන්ඩ නැතත් ජාතිය අමතයි. පන්සලේ හද්දොහේ පිං කොමේ වෙන හාදයකුට මයික් එක නොදී මුත්තරා කරන්ඩවත් නොයා හිටපු එකෙං නෙවැ විජේ මයික් විජේ උනේ.
“හැබෑට පොඩි හාන්දුරුවො දානෙත් වරද්‍දගෙන කොහෙද ඔය යන්නෙ?”
මං ඇහුවා.
“නායක හාන්දුරුවො කියනවා නම් යන්ඩ එපා යැ” නිමලෙ කීවා.
“අහවල් දේට ද?”
“රට බෙදනවට විරද්ධ ව. බුද්දාගම ට තැන නැති කරන එකට විරුද්ද ව.”
“කොහොමද ඕක කරන්නෙ?”
“වියස්තාවෙං”
“කවද්ද?”
“දන් නෑ”
“කොහොම ද?”
“දන් නෑ”
“කව් ද?”
“දන් නෑ”
“පොඩි හාමුදුරුවන්ට කව්ද කීවෙ?”
“ලොකු හාමුදුරුවො”
“ලොකු හාමුදුරුවන්ට කව්ද කීවෙ?”
“මේ දවස්වල පන්සල් ගානෙ ගිහිං පපුවට ගහගන්න උත්තමයා මිස වෙන කව්ද ඉතිං”
“ලොකු හාන්දුරුවන්ට බුදු හාමුදුරුවන්ටත් වඩා ඔය කියන උත්තමයො විස්වාස ද?”
“දන්නෙ නෑ”
ඔය කතා බහ අස්සේ මයික් විජේ ඥාන කතාව කාලා ඉවර කරලා. කොහොමවත් වියස්තාව කන්ඩ බෑ කියලා හිතෙන්නෙ ඥාන කතා කන කොට. කන්ඩ පුලුවං මගුලක් නං අබිලිංගෙ කඩේ නොතිබේ යැ. මේක මහ පුදුම විපිරියාසයක් නෙවැ. වියස්තාව ඕනැ කියපු හාදයා එපා කියනවා. ඥාන කතා නොකෑ කටින් ඥාන කතා කනවා. හාල් මැස්සෙක් බැදලාවත් නොකෑ මිනිහ අමුවෙන් කනවා. ඒ අස්සෙ අබිලිං කතා කොරනවා.
“බණ්ඩයියා දන්නව ද නිමලෙ හාල් මැස්සො අමුවෙං කන හේතුව.”
“දන් නෑ.”
“පහුගිය දවස්වල සාමයට සංහිඳියාවට බාදා එපා කියලා සෑහෙන පිරිසක් අස්සන් කරපු දැන්නීමක් පත්තරේ ගියා”
“ඉතින්?”
“නිමලෙ ඕක දැක්කා”
“ඉතිං?”
“ඕකට අස්සං කරල තියෙන්නෙ පිස්සො කියලා ඇමති ෙකනෙක් කියලා තිබුණා.”
“ඉතින්?”
“අබිලිං තමුන්ගෙ චන්දෙ දුන්නෙ ඒ ඇත්තො රැස්වීම්වල කරපු කතා අහලා නෙවැ.”
“ඉතින්?”
“ඒ අයට පිස්සු නං අපටත් පිස්සු කියලා ඒක ඔප්පු කරන එකයි ඔය කරන්නෙ.”
අබිලිං එහෙම කියද්දි මං නිමලෙ දිහා හැරිලා බැලුවා.
දෙයි හාන්දුරුවනේ! හාල් ඇට අහුරක් කටේ දාගත්තු නිමලෙ, හාල් මැස්සෙකුත් කටේ දා ගත්තා....
අබුද්දස්ස යුගේක හැටි.
“එයාලට පිස්සු නං අපට පිස්සු ඩබල්” නිමලෙ දත්මිටි කනවා.