ස්කෝලෙ ඇරෙන්න බෙල් එක ගහල ගාථ කියල ඉවරවෙන්නත් කලියෙන් හැමෝම ගේට්ටුව පැත්තට දුවනව. එතනින් ගුරු පාරට වැටිල සමහරු වම් පැත්තට හැරිල තාර පාරට ගිහිල්ල බස් එනකල් බලාගෙන ඉන්නව. තවත් සමහරු ඉස්සරහ පැත්තෙ තියෙන ලෑලි කඩේ ලෑලි බිත්තියට හේත්තුකරල තියෙන බසිසිකල්වල නැගල හැඬල් එකේ තියෙන කළුපාට ටියුබ් පටිය අස්සට පොත්ටික රිංගවල ඩබල් දාගෙන බයිසිකලේ පදිනව. පයින්ම ගෙදර යන අයත් ගොඩක් ඉන්නව.
මම නම් ස්කෝලෙ ගේට්ටුවෙන් එළියට බැහැල ඉස්සරහ ලෑලි කඩෙන් සත දහයක් දීල බුල්ටෝ දෙකක් ගන්නව. පැණි කරවෙච්චි රහත් එක්ක උඩු තල්ලෙ ඇලෙන බුල්ටො එකේ රස බලබල රබර් පටිය දාපු පොත් මිටිය කිහිල්ලෙ ගහගෙන දකුණු පැත්තට හැරිල වේල්ල දිගේ ගමන පටන් ගන්නව. මටත් තාර පාරට ගිහිල්ල බස් එකේ නැගල ගෙදර යන එක ලේසි වුනාට බස් ගාස්තුවට ලැබෙන සත දහයෙන් බුල්ටො දෙක හප හපා තනියම යන ගමන ස්කෝලෙ ඉන්න පැය ගානටත් වැඩිය රහක් තිබුණ.
ස්කෝලෙන් දෙන හතරැස් බිස්කට් වලින් දෙකක් ඉතුරු කරගෙන එන බව වක්කඩේ ඉන්න පුංචි ගප්පි පැටවු දැනගෙන හිටිය. මුල් දවස්වල මම එනකොට කැලේට රිංගල සද්ද කරපු කොරවක් පැටවු මම එනකම් මග බලාන හිටිය. සමහර දවස්වලට වෙල් යායේ පේන තෙක් මානෙක මිනිස්සු නොහිටියොත් මම මහ හයියෙන් චක්කරේ නැත්නම් ගාථා පාඩම් කරකර වේල්ල දිගේ ඇවිදගෙන යනවත් කොරවක් පැටවුන් අහගෙන ඉන්න ඇති.
පහේ පන්තියෙදි වාර විභාගෙ වගේම තියපු තවත් විභාගයකින් පස්සෙ දවසක උදේ රැස්වීමෙදි සුදුපාට කමිසෙ සරම අඳින කුරුප්පු සර් තමයි කීවෙ මම ශීෂ්‍යත්ව විභාගෙන් පාස්වෙලා කියල.ඒ විභාගෙ පාස්වුනා කියල මට ලොකුවට සතුටුවෙන්නවත් පේල් වෙච්චි අයට දුක් වෙන්නවත් හේතුවක්වුනේ නම් නැහැ .
සෙනසුරාදට වැඩේ දාගම්මුද කියල හිතවතෙකුට දුරකථනයෙන් අහපුවම ”අපෝ සෙනසුරාදට නම් බැහැ එදා දවසෙම දුවව පන්ති ගෙනියන්න තියෙනව” කිව්ව, එහෙනම් ඉරිදට බැරිද කියල අහපුවම “උදේ දහම් පාසැල් ඉවරවුන ගමන්ම දුවව ඉංග්‍රීසි පන්ති ගෙනියන්න ඕනැනෙ” කීව.
,දුව මේ පාරද ඕලෙවල් කරන්නෙ” කියල අහපුවම “නැහැ එයා තවම දෙක වසරෙ” කියද්දි මට ඉබේටම “අපොයි දෙයියනේ” කියල කියවුනේ මගෙ වැඩේ ගැන නෙමේ ඒ පොඩි කෙල්ල ගැන හිතිලයි.
ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ගනීවි කියල ස්කෝලෙම බලාපොරොත්තු තියාගෙන හිටපු කොලු පැටියා ෆේල්වෙලා. ප්‍රතිඵල ආපු දවසෙ දරුවව වටකරගෙන ගුරුවරු ඇහුවම “ඇයි එහෙම වුණේ” කියල,
‘‘මම විභාගෙ ලියන්න ඉඳගත්තු තැනට වෙල්යාය හොඳටම පෙනුණ. පොඩි අයියල දෙන්නෙක් ලොකු සරුංගලයක් උඩ ඇරිය. ලොකු සරුංගලේ අහසේ පුංචිම තිතක් වෙනකම්ම මම බලාගෙන හිටිය. අන්තිමට ප්‍රශ්න පත්තරේට උත්තර ලියන්න වෙලා මදි වුණා.“ කියල උත්තර දුන්නලු.
පුංචි කෙලි පැටික්කියෙක් අතින් ලියවුණ කවි පොතක් මටත් පිළිගැන්වුව. ගහ කොළ , ඇළ දොළ. සතා සිවුපාව ගැන කවි ගොන්නත් ඒකෙ තිබුණ.
පස්සෙ දවසක කෙල්ලගෙන් ඇහුව “ඔයාට කොහෙමද කවි ලියන්න වෙලාවක් ලැබුනෙ කියල”
“මම යන්නෙ ටවුමෙ ස්කෝලෙකට , ශිෂ්‍යත්වෙ පාස්වෙලා වෙන ස්කෝලකට යන්න ඕනැ කමක් තිබුෙණ නැහැ. අනික, අපේ තාත්ත ආණ්ඩුවෙ කන්තෝරුවක වැඩ කරන්නෙ. ශිෂ්‍යත්වය පාස්වුණත් මට ශිෂ්‍ය ආධාර ලැබෙන්නෙත් නැති හින්ද අමතර පන්ති ගියෙ නැහැ. ඒක හින්ද මට කවි පොත් , කතන්දර පොත් කියවන්න අනික් අයට වැඩිය වෙලාව තිබුණ.”
ඇත්ත තමයි , ළමයින්ගෙ ළමා කාලය හොරාගන්න “අම්මලගෙ තරග විභාගය” හින්ද එයාලගෙ සහජ හැකියාවන් කොච්චර නම් මොට වෙලා යනව ඇද්ද?
කොහෙදෝ මහ රෝහලක වෛද්‍යවරු තිහ හතළිහක් එකතුවුණ තැනකදි ඇහුවම “ශිෂ්‍යත්වය පාස් අය කවුද” කියල. දෙන්නෙක් විතරක් අත ඉස්සුවලු.
ඒ කියන්නෙ ශිෂ්‍යත්ව විභාගය කොච්චර නම් උසස් පෙළ විභාගයට බලපානවද කියන කාරණය විතරක් නෙමෙයි අම්මල දරුවන්ව අතින් ඇදගෙන දුවන්නෙ ශිෂ්‍යත්ව විභාගය වෙනකම් විතරද කියලත් හිතෙනව.
මේ ඔක්කොටම වැඩිය හිතගිය කතාවකුත් අහන්න ලැබුනා.
පන්තියට අලුුතෙන් ආපු ගුරුතුමිය හැමෝගෙන්ම ඇහුවලු ‘ලොකුවුණාම මොනවද කරන්න බලාපොරොත්තුව” කියල.
ගොඩාක්ම අයගෙ බලාපොරොත්තුව වෙලා තිබුෙණ දොස්තරල වෙන්නලු , ගුරුවරු වෙන්න, නර්ස් නෝනල වගේම, ගුවන් යානා පදවන්න හිතාගෙන්න ඉන්න අයත් හිටියලු.
ඒ අතරෙන් එක දැරියක් කීවලු “අනේ ටීචර් මට නම් සන්තෝසෙන් ඉන්න රස්සාවක් ලැබුනොත් ඇති කියල.
ගුරුතුමිය කෙල්ලට කීවලු “ දුවේ ඔයාට මම අහපු ප්රශ්නය තේරිල නැහැ” කියල.
“නෑ ටීචර්, මට ප්රශ්නය තේරුණා, ටීචර්ට ජීවිතේ තේරිල නැහැ” කියල පිළිතුරු දුන්නලු.
චන්දන ගුණසිංහ