
ලබන සතිය අපට ඉතා වැදගත් සතියකි. ඒ අපේ රටේ සියලු සාරධර්ම හා සංස්කෘතිය ප්‍රවර්ධනයට පමණක් නොව අපේ රටේ පාරිසරික සංරක්ෂණයටත් සමාරම්භයක් ඇති කළ අනුබුදු මිහිඳු හිමිපාණන් අපේ රටට වැඩමවා වදාළ පොසොන් දිනය ජූනි 8 වැනිදාට යෙදී ඇති බැවිනි.
එමෙන් ම පරිසරය සුරකින අපට හෙට දිනය ද ඉතා වැදගත් ය. ඒ ජගත් පරිසර දිනය හෙටට යෙදී ඇති බැවිනි. අපේ රටේ පරිසර සංරක්ෂණය හා වන ජීවී සංරක්ෂණය පිළිබඳ කවුරු කථා කළත් අපේ රටේ ඒ කටයුතු මුලින් ම ආරම්භ කළේ අන් කවුරුවත් නොවේ. අපේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ය.
කිස්තු පූර්ව තුන් වැනි සියවසේ පොසොන් පසළොස්වක දිනයක මිහින්තලේ අම්බස්තලයට වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලේ හා අවට වනාන්තර ප්‍රදේශය ලොව ප්‍රථම අභය භූමිය ලෙස නම් කිරීමට රජුට නියම කළේ එය මෙරට වනජීවී සංරක්ෂණයේ සමාරම්භක හා ස්වර්ණමය පියවරක් තබමිනි.
දේවානම්පිය තිස්ස රජතුමා තම සේනාව පිරිවරා එදින මුව දඩයමේ යමින් සිටියේය. එක් වරම ඔහුට ඇසුණේ තම නම කියා තිස්ස.... තිස්ස...යි පවසමින් කථා කරන හඬකි. මේ රටේ තමන්ට නම කියා කථා කරන්නේ කවුරුන් දැයි රජතුමා වට පිට බැලීය. අම්බස්තලයේ වැඩ සිටියේ කහ පාටින් බැබළුණු චීවරයක් දරා ගත් ප්‍රතාපවත් මහ තෙර නමක් ඇතුළු මහ සඟ පිරිසකි.
පසුව රජ ඇතුළු පිරිස දුනු හී ඉවත ලා අනුබුදු මිහිඳු හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර කර සාදු කාර දුන්හ. පසුව ජම්බුද්වීපයේ සිට පැමිණ තම දූත ගමනේ අරමුණු පැහැදිලි කළ මිහිඳු හිමිපාණෝ දඩයමේ යමින් සිටි රජුට දහම් දේශනා කළ සේක.
“මහරජ... තොපට මෙන් ම සියලු සිවුපා සතුන්ට ද පක්ෂීන්ට ද සියලු ජීවීන්ට ද මේ දේශයේ ඕනෑම තැනක නිදහසේ සැරිසැරීමට අයිතියක් ඇත. මහරජ මේ භූමිය අයිති ඔබට නොව රටේ සතුන්ට ශාකවලට හා මහ ජනතාවටය. ඔබ මෙහි අයිතිකරු නොව පාලකයා පමණි” යනුවෙන් උන්වහන්සේ වදාළහ. පසුව අනුබුදු මිහිඳු හිමිපාණන් වදාළේ මිහින්තලේ අනුරාධපුරය ඇතුළු වනාන්තර ප්‍රදේශ අභය භූමියක් ලෙස නම් කරන ලෙස දේවානම්පිය තිස්ස රජතුමාට අණ කරමිනි. පසුව රජතුමා විසින් ඒ ප්‍රදේශය ලොව ප්‍රථම අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ ප්‍රදේශයේ සතුන් මරණ අයට ගස් කපන අයට දඬුවම් ද නියම කෙරිණි. මේ තොරතුරු මිහින්තලේ මැද මළුවේ ඇති ඉපැරණි සෙල් ලිපියේ අන්තර්ගත වී ඇත.
මුල් කාලයේ මේ මිහින්තලය අනුරාධපුරය වැනි ප්‍රදේශ ජනාකීර්ණ නැති මහ කැලෑවක් ලෙස පැවැති අතර යටත්විජිත සමයේදී මේ වනාන්තර විනාශයට ලක්වී තිබේ.
කෙසේ වුවත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යළිත් වරක් 1938 මැයි 27 දින මිහින්තලේ අභය භූමිය හෙක්ටයාර 999ක් ලෙස නීත්‍යනුකූලව යළි ගැසට් කර නම් කර තිබේ. ඒ අනුව මිහින්තලේ කළුදිය පොකුණ, මිහිඳු ගුහාව, අම්බස්තල ප්‍රදේශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඹ වනය ඇතුළු ප්‍රදේශ මිහින්තලේ අභය භූමියට අයත් විය.
අනුරාධපුරයේ අභය භූමිය නමින් 1938 මැයි 28 දින හෙක්ටයාර් 3500 ක් ලෙස මහ මෙවුනා උයන ලෙස අද ඉතිරිව ඇති ප්‍රදේශය ඇතුළු වනාන්තර ප්‍රදේශ ගැසට් කර ඇත. මහමෙවුනා උයන ලෙස අද ඉතිරිව ඇත්තේ අනුරාධපුර අභය භූමියේ කොටසකි.
කෙසේ වුවත් මිහින්තලේ අනුරාධපුරයේ වන ජිවී ලෝලීහු හා පරිසරයට ආදරේ කරන අය පවසන පරිදි අද මේ ලොව ප්‍රථම අභය භූමියට නිසි ආරක්ෂාවක් නැත. සංරක්ෂණයක් නැත. අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමිපාණන් පවසන්නේ “අනුරපුර අභය භූමිය අද සමහර වන්දනාකරුවන් කරන අවිධිමත් ක්‍රියා නිසා විනාශ වෙන බවයි. පොසොන් කාලෙට පොලිතින් හැමතැනම විසිරිලා. අභය භූමියේ ගස් කපනවා. සත්තු මරනවා” උන්වහන්සේ පවසති. මේ අභය භූමියේ විනාශ වෙන ගස් වෙනුවට අලුත් පැළ සිටුවීමට විධිමත් ක්‍රම වේදයක් ද නැත. එසේ පැළ සිටුවූවත් ඒ සමහර ඒවා රුක් රෝපණ උත්සවවලට පමණක් සීමා වේ. සිටුවූ පැළ පිළිබඳව යළි පසු ඇගැයීම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කවුරුවත් එන්නේ නැත. ඒ අනුව අද අප කළ යුත්තේ අඩු ගණනේ මහ මෙවුනා උයනේ තිබෙන ශාක පද්ධතිය පිළිබඳව සමීක්ෂණයක් කර ඊට උචිත පැළ යළි සිටුවීමට ක්‍රමවේදයක් සකස් කිරීමයි.
මේ සතියේ අප කළ යුත්තේ ලොව ප්‍රථම අභයභූමිය ලෙස අපට ආඩම්බර විය හැකි මේ අභය භූමිය සංරක්ෂණයට සුදුසු පැළ රෝපණය කිරීමයි. පරිසර දිනය වෙනුවෙන් එය කළ හැකි නම් කෙතරම් අගනේ ද?
මිහින්තලේ අභය භූමියේ තත්ත්වය අද වන විට ඉතා කනගාටුදායක ය. අපේ අනුරාධපුර මාණ්ඩලික වාර්තාකරුවන් පවසන පරිදි මිහින්තලේ අභය භූමිය මායිමේ අනවසර අල්ලාගැනීම් ද පවතී. අභය භූමියේ සිටින මුවන් මරාදැමීමත් අභය භූමියේ ගස් කැපීමත් වරින් වර වාර්තා වෙයි.
මිහින්තලේ රාජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පවසන්නේ ම අදාළ ආයතන මිහින්තලේ අභය භූමිය සුරැකීමට ගන්නා පියවර පිළිබඳ සෑහීමට පත් විය නොහැකි බවයි.
මේ අනුව ලොව වන ජීවී සංරක්ෂණයේ ප්‍රථම පියවර තැබූ ලොව ප්‍රථම අභය භූමිය වූ මේ මිහින්තලේ හා අනුරාධපුරයේ අභය භූමි දැන් පවතින අයුරින්වත් සුරැකීමට අදාළ නිලධාරීන් හා ආයතන මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු ය. පොසොන් සමයෙන් පසු මිහින්තලේ අභය භූමියේ පොලිතින් කන්දක් ඉතිරි වේ. එය වැළැක්වීමට වෙළෙඳ කටයුතු වෙනත් ස්ථානයකට ගත යුතුව ඇත.
විශේෂයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත් සභාව, අනුරාධපුර නගර සභාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව අපිත් අවධාරණය කරමු. 1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැති පරිසර සමුළුවේදී ගන්නා ලද තීරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයේ සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජූනි මස 05 දින ජගත් පරිසර දිනය වශයෙන් නම් කරන ලදී. ඒ අනුව ප්‍රථම ජගත් පරිසර දිනය 1974 ජූනි 05 දින සමරනු ලැබී ය. වසරින් වසර විවිධ කාලීන මාතෘකා තෝරා ගනිමින් ජගත් පරිසර දිනය සමරනු ලබා අතර, 2017 ජූනි 05 දින සමරනුයේ 44 වන සංවත්සරයයි. මෙවර ජගත් පරිසර දින තේමාව ‘Connecting people to Nature’ (සොබාදහම හා බැදුණු ජනතාවක්) යන්නයි.
මේ අනුව පරිසර දිනයත් ජාතික පරිසර සතියත් පවත්වන මේ වකවානුවේ මෙරට ප්‍රථම අභය භූමිය වු මිහින්තලේ හා අනුරාධපුර අභය භූමි සුරැකීමට අප අවධානය යොමු කළොත් එය අද ජීවත් වන අපට පමණක් නොව, අපේ දරු මුනුපුරු මතු පරපුරටද සිදු කරන පරිසර සංරක්ෂණ මහ මෙහෙවරක් වනු ඇත.
නිහාල් පී. අබේසිංහ